*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
කතාවෙ මෙතන ඉඳලා කතාව ලියන විදිහ ටිකක් වෙනස් වෙනවා. ටික දවසක් යනකම් තනුරගෙයි අභිමාන්ගෙයි සම්භන්ධය ටිකක් දුරස්වෙන නිසා තනුර ඉන්න කොටස් ටික වෙන කෙනෙක් විස්තර කරන විදිහට ලියන්නම් නැත්තම් කතාව තේරෙන එකක් නෑ.
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
"අභී..." චාරු කතා කරාමයි මන් පියවි ලෝකෙට ආවෙ.
"ආ ඇයි බන්?"
"උඹ හොඳින්ද මොනවද හිතන්නෙ?"
"නෑ මට හිතුනෙ.සමහර විට මමත් අද මෙතන ඉන්න තිබුනා කියලා.අම්මා මාව අතෑරියා නම්."
"අමතක කරහම් බන් පරණ කතා.ඔව්වා දැන් හිතන්න ඕනෙ නෑ.අර පොත් ටික අරන් එමුකො.දැන් ඒ ටික බෙදලා දෙන්න ඕනෙ"
"ආ හරි යමු." මම කිව්වා.ඒත් අපිට යන්න හම්බුනේ නෑ.පිටිපස්සෙන් ඇහුන හඬකට මන් හැරිලා බැලුවා.
"අප්පච්චී..." ඒක පොඩි ළමයෙකුගෙ කටහඬක් නිසා මන් බැලුවෙ ළමා නිවාසයක් ඇතුලෙ කවුද එහෙම කියන්නෙ කියලා.
මන් දැක්කෙ ලොකෙ සුන්දරම දර්ශනය කියලයි මට හිතුනේ.අවු 4 ක විතර පුංචි පිරිමි ළමයෙක් අපි ඉන්න පැත්තට දුවගෙන ආවා.මන් ඇසිපිය නොහෙලා එයා දිහා බලන් හිටියා.මගෙ පැත්තට ආව එයා මගෙ කලිසම් කකුලෙ එල්ලුනා.
"අප්පච්චි මට හම්බුනා.." ඒ කටහඬේ තිබුනෙ ලොකු සතුටක්.මන් එයාව වඩාගත්තෙ ඉබේටමයි.
" මන් ඔයාගෙ අප්පච්චි නෙවෙයිනෙ පැටියෝ.ඔයා කාත් එක්කද මෙහෙ ආවෙ" මම ඇහුවා.
"මේ මගෙ ගෙදරනෙ.ඇයි ඔයා මාව බලන්න ආවෙ නැත්තෙ?"
මට ඒක්ට උත්තර දෙන්න හම්බුනේ නැත්තෙ ඒ වෙලාවෙ ළමා නිවාසෙ බලාගන්න කෙනා ආව නිසා.
"තිමිර.. ආයෙත් එන අයට කරදර කරනවා නේද? මන් වේවැල ගේන්නද?"
මට මේකට මැදිහත්වෙන්න වෙනවා.මම හිතුවා.
"අනේ නෑ මට කරදරයක් වුනේ නෑ.මෙයා හරිම කියුට් නේ."මම කිව්වෙ දඬුවම වලක්වන අදහසින්.
"මේ මෙහෙ ඉන්න කෙනෙක්ද?" චාරු ඇහුවා.
"ඔව්.. අවු 4 යි වයස.කවුරු හරි කෙනෙක් පාර අයිනෙ කුණු බාල්දියකට දාලා ගිහින් අවු 4 කලින්.දැකපු කෙනෙක් අපිට ගෙනත් භාර දුන්නා."
මට දැනුනෙ ලොකු අනුකම්පාවක් මගෙ ජීවිතයට සමාන කෙනෙක් මෙ විදිහට මුණගැහුන එක හරිම අමුතුයි කියල මට හිතුනා.මට ඒ එක්කම් ඒ දරුවා ගැන ලොකු ආදරයක් ඇතිවුනා.මට හිතුනෙම ඒ ළමයගෙ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන්න.
"මන් දෙයක් අහන්නද?" මම ඇහුවා.
"අහන්න." ළමා නිවාසෙ බලාගන්න කෙනා මට කිව්වා.
"මට පුලුවන්ද මෙයාගෙ ඉගෙනීම් කටයුතුවල වියදම් වගේ දේවල් බාරගන්න." මන් අහනකොට චාරු මන් දිහා බැලුවෙ ඇස් ලොකුකරගෙන.
"ඔව් පුලුවන්.මමත් කෙනෙක් හොය හොය තමයි හිටියෙ."
"එහෙනම් ඒකට ඕන දේවල් ලෑස්ති කරන්න." මම කිව්වා.ඒත් චාරු ඒකට කැමති බවක් මම දැක්කෙ නෑ.
"ඇයි චාරු."මම ඇහුව.
"උඹ මොකද මේ කරන්නෙ? අද දැකපු පොඩි එකෙක් ගැන මෙච්චර ආදරයක්"
"උඹට හිතෙන්නෙ නැද්ද මේ මමමයි කියලා" මම ඇහුවෙ පොඩ්ඩගෙ නහයෙන් අල්ලන ගමන්.
"ඒ කිව්වෙ?"
"මේ පොඩ්ඩා මම වගේමයි බන්.කාට හරි එපා වුන කෙනෙක්." මම කිව්වා.
"අනේ මන්දා. ඒත් උඹ කියන දේත් හරි.මාත් පුලුවන් විදිහට උදව් කරන්නම් උඹට මෙයාගෙ වියදම් බලන්න"
මට ඒ වෙලාවෙ ගොඩක් සතුටු හිතුනා.ඒ වගේම පොඩ්ඩත් සතුටු වෙන්න ඇති.
"ඔයා ඉස්කෝලෙ යන්න ආසද?" මම ඇහුවා.
"ඔව්. ඇනී නැන්දා ඒක ගැන කියල තියනවා.ඒත් ගිහිල්ලා නම් නෑ"
"ඇනී නැන්දා කිව්වෙ?" චාරු ඇහුවා.
"අපිව බලාගන්න එන නැන්දා" පොඩ්ඩා ආපහු හුරතල් විදිහට කිව්වා.
"මේ නැන්දා කවුද අප්පච්චි?"
මට ඒකට හිනා ගියෙ චාරුගෙ මූණ රතුවුන නිසා.
"නැන්දා කියන්න එපා පොඩ්ඩො.මට අක්කා කියන්නකො"චාරු කිව්වා
"ඔයා නැන්දා කෙනෙක් වගේනෙ"
ආපහු මට හයියෙන් හිනා ගියත් මම හිනාව නවත්තගත්තා.චාරුත් ඒ එක්කම හිනා වුනේ පොඩ්ඩගෙ දඟකාර කතා නිසා.
"හරි හරි ඔයා ඕන එකක් කියන්න.ඒත් ඉතින් අභීට අප්පච්චි කියන්නෙ ඇයි?"
"අප්පච්චි කියන්නෙ කවුද අක්කෙ?" පොඩ්ඩා අහින්සක විදිහට ඇහුවා.
මට ඒකට දුක හිතුන නිසා මන් කතාව එතනින් නවත්තලා දානෙ ඉතුරු වැඩ ටික කරන්න ගියා.පොඩ්ඩත් අපෙ පස්සෙන් ආව.
ආපහු එනකොට මට ගොඩක් දුක හිතුනෙ පොඩ්ඩව දාලා එන්න.මම එනවට පොඩ්ඩත් අකමැති වුනා.මම එතනින් ආවෙ එයාව ඉස්කෝලෙ එක්කන් යන බව පොරොන්දු වෙමින්.
..................................................................
(තනුර)
මේ අතර තනුරගෙ ගෙදර සිදුවුන සමහර දේවල් අපිව ඈත් කරන්න තරම් දේවල් වුනා.උදේම අභිමාන්වත් මතක් කරකර තනුර එයාට ආව ලියුම් බලන්න ගත්තා.ගොඩක් ඒවා එයාගෙ රසිකයන්ගෙන් වුනත් එක ලියුමක් දැක්කම තනුර ඒක විශේෂයෙන්ම බලන්න ගත්තා.
ලියාපදිංචි තැපෑලෙන් එවලා තිබුන ඒ ලිපිය දැක්කම තනුර ඒක කියවන්න ගත්තෙ කුතුහලයෙන්. එයාට දැනුනෙ අමුත්තක් කිව්වොත් නිවැරැදියි.
"ආදරණීය තනුර වෙත.
ඔයා මේ ලියුම ගැන හිතයිද කියන්න මම දන්නෙ නෑ. මේක ලියන්නෙ ඔයාව හම්බෙන්නම ඕනෙ නිසා.කරුණාකර මේ ලියුම නොසලකා හරින්න එපා.අපිට විශේෂ වුන ආරුක්කු නවයෙ පාලම උඩදි 20 වෙනිදා උදේ 10 ට මාව හම්බවෙන්න.
මීට
ඔයාගෙ මිතුරෙක්."
තනුරට මේක මහ ප්‍රෙහෙලිකාවක් වුනා.එයා හිතුවෙ මේක අභිමාන් එවපු ලියුමක් කියලා.ඒ නිසාම එයා ආපහු බදුල්ලෙ යන්න ලෑස්ති වුනේ 20 වෙනිදා කියන්නෙ අනිද්දා නිසා.පහුවදා උදෙන්ම තනුර පිටත්වුනේ හිතේ තිබුන ලොකු සතුටකින්.ඒකට් හේතුව අභිමාන් එක්ක ආයෙමත් සතුටින් ඉන්න පුලුවන් කියන බලාපොරොත්තුව එයා තුල තිබුන නිසා.ඉක්මනින්ම බදුල්ලට ලඟා වුන තනුර 20 වෙනිදා වෙනකන් බලා හිටියෙ නොයිවසිල්ලෙන්.
................................................................
(අභිමාන්)
ළමා නිවාසෙට ගියපු දවසට පස්සෙ මම ආපහු ගියෙ මන් කලින් වැඩ කරපු තැනට.එතනට යනකොටම චාරු ඔෆිස් එක මැද්දෙ ඉඳන් අත වැනුවා.මම එයාට අත වනාගෙනම ඇතුලට ගියත් මගෙ ගමන කෙනෙක් වැලැක්වුවා.
"කොහෙද යන්නෙ? මේක ගෙදර කියල හිතුවද?" රශ්මින මගෙන් ඇහුවෙ මාව ආපහු පිටිපස්සට තල්ලු කරන ගමන්.
"මන් යන්නෙ මගෙ බොස්ව හම්බෙන්න" මම කිව්වෙ රශ්මිනව ගනන් ගන්නෙ නැතුව.
"එතන උඹෙ බොස් කෙනෙක් හිටියෙ ඉස්සර.උඹ හිතුවද පාරෙ ඉන්න හිඟන්නෙකුටත් අපෙ බොස්, බොස් වෙනවා කියලා"
"අනේ නෑ රශ්මින අයියෙ.බොස් කෙනෙක් බොස් වෙන්නෙ තමන්ගෙ යටතෙ ඉන්න සේවකයන්ටනේ.ඒ නිසා මට යන්න දෙනවද?" මම ඇහුවෙ රශ්මින මෙච්චර වෙලා මගෙ ඇඟ උඩින් තියන් හිටපු අත අහකට කරන ගමන්.
"ඔතන මොකද්ද වෙන්නෙ?" ඒ එක්කම ඇහුනෙ බොස්ගෙ කටහඬ.
"ආ අභිමාන් ඔයා ආවද? මන් ඒත් බැලුවා ඇයි පරක්කු කියලා." බොස් ඒ එක්කම කිව්වා.
"සර් මම එනකොට ටිකක් පරක්කු වුනා.අනික මෙතන පොඩි ප්‍රශ්නයක් වුනානෙ" මම කිව්වා.
"රශ්මින තමන්ගෙ වැඩක් බලාගත්තොත් හොඳයි" බොස් එහෙම කියලා මාත් එක්ක එයාගෙ ඔෆිස් එකට ගියා.
"ඔයා ආපහු ආව එක ගැන සතුටුයි. ඔයාගෙ තනතුර වගේම පඩියත් මම වෙනස් කරන්න හිතුවා."
"ඒ කිව්වෙ සර්?"
"ඔයාගෙ degree එක තාම සම්පූර්ණ නැති වුනත් ඔයාව අපේ assistant manager විදිහට මන් පත්කරනවා.ඒ අතරෙ degree එක සම්පූර්ණ කරන්න."
"ඒත් සර්." මම කිව්වෙ ඒකට ටිකක් අකමැති වුන නිසා.
"ඇයි මොකද්ද ප්‍රශ්නෙ?"
" මම ඒ වැඩ ගැන දන්නෙ නෑනෙ" මම කිව්වා.
"ඒ ගැන හිතන්න එපා. මම කියලා දෙන්නම්."
"අනිත් අයගෙන් ලොකු බලපෑමක් ඇතිවෙයිනේද සර් මේකට?"
" මේ ආයතනය මගේ පුතා.ඒ නිසා ඔයා බයවෙන්න එපා." බොස් කියද්දි මගෙ හිතට පොඩි සහනයක් දැනුනා.ඒනිසාම අළුත් තනතුරේ වැඩ මම භාරගත්තෙ සතුටින්.මේ වෙලාවෙ මටත් වඩා සතුටු වුනේ චාරු.ඒ වගේ යාළුවෙක් ලබන්න ලොකු පිනක් කරන්න ඕනෙ කියලයි මට හිතුනෙ.
"දැන් ඉතින් අපිට පාටියක්වත් දියන්"
චාරු කිව්වා.
"හරි හරි දෙන්නම් බන්" මම කිව්වෙ හිනාවක් දාන ගමන්" උඹටත් ඉතින් මමම මොනාහරි කරගන්නකම් ඉන්න ඕනෙ පාටි ඉල්ලන්න.
"හරි ඉතින් උඹ මගෙ ගොන් ගහනේ" චාරු එහෙම කිය කිය මාත් එක්ක කතා කලා.
එයා ඉල්ලන ඕනෙම දෙයක් අරන් දෙනව කියල හිතාගෙන මම එයා එක්ක පහුවදා ටිකක් ඇවිදින්න ගියා.එයාට ඕන දේවල් අරගත්තට පස්සෙ අපි දෙන්නම ගියෙ අපි පුංචි කාලෙ ගිය පෙරපාසලට.අපිට ඕනවුනේ තිමිරව ඒකට ඇතුලත් කරන්න.හිතුවට වඩා වැඩේ ලේසි වුනා.අදාල ගෙවීම් කරාට පස්සෙ තිමිරව ඇතුලත් කරන්න ඕන දේවල් අපි ලෑස්ති කරන්න ගත්තා.
ඊළඟ දවසෙ අපි ළමා නිවාසෙට ගියෙ තිමිරව ඇඳුම් මහන්න එක්ක යන්න.තිමිර අපි දෙන්නා එක්ක මුළු ටවුමෙම ඇවිද්දෙ සතුටින්. අපිටත් ගොඩක් ලොකු සතුටක් දැනුනා.මන් තනුර අයියා ගැන මතකය හැකිතරම් දුරට මගෙන් ඈත් කරන්න වෙහෙසුනා.ඒත් ඒක ලේසි වැඩක් වුනේ නෑ.
................................................................
(තනුර)
ඉක්මනින්ම තනුර බලාගෙන හිටපු දවස උදා වුනා.එයා පාලම උඩට වෙලා බලාගෙන හිටියෙ එයා බලාපොරොත්තු වුන අභිමාන් එනකම්.පාලම උඩට හරියටම උදේ 10 වෙනකොටම ගියත් කවුරුවත් නොහිටිය නිසා තනුර බැම්ම උඩ වාඩිවෙලා අභිමාන් එක්ක තිබුන මතකයන් හාරා අවුස්සන්න පටන් ගත්තා.මුලින් හිතට සතුටක් දැනුනත් පස්සෙ අභිමාන්ට බැනපු විදිහ මතක් වුනාට පස්සෙ තනුර ගොඩක් දුක් වුනා.ඒත් එක්කම පිටිපස්සෙන් ඇහුනු කටහඬට තනුර හැරිලා බැලුවා.
"එහෙමනම් ඔයා ලියුමෙ තිබුන දේ විශ්වාස කලා නේද?"
"ඔව් මගෙ මැණික." තනුර එහෙම කියන ගමන් ලොකු හිනාවක් එක්ක ආපහු හැරුනත් දැකපු දර්ශනයෙන් එයාගෙ හිනාව ක්ශනයකින් අතුරුදන් වුනා. ඒ එක්කම එයාට දැනුනෙ තමන් ක්ලාන්ත වෙන්න යනවා වගේ.
"මියුරු?" තනුර එහෙම අහන ගමන් බිම ඉන්දවුනා.
"ඔව් තනුර. මාව දැකලා ඔයාට සතුටු නැද්ද?"මියුරු ඇහුවා.
"ඒත් මේක කොහොමද වෙන්නෙ? ඔයා දැන් මැරිලා.ආපහු ආවෙ කොහොමද ?" තනුර ඇහුවෙ ලොකු බයකින් වගේම කුතුහලයෙන්.
ඒක කිව්වම මියුරුගෙ මූණ වෙනස් වුනා.
"මම මැරුනෙ නෑ තනුර මේ ඉන්නෙ මමමයි."මියුරු කිව්වෙ තනුර දිහාට
ඇවිදන් එන ගමන්.
"මේක වෙන්න බෑ.කොහෙත්ම වෙන්න බෑ." තනුර හිඳගෙන හිටපු තැනින් නැගිට්ටා.එයා ඇස් පිහිදලා බැලුවෙ තමන් මේ දකින්නෙ ඇත්තක්ද කියලා.
"තනුර බයවෙන්න එපා.මම විස්තරේ කියන්නම්.ඔයා ලොකු වැරදි වැටහීමක ඉන්නෙ" මියුරු තනුරගෙ උරහිසින් ඇල්ලුවා.
"ඔයා මැරුණා.මට ඒක විශ්වාසයි.එදා අතුරුදන් වුන ප්ලේන් එක එක්කම ඔයා අතුරුදන් වුනා."
"ඔයා මේ දකින දේ විශ්වාස නැද්ද? කලබල නොවී මම කියන දේ අහන්න තනූ." මියුරු එහෙම කිව්වම තනුර් ආපහු එයා දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන.
"අ අවුරුදු 3කට කලින් අතුරුදන් වුන ඔයා කොහොමද ආපහු ආවෙ.ඒ ප්ලේන් එක අතුරුදන් වුනානෙ.ඒත් කොහොමද ඔයා මගෙ ඉස්සරහට වෙලා ඉන්නෙ." තනුර ඇහුවෙ වෙව්ලන කටහඬින්.
"නෑ තනුර.බය නොවී ඉන්න මම කතාව කියන්නම්.ඔයා ලොකු වැරදි වැටහීමක ඉන්නෙ." මියුරු තනුර ඉස්සරහින් වාඩි වුනා.
මතුසම්බන්ධයි