"පුතා මොකක් හරි ප්‍රශ්නයක නේද ඉන්නෙ?" අම්මා මගෙන් ඇහුවා.
"නෑ අම්මෙ මන් හොඳින්." මන් අම්ම දිහා බලන්නෙ නැතුවම කිව්වා.
"මන් දිහා බලන්න."
අම්ම මගෙ අතින් පොත ඇදලා ගත්තා.මන් අම්ම දිහා බැලුවත් ඉක්මනටම අහක බලාගත්තා.එයා දිහා බලාගෙන බොරුවක් කියන්න තවමත් මට බැහැ.බොරුවක් කියන හැම වෙලේම මගෙ ඇස් අම්මගෙන් ඉවතට වෙන්නෙ නිරායාසයෙන්මයි."බොරු නේද කියන්නෙ.මන් දන්නවා ඔය විදිහට අහක බලන්නෙ බොරු කියනකොට කියලා.කියන්න මොකද්ද ප්‍රශ්නෙ?"
"ප්‍රශ්නයක් නම් තියනව අම්මෙ.ඒත් මට ඒක කියන්න බැරිවෙයි."
"දරුවෙක්ට අම්මට කියන්න බැරි ප්‍රශ්න තියනවද දරුවො?"
"එහෙම නෙවෙයි.මට මේ දේ කියන්න හරි වෙලාව තාම ආවෙ නෑ අම්මෙ.අනික මේක මම කිව්වොත් අම්මට මන් ලොකු බරක් දුන්නා කියල මට හිතෙයි."
"උඹ මට බරක් නෙවෙයි පුතේ.උඹ උඹට පුලුවන් කාලෙ ඉඳලම පුලුවන් විදිහට කීයක් හරි හම්බකරගෙන මටත් දීලා උඹෙ වැඩත් කරගත්ත එකෙක්."
"ඒක හරියි කියමුකො.ඒත් මේක ඊට වඩා වෙනස් අම්මෙ"මන් කිව්වා.
"හරි කියන්න බැරිනම් කමක් නෑ.හැබැයි ඔයාට ඕනෙ වෙලාවක ඕනෙම දේකට මම ඉන්නවා."
"මම ඒක දන්නව අම්මෙ."මම එහෙම කියාගෙන අම්මගෙ උකුලෙන් ඔලුව තියාගත්තා.අම්ම හෙමින් හෙමින් මගෙ ඔලුව අතගානකොට විනාඩි ගානකට හිතට දැනුණ නිදහස මහ ලෝභ කමකින් රස වින්දා...
"දැන් නිදා ගන්න.හෙට උදේ වැඩට යන්නත් ඕනෙ නේ."
"තව ටිකක් මෙහෙම ඉන්න දෙන්න.කාලෙකින් මෙහෙම ඉන්න ලැබුනෙ" මම එහෙමම ඇස් පියාගත්තා.
.................................................................පහුවෙනිදා උදේ මම නැගිටිනකොට හිතට ටිකක් හොඳයි.ඒ වෙනකොට අම්මා කුස්සියෙ.මම හෙමින් ඒ පැත්තට ගියා.කුස්සියෙ එලවළු කප කප හිටපු අම්මව මන් ගිහින් බදාගත්තා.
"ආ මේ මොන නාකි හුරතලයක්ද මේ.ගිහින් ලෑස්ති වෙන්න."
"ගුඩ් මෝනින් සුදු අම්මියා".මන් එහෙම කියාගෙන නාගන්න ලිඳ පැත්තට ගියා.නාල ලෑස්ති වෙලා අම්මටත් කියලා මම එලියට බැස්සා.
"අද හවසට පන්සල් යන්න ඕනෙ ඒ නිසා පරක්කු වෙන්න එපා."අම්මා කිව්වා.