අම්මට කියන්න තියන දේ අහන්න මම හිටියෙ නොයිවසිල්ලෙන්.ඒක සමහර විට මගෙ තාත්තා ගැන වෙන්න පුලුවන්.එහෙමත් නැත්තම් මන් ගැනම මන් නොදන්න දෙයක් වෙන්නත් පුලුවන්.ඒත් මේ අවුරුදු 4 ක් තිස්සෙ කියන් නැතුව හිටියා කියන්නෙ මොකද්ද? ඒ ඔක්කොටම පිළිතුරු තියෙන්නෙ අම්මා ගාවම තමයි.
"මොකද්ද අම්මෙ කියන්න තියෙන්නෙ?"
"මේක කිව්වම ඔයා කලබල වෙන්නවත් දුක් වෙන්නවත් එපා.ඔයාගෙ අයියාව මතකද ඔයාට?"
අම්මා මගෙන් ඇහුවා.ඒ ප්‍රශ්නෙත් එක්කම මං නිකම් හිරවෙනවා වගේ දැනුනා.මට මගෙ අයියව කොහොමද අමතක වෙන්නෙ.අයියගෙයි මගෙයි වයස් පරතරය අවු 4 යි. තාත්තත් නැතිව අම්ම මාවයි අයියවයි උස්මහත් කලා. අයියට අවු 10 වෙනකොට අම්මට රස්සාවක් හම්බෙලා තිබුණා.අවු 6 වුන මාව එදා ඉඳලා බලාගත්තෙ අයියා.අයියගෙ ආදරේ අම්මගෙ ආදරේටත් වඩා මට හුඟක් දැනුනෙ අම්ම එක්ක හිටියට වඩා මන් හිටියෙ අයිය එක්ක නිසා.අවු 14 ඉඳන්ම පවුලෙ බර කරට අරන් වැඩ කරන්න පටන් ගත්ත එයා මුලින්ම ගියෙ ගල්වලක වැඩට. ගල් වලේ වැඩ කරල එන අයියා කවදාවත් මහන්සි පාටක් පෙන්නනව මන් දැකලා නැ.හැමදාම අයිය මට කිව්වෙ හොඳට ඉගෙනගන්න කියලා.අම්මයි අයියයි දෙන්නම මට ඉගෙනගන්න ගොඩක් උදව් කලා.
අයියා නැතිවෙනකොට මට අවු 16
ඒ දවස මට දරාගන්න බැරි තරම් දුක හිතුන දවසක්.ඒත් මම එක කඳුලක්වත් වැට්ටුවෙ නෑ.ඒකට හේතුව අයිය මම අඬනවට පොඩ්ඩක්වත් ආස නැති නිසා. අයියා වෙනුවෙන් අඬපු නැති මම කොහෙවත් යන එකෙක් නිසා ඇඬුවා කියල මතක් වෙනකොට මට ආවෙ කියාගන්න බැරි තරහක් මාත් එක්කම.අයියගෙ අවසන් හුස්ම යන වෙලාවෙ එයා එක්ක ඉන්න තරමටවත් මම වාසනාවන්ත වුනේ නෑ.ටික දවසක් අසනීපෙන් හිටියත් ඒ අසනීපෙ ගැන මොකුත් මට අයියා කියලා තිබ්බෙ නෑ. මගෙ ජීවිතේ මම අයියට තරම් කාටවත් ආදරේ කරල නැතුව ඇති.අම්මටවත් මම අයියට තරම් ආදරේ කලේ නෑ.අයියගෙන් තරම් ආදරයක් කාගෙන්වත් ලැබිලත් නෑ.
අයිය සම්භන්ධ මතක මගෙ ඉස්සරහ එකදිගට මැවෙන්න පටන්ගත්තා.මන් ඒ අතර ඉඳලා එලියට ආවෙ අම්ම ආපහු කතා කරනව ඇහිලා.
"අයියව මන් කොහොම අමතක කරන්නද අම්මෙ?"මන් ඇහුවා.
"අයියා ගැන දෙයක් තමයි මං කියන්න යන්නෙ"අම්ම සුසුමක් හෙලුවා.
"මොකද්ද? අයියා මටත් නොකියපු දේවල් තියනවද?"
"ඔව්,ඒත් ඔයාගෙම හොඳට කරපු දෙයක් ඇරෙන්න එයා කවදාවත් ඔයාට නරකක් කරන්නෙ නෑ කියලා ඔයා දන්නවනෙ."
"මන් ඒක දන්නවා.කියන්න මොකද්ද කියන්න තියෙන්නෙ?"
"මේක අහලා කලබල වෙන්න එපා පුතේ.ඔයාගෙ අයියා ඔයාට ගොඩක් ආදරේ කලා.තමන්ගෙම සහෝදරයෙක් නෙවෙයි කියල දැන දැනම එයා ඔයාට ආදරේ කලා."
ඒ කියපු දේ මට විශ්වාස කරන්න බැරිවුනා.අයියා මගෙ සහෝදරයා නෙවෙයිද එතකොට එයා කාගෙ කවුද මගෙ හිතට එක දිගට ප්‍රශ්න ගලාගෙන එන්න ගත්තා.
"එතකොට අයියා කාගෙ කවුද අම්මෙ.අපි දෙන්නම එක ලඟට ආවෙ කොහොමද?" මං ඇහුවා.
"ඒක දැන් කියන්න වෙලාව නෙවෙයි.හරි වෙලාව ආවම හැමදේම මන් කියන්නම්." අම්මා කිව්වා.
මන් ඔලුව වනලා ඒකට එකඟ වුනා.අම්මා කියන්න අකමැති දෙයක් මන් කියන්න කියලා කවදාවත් බල කරන්නෙ නෑ.ඒත් එදා එහෙම නොවුන මුරණ්ඩු ළමයෙක් වුනානම් කියලා මට හිතුනා.
"අයියා මැරුණු වෙලාවෙ ඔයා හිටියෙ නෑ.ඊට කලින් එයාට හොඳටම අමාරු වුනා.එයා ඔයාට ගොඩක් කතා කලා.ඒත් ඔයාට එන්න කියන්න පුලුවන්කමක් මට තිබුනෙ නෑ.ඒ වෙලාවෙ අයිය මට හැමදේම කිව්වා.අයියට තිබිලා තියෙන්නෙ පොඩි ලෙඩක් නෙවෙයි.ස්වසන පිළිකාවක්."
"ස්වසන පිලිකාවක්? ඒත් කොහොමද ?"මන් ඇහුවෙ පුදුමයෙන්.
"ගල්වලේ වැඩ කරපු නිසා තමයි.ගල්කුඩු නිසා තමයි වෙලා තියෙන්නෙ.ඒක දැනගෙන තියෙන්නෙත් අයියා යාළුවෙලා හිටපු ගෑනු ළමයා බලෙන්ම වගේ එක්ක ගිහින් පරික්ෂා කරපු වෙලාවක කියලයි අයියා කිව්වෙ.ඒක දැනගත්තට පස්සෙ ඒ ළමයා අයියව අතෑරියා කියලා කිව්වා."
ඒක මොනවගේ ආදරයක්ද අම්මෙ.හොඳින් ඉන්නකන් විතරද මනුස්සයෙක්ට ආදරේ කරන්නෙ?"
"අපි එහෙම හිතුවට අයියා කිව්වෙ වෙන දෙයක්.අයියා කිව්ව ඒක හොඳයි කිය්ලා.ඒ ගෑනු ළමයා අයියා නැතිවුනාට පස්සෙ දුක් විඳිනවට වඩා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න එක හොඳයි කියලයි කිව්වෙ."
"ඒත් අයියා ඇයි අපිට මේ ගැන කිව්වෙ නැත්තෙ.මන් කිව්වෙ එයාගෙ ලෙඩේ ගැන."මන් ඇහුවා.
"අයියා කැමති වෙලා නෑ අපි එයා ගැන හිතලා දුක් වෙනවට.අනික ඔයා O/L කරන වයසෙ.එතකොට අයියා ගැන හිතලා ඔයා අවුල් වෙයි කියලයි කියල නැත්තේ"
එතකොට මට දැනුනෙ ලොකු දුකක්.මන් වෙනුවෙන් අයියා නොකල දෙයක් නෑ කියල මට තේරුනා.එච්චර දෙයක් වෙලත් අයියා මන් ගැනම අම්මා ගැනම හිතපු එක ගැන මට ලොකු අනුකම්පාවක් ඇතිවුනා.මට මං ගැන දැනුනෙ මහ කලකිරීමක්.මම නොහිටියානම් අයියා එයා ගැන හිතලා බෙහෙත් ගනීවි කියල මට හිතුනා.
"ඔයාගෙ 20 උපන්දිනේට මේක දෙන්න කියලා අයියා මට මේක දුන්නා.ඕකෙ මොනවද තියෙන්නෙ කියලා මන්වත් දන්නෙ නෑ."
අම්මා එහෙම කියලා මට පොඩි පෙට්ටියක් දුන්නා.ඒක ඇරලා බලන්න තරම් ධෛර්යයක් ඒ වෙලාවෙ මට තිබුනෙ නෑ.
එහෙම ඇරලා බැලුවනම් මම මොනවගේ තත්වෙකට පත්වෙයිද කියල මට හිතුනා.
ඇයි ඕක බලන්නෙ නැත්තෙ?" අම්ම ඇහුවා.
"මන් මේක ගෙදර ගිහින් බලන්නම් අම්මෙ."
"ඔයාගෙ කැමැත්තක්.එහෙනම් ගෙදර යමු."
"හ්ම්ම්" මම කිව්වෙ පෙට්ටිය දිහාම බලාගෙන.අඬන්න සැරසුණු ඇස් වලට මම තරවටු කලේ අයිය අකමැති දේ ආයෙත් නොකරන බවට පොරොන්දු වෙමින්.
ගෙදර ගිහින් ඇඟ සෝදගෙන ඇඳට බර වුනේ හිතේ තිබුණු බරත් එක්කමයි.අම්මත් මාත් එක්කම ඇඳට ආවා.මම අම්මා දුන්න පෙට්ටිය අරගෙන ඒ දිහා බැලුවා.
"ඕක බලන්නද යන්නෙ?" අම්මා ඇහුවා.
"ඔව්, මොන දේ තිබුනත් ඒක තිබ්බෙ අයියා මම වෙනුවෙන්.එයා මට නරකක් වෙනවට කැමති නෑ.ඒ නිසා මම මේක බලනවා"මම අම්මට කිව්වා.
"හ්ම්ම්. බය නැතුව බලන්න.සමහර විට තෑග්ගක්ද දන්නෙ නැ.20 උපන්දිනේට දෙන්න කියලනෙ කිව්වෙ"
කොහොම උනත් ඒක දැනගන්න නම් මේක ඇරලම බලන්න වෙනවා.මම පෙට්ටියෙ පියන බැඳල තිබුන පටිය ලිහලා දැම්මා.
මතුසම්බන්ධයි