මම ඉඳගෙන හිටියෙ එලිමහනට වෙලා.හිතේ කිසිම හැඟීමක් මගෙ තිබුනෙ නෑ. අම්මගෙ මරණය මට මහා අමුතු හැඟීම් වගේම සිතුවිලි ගොඩක් අරගෙන ආවා.ඒක බිඳිල ගියෙ මගෙ ළඟින් වාඩිවුන නාඳුනන කෙනා නිසා.
"පුතේ..ඔයා හොඳින් නේද?" එයා කතා කලේ අනුකම්පා සහගත කටහඬකින්.
"අම්මා නැති වුනාම මොන හොඳක්ද අන්කල්. ඔයා කවුද මන් දැකලා නෑනෙ කලින්.තනුර අයියගෙ පැත්තෙ නෑයෙක්ද?" මම ඇහුවෙ ඒ කෙනා කලින් දැකලා නැති නිසා.
"තනුර අයියගෙ නෑයෙක්නම් තමයි පුතේ මන්. ගොඩක් ලඟින් නෑ වෙන කෙනෙක්. ඔයා දැන් කාත් එක්කද ඉන්න හිතන් ඉන්නෙ?"
"ඒක නම් මම දන්නෙ නෑ. එක්කො මේ ගෙදර ඉඩක් ලැබෙයි.නැත්තම් වෙන කොහෙහරි යන්න වෙයි.කෝකටත් මම ලෑස්තියි." මම කිව්වා.
"ඔයාට පුළුවන් මාත් එක්ක ඉන්න."
"ඒක කරන්න නම් බෑ අන්කල් අනික ඇයි ඔයා මන් ගැන ඔච්චර හොයන්නෙ? මාව අඳුරන්නෙවත් නෑනෙ?" මම ඇහුවා.
"ඔයාව මන් අඳුරනවා කාලෙකට කලින්.ඒ වගෙම මගෙ අතින් වුන වරදක් නිවැරදි වෙනවා පුතේ ඒකෙන්" එයා කිව්වෙ ගේ ඇතුලෙ තිබුන අම්මගෙ නිසල සිරුර දිහා බලන ගමන්.
"කාලෙකට කලින් වුන වැරදි හැමෝගෙම තිබ්බනෙ.ඒ හැම එකෙන්ම මගෙ ජීවිතේ තමයි අවුල් වුනේ." මට කියවුනා.
"ඒක ඇත්ත. ඒ හැම වරදක්ම ඇති වෙන්න හේතුව මම තමයි පුතේ." එයා කිව්වම මගෙ හිතට ආවෙ සැකයක්.මේ ඉන්නෙ කාලෙකට කලින් මට හම්බෙන්න ඕනවෙලා තිබුන කෙනාද
"ඔයා කවුද?" මම ඇහුවෙ එයා දිහා බලන ගමන්.
"මමයි තනුරගෙයි තරුන්ගෙයි තාත්තා.ඔයාගෙ අම්මගෙ හස්බන්ඩ්"එයා කිව්වෙ එකපාරටම.මට ඒක අහලා පුදුමයක් දැනුනෙ නෑ.ඒකෙන් මගෙ හිතේ සැකය තහවුරු වුනා විතරයි.
"හ්ම්ම්.." මන් කිව්වෙ අම්මා මට මන් ගැන ඇත්ත කියපු දවසෙ තාත්ත ගැන කියපු හැමදේම මතක් වුන නිසා.
"ඔයා එනවා නේද මාත් එක්ක යන්න?" එයා ඇහුවා.
"නෑ. මට සමාවෙන්න. ඒත් ඔයා එක්ක මට එන්නත් බෑ.ඔයාලා එක්ක එන්න මට අයිතියකුත් නෑ "
"එත් ඇයි? මන් දන්නවා ඔයාව මන් ඒ දවස් වල පිලිගත්තෙ නෑ කියලා.ඒත් දැන් එහෙම නෑ."
"ඕනෙම කාලෙදි නැති දේවල් වලින් පස්සෙ කාලෙක වැඩක් නැතිව යනවා." මම කිව්වෙ හිඳගෙන හිටපු තැනින් නැගිටින ගමන්.
"ඔයාගෙ කැමැත්තක් පුතේ ඒත් ඔයාට ඕනෙම කාලෙක මං ගාවට එන්න පුළුවන්.ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා පුතේ.මගෙ වරද නිවැරදි කරන්න එක අවස්තාවක් හරි ලැබෙයි.එයා කිව්වා."
මම එතනින් ගෙට ගියා. අම්මා ලඟට වෙලා වාඩි වුන මම ඒ දිහ බලන් හිටියෙ වේදනාව දරාගෙන.ටික වෙලාවකින් ඇතුලට ආව තාත්තා අම්මගෙන් සමාව ගන්න වගේ එයා දිහා බලන් හිටියා.එයා පිටවුනේ මට එයා ඉන්න තැන් ගැන සම්පූර්ණ විස්තරයක්ම දුන්නට පස්සෙ. මම ඒක ගනන් ගත්තෙ නෑ. එ වගේම එයාව දකින අන්තිම පාර එක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කලා.
අම්මගෙ සිරුර මහ පොළවට මුසු වුනේ හැමෝගෙම සෝ සුසුම් මැද. ඒ වෙලාවෙත් ඇස්වල කඳුළුවලට මගෙ ඉඩක් තිබ්බෙ නෑ.මට මතක් වුන එකම සිද්දිය වුනේ මගෙ අයියත් මීට අවුරුදු 5කට කලින් මේ විදිහටම පොළවට එකතු වුන එක තමයි.මම ඒ වෙලාවෙ එක පොරොන්දුවක් වුනා.ඒ මම අම්මගෙ මරණෙට වගකියන්න ඕනෙ කෙනාව අනිවාර්යයෙන් හොයාගන්නවා කියලා.මගෙ ජීවිතේට කරදරයක් වුනත් ඒක අතාරින්නෙ නෑ කියලා මම දැඩිවම හිතාගත්තා.
..............................................................
තවත් සතියක් ගතවෙලා ගියා. ඒ කාලෙ අතරතුර අම්මගෙ දානයෙ වැඩ නිසා මම ටිකක් කාර්‍යබහුල වුනා.හෙමින් හෙමින් මගෙ හිතේ දුක තුනී වෙනකොට මම ලෑස්ති වුනේ මිනීමරුවා හොයාගන්න.ඒ ජගත් අන්කල් නෙවෙයි කියන එක දිගටම මගෙ හිතට වද දුන්නා.ඒ නිසා හැමදේම මුල ඉඳන් හොයන්න මම තීරණය කලා.මම තනුර අයියව බලන්න ගියා.
ඇක්සිඩන්ට් එක වෙලා දැන් දවස් එකොලහයි.තනුර අයියා තාමත් හොස්පිට්ල් එකේ ඇඳ උඩ නිසලයි.හුස්ම ගන්න එක ඇරෙන්න වෙන කිසිම දෙයක් එයා කරන්නෙ නෑ.මම තනුර අයියට කතා කලා.
"අයියෙ. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හැමදේම වෙනස් වුනා.අපි කොච්චර සතුටින් ඉන්න හිතුවත් ඒක කරන්න කවුරුහරි ඉඩ දෙන්නෙ නෑ.මගෙ අම්මා.. මන් කිව්වෙ අපෙ අම්මත් අපිව දාලා යන්න ගියා. දැන් එයත් අයියා එක්ක සතුටින් ඉඳීවි. ඒත් ඔයාවයි අම්මවයි මගෙන් ඈත් කරපු කෙනා මම හොයන්නයි යන්නෙ.ඒකට ඔයා මට ඉඩදෙයි කියලා හිතනවා.හෙමින් හැමදේම විසඳෙයි.මට ආය ඔයා ගාවට එන්න බැරිවුනොත් එතකොට ඔයා මතක තියාගන්න අයියේ.මන් ඔයාට ගොඩක් ආදරෙයි." මම කිව්වෙ එයාගෙ නලල ඉඹින ගමන්.මම ලොකට් එක ගලවලා එයාගෙ අතේ ගැටහැහුවා.මම ආපහු කාමරෙන් පිට වුනා.
මම පොලීසියට ගියෙ මන් අඳුරන පොලිස් නිලධාරියා හම්බෙන්න.එයාට කතා කරලා ම්න් කිව්වෙ මේ සිද්ධියට ජගත් අන්කල්ගෙ සම්භන්ධයක් නෑ කියලා මට හිතෙනවා කියලා. එයාලය් කිව්වෙ සාක්ශි විරුද්ධව තියන නිසා එහෙම හිතුනත් කරන්න දෙයක් නෑ කියලයි. ඒ එක්කම මගෙ හිතට අදහසක් ආවා.
"අර ඩිවයිස් එක මතකද?" මම ඇහුවා.
"ඔව් අර ලොකේශන් එක හොයාගන්න අලවලා තිබ්බ එක
නේද?"
"ඔව් මන් හිතන්නෙ ඒකෙන් සිග්නල් ගියෙ කොහෙටද කියලා හොයාගත්තොත් බැරිවෙන එකක් නෑ මිනීමරුව අල්ලන්න"
"ඒත් ඒක කරන්න අමාරුයි. මොකද දැන් ඒකෙන් සිග්නල් ගියත් වැඩේ ඉවර නිසා ඒ මිනිහා ආය හොයන එකක් නෑ. එතකොට එයාව හොයාගන්න අමාරු වෙයි.අනික එ වගෙ වැඩක් කරන්න දක්ශ හැකර් කෙනෙක් ඕනෙ වෙනවා "
"ඒ ගැනයි මන් කියන්න හදන්නෙ" මම කිව්වම පොලිස් නිලධාරියා මන් දිහට හැරුනෙ විදුලි වේගෙන්.
"කවුද ඒ?"
"එයා ගැන කිව්වොත් එයාට ප්‍රශ්නයක් ඇති වෙන් නෑ නේද? මොකද හැක් කරනව කියන්නෙ නීති විරෝධී වැඩක්."
"ඒක ගැන මන් බලාගන්නම්.කොහොම වුනත් හැක් කරනවට වඩා වැරදියි මිනී මරන එක.ඒ නිසා අපිට එයා හොයාගන්න වෙනවා.කවුද ඔයා කියන කෙනා."
"මීට මාස කීපෙකට කලින් මට ගොඩක් කරදර කරපු කෙනෙක්.ඒත් කලින් පාරත් තනුර අයියගෙ නඩුවෙදි උදව් කරපු කෙනා. සර්ට මතකද?"
"අර රශ්මින කියන කෙනාද?"
"අන්න හරි එයා තමයි. හොඳ දැනුමක් තියනවා ඕවගේ දේවල් සම්භන්ධව."
"එයා හිරෙන් නිදහස් වෙලා දවස් 3ක් විතර වෙනවා දැන්. අපිට උදව්වක් ගන්න බැරිවෙන එකක් නෑ නේද?"
"බෑ කියන එකක් නෑ."
"හරි අපි උත්සාහ කරලා බලමු.ඔයා එයාට කතා කරන්න."
"මම කරන්නම්" මම කිව්වෙ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
"ඒත් ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ අභිමාන්.මේ කිසි දෙයක් අපි හොයනවා කියලා මිනීමරුවට දැනගන්න තියන්න එපා. එහෙම වුනොත් ඔයාගෙ ජීවිතේට තියන අවධානම තවත් ඉහල යනවා "
"මම ඒකටනම් බය නෑ සර්.මම මැරුණත් කොහොම හරි මගෙ අම්මයි අයියයි වෙනුවෙන් සාදානරනය ඉශ්ඨ කරනවා."මම කිව්වා.
පහුවදාම අපි රශ්මින අයියගෙ ගෙදරට පිටත් වුනා.එයා මාව දැක්කම පිලිගත්තෙ ගොඩක් සතුටින්.
"මාව බලන්න ආවද මල්ලි?" රශ්මින අයියා ඇහුවා.
"ඔයා නිදහස් වුනා කියලා ආරංචි වුනා අයියෙ."
"ඔව් දවස් 3 අදට ගෙදර ඇවිත් මල්ලි.ඒත් මට හිතෙන්නෙ මම ඔයාට කරපු වැරදි වලට ඒ දඬුවම මදි කියලා"
"හ්ම්ම්. ඒවා හිතන්න එපා. ඔයා එහෙම කරේ නිරාශ් නිසානෙ.මම ආවෙ ඔයාගෙන් එක උදව්වක් ඉල්ලන්න අයියෙ." මම කිව්වෙ එයාගෙ ඇස් දිහා කෙලින්ම බලන ගමන්. ඒ ඇස්වල තිබුනෙ මට උදව් කරන්න ලොකු කැමැත්තක්.සමහර විට මට දරුණු විදිහට සලකපු එක තාමත් එයාගෙ හිතට වද දෙන නිසා එහෙම උදව් කරන්න හිතෙනවා ඇති කියලා මට හිතුනා.
"මොකද්ද මල්ලි? ඔයාට නොකරන උදව්වක් නෑ මගෙ ජීවිතේ ආය."
මම සිද්දවුන දෙවල් විස්තර කලා.අපේ ගේ ගිනිගත්ත තැන ඉදන් ඇක්සිඩන්ට් එක නිසා සිද්දවුන අම්මගෙ මරණය් දක්වාම.
"ඇත්තටම සමාවෙන්න මල්ලි.ඔයාගෙ අම්මා ගැන මට දුකයි.මොනව වුනත් ඒ කාලෙ එයා මට සැලකුව විදිහ මට මතකයි.උඹ එක්ක ගෙදර ගියාම පුදුම ආදරයකින්නෙ සැලකුවෙ."
"දැන් ඒ ආදරේ ආය ලබන්න බෑ අයියෙ.ඔයාටවත් මටවත්. කවුරු හරි එයාව මගෙන් උදුරගත්තා."
"මට මොනවද කරන්න තියෙන්නෙ?"
"ඔයාට කරන්න තියෙන්නෙ මේ ඩිවයිස් එකෙන් අභිමාන්ලා ඉන්න තැන හොයපු කෙනාව හොයාගන්න එක." පොලිස් නිලධාරියා කිව්වෙ එයාට ඒ උපකරණය දෙන ගමන්.
"ඒ කියන්නෙ මිනිහා සෑහෙන්න ප්ලෑන් කරලා තියනවා. මේක නම් ටිකක් අමාරු වෙයි.මන් උපරිම උත්සාහ කරනවා කවුද කියලා හොයාගන්න." රශ්මින අයියා කිව්වම මගෙ හිතට සැනසීමක් දැනුනා.
"ඔයාටදවස් කීයක් ඕනෙද වැඩෙට?"
"දවස් තුනකින් වගේ හොයාගන්න උත්සාහ කරන්නම්.ගොඩ කාලෙකින් මේක කරලා නෑ ඒ නිසා අමතක වෙලත් ඇති."
"ඔයාට පුළුවන්.මමයි තනුර අයියයි වෙනුවෙන් බැරිනම් මගෙ අම්මා වෙනුවෙන් මේක කරන්න අයියෙ." මම කිව්වම රශ්මින අයියා මන් දිහා බැලුවෙ හිත රිදුනු බැල්මකින්.
"මම කොහොමහරි මේක කරනවා.දැන්ම පටන් ගන්නම්." රශ්මින අයියා කිව්වා.
"හොඳයි මොනවහරි දැගත්තාම අපිට දන්වන්න."පොලිස් නිලධාරියා කිව්වා.අපි ආපහු ආවා.දවස් දෙක දෙකක් යනකම් රශ්මින අයියගෙන් කතාවක් නෑ.මම මුළු කාලයම ගතකලෙ හොස්පිට්ල් එකේ තනුර අයියට සිහිය ආවොත් එය ඉස්සෙල්ලාම දකින්න ඕනෙ මාව කියලා මන් හිතුවා.ඇක්සිඩන්ට් එකෙන් දහහතරවන දවසෙ හරියටම අප්‍රේල් 12 මට කෝල් එකක් ආවෙ රශ්මින අයියගෙන්.
"හෙලෝ මල්ලි"
"කියන්න අයියෙ මොනවහරි හොයාගත්තද?"
"ඔව් ඒගැන කියන්න තමයි ගත්තෙ.ඉක්මනට එදා ආව කෙනත් එක්ක මෙහෙට එන්න." එයා කිව්වා.
ඒ කියන පමාවට මන් එහෙ යන්න පිටත් වුනේ පොලිස් නිලධාරියාටත් කෝල් එකක් දෙමින්. පැයක් ගතවෙනකොට අපි රශ්මින අයියගෙ ගෙදර..
"මොනවද හොයාගත්තෙ අයියෙ?" මන් ඇහුවෙ කලබලෙන්.
"ලොකු දෙයක් නෙවෙයි.කව්ද ඔයාලගෙ ලොකේශන් එක හෙව්වෙ කියලා හොයාගත්තා.ටිකක් අමාරු වුනත් එයාමයි කියලා ශුවර් කරන්න පුළුවන්"
"ඒ කොහොමද ඔයා කියන්නෙ එහෙම?" පොලිස් නිලධාරියා ඇහුවා.
"මේකයි. මේක හරහා මන් බැලුවා ඔයාලව අල්ලගන්න හැදුව කෙනා ඉන්න තැන.ඒකෙන් දැනගත්තම මටත් විශ්වාස නැතුව ගියා මුලින්ම"
"ඒ ඇයි?" මම ඇහුවා.
"මම ඒ දවස් වල ඉඳන්ම දන්න කෙනෙක්.මාත් එක්ක එකටමයි ඉගෙනගත්තෙ.එයාටත් මේ වගේ වැඩ හොඳට පුළුවන්.එයාගෙ ගෙදර තමයි මේකෙන් පෙන්නන්නෙ"
"ඔයා කියන්නෙ විශ්ව අයියා ගැනද?අර ඒ දවස් වල කම්පියුටර් එකේම එල්ලිලා හිටියෙ." මම ඇහුවා.
"හරියටම හරි එයා තමයි. ඒත් මට හිතාගන්න බැරි එයා ඇයි ඔයාලට කරදර කරන්නෙ කියලා."
"අපි ඒක එයාගෙන්ම අහගමු." පොලිස් නිලධාරියා නැගිට්ටා.
"රශ්මින ඔයාට බොහොම ස්තූතියි."
"කලබල වෙන්න එපා.විශ්ව කියන්නෙ ලේසි එකෙක් නෙවෙයි.ඔයාලට කිසිම දෙයක් කියන් එකක් නෑ."
"ඒකනම් ඇත්ත." මම් කිව්වා." එයාගෙන් වචනයක් ගන්නව කියන්නෙ ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්.තමන් කෙනෙක්ට පක්ශපාතීව වැඩ කරනවනම් කිසිම වෙලාවක ඒ කෙනාව පාවලා දෙන කෙනෙක් නෙවෙයි."
"හරි ඒ කියන්නෙ එයාගෙන් දැනගන්නත් ප්ලෑනක් ගහන්න වෙනවා." පොලිස් නිලධාරියා කිව්වා.
"එකට මම ගාව ක්‍රමයක් තියනවා." මම කිව්වෙ ඒක විශ්ව අයියා ගැන මන් හොඳටම දන්න නිසයි.
මතුසම්බන්ධයි