4 පරිච්ඡේදය

2K 332 17
                                    

සඳුඳා උදෑසන ෂමිත් උපකාරක පන්තිවලට සහභාගී වීමට සූදානම් වූයේ වෙනදාට වඩා මදක් වෙනස් අයුරෙනි. ඔහු තමාගේ ඇඟේ තිබුණු තැලුම් පහරවල් මකා ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. ඔහු ඉරිදා රාත්‍රියේ ද ඒවාට බෙහෙත් ආලේප කළේ ය. නමුත් ඒවා සඳුඳා දිනය වන විට මැකී ගොස් තිබුණේ නැත. ඔහු ගෙල දක්වාම කර ඇති, මැණික් කටුව වන තෙක් අත් දිගු සැහැල්ලු කලු පැහැති ටී ෂර්ටයක් හැඳ ගත්තේ ය. කලු පැහැති ඩෙනිම් කලිසමක් ද හැඳ ගත් ඔහු මේස් හා තද දුඹුරු හා අලු මිශ්‍ර සපත්තු දෙකක් ද පැළඳ ගත්තේ ය.

ඔහු දුර යන්නේ නම් සෑම විටම සපත්තු පැළඳීමට පුරුදු වී සිටියේ ය. නමුත් ඔහුට තිබුනේ සපත්තු කුට්ටම් දෙකක් සහ එක් බාටා සෙරෙප්පු ජෝඩුවකි. ඔහු සපත්තු දැමීමට හේතුව දුර යන විට කකුල් අව්වට නිරාවරණය වීම ය. ඒ මගින් කකුලේ සෙරෙප්පුවට වැසෙන කොටසේ සමට වඩා නිරාවරණය වී ඇති කොටසේ සම තද පැහැති වේ. ඔහු තම රූපය පිළිබඳව බෙහෙවින් වද වන්නේ ඔහුට රාත්‍රී රැකියාව අතරතුර පාරිභෝගිකයින්ගෙන් කුඩා සන්තෝසමක් හෝ ලැබෙන්නේ ඔහුගේ මේ පෙනුමේ ඇති විශේෂත්වය නිසා බව ඔහු දනී. එබැවින් ඔහු එය රැක ගැනීමට වෙහෙසේ. ගමේ 'පිරිමි ගණිකාවක්' ලෙස නම පටබැඳී තිබුණත් ඔහු තරම් නිසි ලෙස තම ශරීරය හා පෙනුම පිරිසිදුව පාලනය කර ගන්නා මේ වයසේ කෙනෙකු ගමේ නොමැති විය. ඔහු ගමේ ගැහැනුන් හා කෙල්ලන් අතර ඉතා ප්‍රසිද්ධ චරිතයක් වූයේ එබැවිනි. එවැනි රැකියාවක් කළත් ඔහු අනෙක් සාමාන්‍ය කොල්ලෙකුට වඩා දකින ඕනෑම කෙනෙකුගේ ඇස් ආකර්ෂණය කර ගන්නට සමත්, ප්‍රිය උපදවන කෙනෙකු බව දුටු විගසම පැවසිය හැකි ය. ඔහුට මේ රඟපෑමේ අවස්ථාව හිමි වූයේ ද ඒ නිසා බව ඔහු සිතුවේ ය. එබැවින් ඔහුට තම පෙනුම පිළිබදව පෙරට වඩා දැන් වද වීමට සිදු වේ.

උදෑසන උපකාරක පන්තිය ඇත්තේ පැය තුනක් පමණි. ඔහුගේ හවස ඇති පන්තිය ආරම්භ වන්නේ හවස තුනට ය. ඔහු මේ කාලය අතරතුර තම මිතුරන් සමග කඩයකට ගොස් මොනවා හෝ කා බී නැවත හවස පන්තියට සහභාගී වී රාත්‍රී දුම්රියෙන් ගෙදර පැමිණේ. ඒ අතරතුර කාලයේ නිවසට පැමිණීම කාලය හා මුදල් නාස්ති කිරීමකි. එබැවින් ඔහු ඒ කාලය නුගේගොඩ පෙදෙසේ ම ගත කරයි. උදේ එකොළහ වන විට තම පන්තිය අවසන් වීමත් සමග ඔහු තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කළේ ය. ඒත් සමගම ඔහුගේ දුරකථනය නාද විය.

The Deathtrap Место, где живут истории. Откройте их для себя