82 පරිච්ඡේදය

1.5K 255 49
                                    

කකුලෙන් ගසා තම කාමරයේ දොර විවර කර ගත් යේන් ඇතුළට පැමිණෙන විටත් ෂමිත් පොරෝනාව ඇඳේ වම් පසට කර දකුණු පස කොනට ම වී වැතිරී ගුලි වී සිටියේ ය. ඔහු දැනට ම නින්දට වැටී ඇති සෙයකි. අතේ ගෙනා සියල්ලම ඇඳ අසල මේසය මතින් තැබූ යේන් හඬක් නොනැගෙන සේ දොර වැසුවේ ය. මීළඟට පොරෝනාව පසෙකට කර ඇඳේ වම් පසින් හිඳ ගත්තේ දෙකකුල් ද ඇඳ මතට ගනිමිනි. ෂමිත්ව අවදි කරන්නට කිසිදු උවමනාවක් නොතිබුණත් ඔහු ෂමිත්ගේ හිසෙන් අත තබා ඔහුට කතා කළේ ය.

"නොයෙල්?"

ප්‍රතිචාරයක් නොවිනි.

"නොයෙල්?"

පෙර පිළිතුර ම ය.

යේන් මද වේලාවක් ඔහු දෙස බලා සිටියේ ය. වකුටු වී සිටි ඔහුගේ රුව ඔස්සේ පහතට දිව ආ යේන්ගේ දෑස් ක්ෂණිකව ඔහුගේ දෑතින් නැවතිනි. ඒ ඔහුගේ මැණික් කටුවට ආසන්නයේ සීරී ඇති සම මත ය. ඒ මොහොතේ ෂමිත් නින්දෙන් ම යේන් සිටි දෙසට මදක් නැඹුරු වී කෙඳිරි ගාමින් නැවතත් වකුටු විය. ඒ ගත එහා මෙහා කරන විට ඔහුට දැනුණු අපහසුතාවය නිසාවෙනි. ඔහුගේ දෑත් යේන්ගේ ගතෙහි ගෑවී නොගෑ වී නැවතින.

එයින් යේන්ගේ අවධානය පැහැදිලිව ම ඔහුගේ දෑත් වෙත යොමු විනි. ඔහු ෂමිත්ගේ එක් අතක් අල්ලා ඔසවා සීරී ඇති සම හොඳින් පරික්ෂා කළේ ය. සීරී තිබුණේ උඩ සම පමණක් වුවත් සමහර තැන්වල සම ගැඹුරට තුවාල වී තිබිණි. ඔහු දෑත් ලිහිල් කර ගන්නට යෙදූ බලය කෙතරම්දැයි එයින් වටහා ගත හැකි විය.

ඔහු තම මහපට ඇඟිල්ල ෂමිත්ගේ අතේ සීරී ඇති සම මත යන්තම් ස්පර්ශ කළේ ය. අඩ නින්දේ සිටි ෂමිත් එයින් ගැස්සී ගියේ නිරායාසයෙනි. ඒ මොහොතේ ඔහු අසල සිටින්නේ කවුරුදැයි කියාවත් ඔහුට සිහි වූයේ නැත. ඔහුට එක්විට ම දැනුනේ එදින ඔහුගේ දෑත්, කට හා දෑස් බැඳ වාහනයේ රැගෙන යන විට දැනුණු හැඟීම ම ය. ඔහු ක්ෂණිකව අවදි වූයේ ඔහුගේ අත ද ඔහු වෙතට ඇද ගන්නට උත්සහ කරමිනි.

"මං, මං. අත ඇල්ලුවේ මං. වෙන මොකෙක්වත් නෙවෙයි."

යේන් සැනෙකින් කීවේ ඔහුගේ හැසිරීමට හේතුව හඳුනා ගනිමිනි.

"ආ. ඔව් නේ..."

යේන් දෙස බලමින් කියූ ඔහු අත සෙමින් ඔහු වෙතට ගනිමින් මදක් එහාට වී නැවත හිස කොට්ටයෙන් ම තබා ගත්තේ ය.

The Deathtrap Where stories live. Discover now