104 පරිච්ඡේදය

913 211 26
                                    

"යේන් ඉන්න!"

යේන්ගේ යක්ෂාවේශ වූ බැල්මක් ඔහුගේ මිත්තණිය වෙත යොමු විනි.

"පොඩ්ඩක් ඉන්න! මං දන්නෑ ඔයාට මේක ආවද කියන්න. මේක.... මේ email එක! ඔයාට මෙහෙම එකක් ආවද?!"

ඇය ඉක්මනින්ම ඇගේ දුරකථන තිරය යේන්ගේ මුහුණ වෙත ළං කළා ය. ඒ නිසැකව ම තමන් වෙත පැමිණි පණිවිඩය බව තහවුරු කරන්නට තවත් කිසිවක් අවශ්‍ය වූයේ නැත. යේන් මෙවර ඇය දෙස බැලුවේ දැඩි සැක සහිත බැල්මකිනි. කිසිවක් කියන්නටත් මත්තෙන් ඔහුගේ ප්‍රතිචාරයෙන් එය ඔහුට ද ලැබී ඇති බව ඇය තේරුම් ගත්තා ය.

"හා.... මොකක්ද මේ වෙන්නේ?! මේක මාලියාටත් ඇවිල්ලා! එයා තමයි මටත් කිව්වේ! මං දන්නෑ තව කාට කාට මේක ගිහිල්ල ද කියන්න! යේන්... ඔයා... මේක කියෙව්ව ද??"

ඇය ඇසුවේ වේගයෙන් හුස්ම ගනිමින් තරමක උස් හඬිනි.

"ඔව්."

ඇය එක් අතකින් මුහුණ වසා ගනිමින් පසුපසට ගොස් කාමරයේ වූ සෝපා කට්ටලයෙන් එකක් මතට ඇද වැටුණේ දෙකකුල් අප්‍රාණික වූ අයුරෙනි. යේන් එලෙසම සිටගෙන ඇය දෙස බලා සිටියේ ය.

"ඔක්කොම... කියෙව්ව ද??"

ඇය නැවතත් ඇසුවේ තැනින් තැන නවත්වමිනි.

"ඔව්."

ඇගේ මුවින් දිගු සුසුමක් පිට විය.

"ඔයා දැන් යන්න හැදුවේ... තාත්තව හම්බුවෙන්න ද?"

ඇය ඇසුවේ ස්ථිර හඬකින් නොවේ.

"ඔව්."

යේන්ගේ මෙම ස්වරූපය ඇගේ සිතේ ඇති කළේ ද ඉතා නරක හැඟීමකි. නමුත් ඇය මේ මොහොතේ කතා කළ යුතු ම ය. නැතිනම් යේන්ගේ හැසිරීම මීට වඩා නරක අතට හැරිය හැකි බව ඇය දැන සිටියා ය.

"යේන්. Please එහෙනං මං කියන දේ පොඩ්ඩක් අහල ඉන්නව ද?"

ඇය ඇසුවේ ඉතා යටහත් පහත්ව යේන්ගේ කෝපය ඇවිස්සීමට ඉඩ නොදෙන්නට වග බලා ගනිමිනි.

"Save it! මං අහන්න ඕන කෙනාගෙන් අහ ගන්නම්."

එසේ කියා දැමූ යේන් අඩියක් ඉදිරියට තැබුවත් ෂෙරිල් ක්ෂණිකව ඔහු වෙතට පැන ඔහුගේ අතකින් අල්ලා ගත්තේ ඇගේ ගතෙහි ඇති සියලුම ශක්තිය යොදමිනි. යේන් නැවතුනේ තමන් ඇයවත් ඇදගෙන තව අඩියක් ඉදිරියට තැබුවහොත් ඇය බිම ඇදවැටෙතැයි කියා සිතුනු නිසාවෙනි. කෙතරම් මතභේදාත්මක තත්‍ත්වයක සිටියත් ඔවුන්ට අනතුරක් කරන්නට දැන් යේන්ට කිසිදු අදහසක් නොතිබිණි.

The Deathtrap Место, где живут истории. Откройте их для себя