"පුතා මොකක් හරි ප්‍රශ්නයක නේද ඉන්නෙ?" අම්මා මගෙන් ඇහුවා.
"නෑ අම්මෙ මන් හොඳින්." මන් අම්ම දිහා බලන්නෙ නැතුවම කිව්වා.
"මන් දිහා බලන්න."
අම්ම මගෙ අතින් පොත ඇදලා ගත්තා.මන් අම්ම දිහා බැලුවත් ඉක්මනටම අහක බලාගත්තා.එයා දිහා බලාගෙන බොරුවක් කියන්න තවමත් මට බැහැ.බොරුවක් කියන හැම වෙලේම මගෙ ඇස් අම්මගෙන් ඉවතට වෙන්නෙ නිරායාසයෙන්මයි.
"බොරු නේද කියන්නෙ.මන් දන්නවා ඔය විදිහට අහක බලන්නෙ බොරු කියනකොට කියලා.කියන්න මොකද්ද ප්‍රශ්නෙ?"
"ප්‍රශ්නයක් නම් තියනව අම්මෙ.ඒත් මට ඒක කියන්න බැරිවෙයි."
"දරුවෙක්ට අම්මට කියන්න බැරි ප්‍රශ්න තියනවද දරුවො?"
"එහෙම නෙවෙයි.මට මේ දේ කියන්න හරි වෙලාව තාම ආවෙ නෑ අම්මෙ.අනික මේක මම කිව්වොත් අම්මට මන් ලොකු බරක් දුන්නා කියල මට හිතෙයි."
"උඹ මට බරක් නෙවෙයි පුතේ.උඹ උඹට පුලුවන් කාලෙ ඉඳලම පුලුවන් විදිහට කීයක් හරි හම්බකරගෙන මටත් දීලා උඹෙ වැඩත් කරගත්ත එකෙක්."
"ඒක හරියි කියමුකො.ඒත් මේක ඊට වඩා වෙනස් අම්මෙ"මන් කිව්වා.
"හරි කියන්න බැරිනම් කමක් නෑ.හැබැයි ඔයාට ඕනෙ වෙලාවක ඕනෙම දේකට මම ඉන්නවා."
"මම ඒක දන්නව අම්මෙ."මම එහෙම කියාගෙන අම්මගෙ උකුලෙන් ඔලුව තියාගත්තා.අම්ම හෙමින් හෙමින් මගෙ ඔලුව අතගානකොට විනාඩි ගානකට හිතට දැනුණ නිදහස මහ ලෝභ කමකින් රස වින්දා...
"දැන් නිදා ගන්න.හෙට උදේ වැඩට යන්නත් ඕනෙ නේ."
"තව ටිකක් මෙහෙම ඉන්න දෙන්න.කාලෙකින් මෙහෙම ඉන්න ලැබුනෙ" මම එහෙමම ඇස් පියාගත්තා.
.................................................................
පහුවෙනිදා උදේ මම නැගිටිනකොට හිතට ටිකක් හොඳයි.ඒ වෙනකොට අම්මා කුස්සියෙ.මම හෙමින් ඒ පැත්තට ගියා.කුස්සියෙ එලවළු කප කප හිටපු අම්මව මන් ගිහින් බදාගත්තා.
"ආ මේ මොන නාකි හුරතලයක්ද මේ.ගිහින් ලෑස්ති වෙන්න."
"ගුඩ් මෝනින් සුදු අම්මියා".මන් එහෙම කියාගෙන නාගන්න ලිඳ පැත්තට ගියා.නාල ලෑස්ති වෙලා අම්මටත් කියලා මම එලියට බැස්සා.
"අද හවසට පන්සල් යන්න ඕනෙ ඒ නිසා පරක්කු වෙන්න එපා."අම්මා කිව්වා.
"හා අම්මෙ."මං එහෙම කියාගෙන පාරට දුවගෙන ආවෙ ඒ වෙනකොටත් බස් එක එනවා දැකපු නිසා.අද හවස මොකටද පන්සල් යන්නෙ.මන් එහෙම හිත හිතම බස් එකේ එල්ලුනා.
මන් වැඩ කරන තැනට එනකොට මගෙ හිතට ආපහු අවුල් බවක් දැනෙන්න පටන් ගත්තා.මොකද කියනවනම් රශ්මින අයියත් වැඩ කරන්නෙ එතනමයි.ඒත් මන් ඇතුලට යනකොටත් එයා ඇවිත් හිටියෙ නෑ.රශ්මින අයියා ඉන්නවද කියලා බලබල හෙමින් හෙමින් ඇතුලට ආව මගෙ ඇඟට එක පාරටම නොහිතපු විදිහට කෙනෙක් කඩාගෙන පැන්නා.
"Happy birthday මැට්ටෝ."
ඒ චාරුනී.මගෙ හොඳම යාළුවා.මගෙ වයසම වුනත් හරියටම කිව්වොත් මගෙ අක්කා වගේ. ඕනෙම දෙයක් කියන්න පුලුවන් කෙනෙක්.එයාව නම් හම්බවුනෙ මන් ගිය ඉස්කෝලෙදි. ඒ ලෙවල් වලින් පස්සෙ වැඩට ආවෙ මන් වැඩකරපු තැනටමයි.මන් ගැන හැමදේම දන්න කෙනෙක් තමයි චාරු.මන් සමරිසි කෙනෙක් කියලත් මන් යාළුවෙලා හිටියෙ රශ්මින අයියා එක්ක කියලත් දන්නෙ එයා විතරයි.
කොහොම උනත් ඒ ඇඟට පැන්න විදිහට මන් පුදුම වෙනවා වෙනුවට බය වුන එකයි වුනේ.
"මොකෝ බං උනේ.හරියට හොල්මනක් දැකලා වගේ."චාරු හිනාවෙවී මගෙන් ඇහුවා.
"බය වෙන්නෙ නැද්ද බං.ඔහොමත් ඇඟට පනිනවද?"
"හා හා ඒකෙන් වැඩක් නෑ කෝ අපිට කේක්."
"කේක් මොකටද?අද දවස මොකද්ද ?"
"යකූ උඹ මාර ඩයල් එකක්නෙ.අද මාර්තු 12.උඹෙ බර්ත්ඩේ එක."
"ඒ ගැන ගානක් ගියෙ නෑ බන්.උඹ කියනකොට තමයි මතක් උනේ."මන් බිම බලාගෙන කිව්වා.
" එහෙමත් අමතක වෙනවද තමන්ගෙ උපන්දිනේ.උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ?"
මන් ගිහින් මට නියමිත තැන වාඩිවුනා.චාරුත් ඇවිත් මගෙ ලඟට පුටුවක් ඇදන් වාඩි වුනා.
"මොකද උනේ කියපන්කො. ආ මොන ප්‍රශ්නෙ තිබ්බත් දැන් විසඳෙයි ආන් උඹෙ ප්‍රේම කුරුල්ලා එනවා." චාරු කිව්වෙ දොර දිහා බලාගෙන.
ඒ එක්කම ඒ පැත්ත බලපු මම දැක්කෙ රශ්මින අයියව.මගෙ හිතට ආවෙ දරාගන්න බැරි දුකක් මන් ඉක්මනට වැඩක් කරන්න පටන් ගත්තා.රශ්මින අයියා අපි හිටපු පැත්ත බලන්නෙවත් නැතිව එතනින් ගියා.
"ඒ මොකද බන් ඒ? සමහර විට උඹව සප්‍රයිස් කරන්න හදනවද දන්නෑ."
"එයා හොඳ සප්‍රයිස් එකක් ඊයෙ මට දුන්නා."
"ආ ඒක තමයි ජෝඩුව ඊයෙ ආවෙ නැත්තෙ.උපන්දින තෑග්ග කලින්ම දීලා.මෙතන ඇවිත් බොරුවට රඟපානවා මතක නෑ වගේ උපන්දිනේ.ඔහොම යමන්කො.කොහොමත් ඉතින් ඉස්සල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ වට්නවා නේ උඹට"
චාරු ඇනුම්පද කියන්න පටන්ගත්තා.මන් හැමදේම චාරුට කියන්න තීරනය කලා.
මොකක්, කොහොමද එහෙම වුනේ.පෙරේදත් හොඳට හිටියනෙ ඔයාලා.පොඩ්ඩක් හිටපන්කො මන් ගිහින් අහලා එන්න රශ්මින අයියගෙන්.ඇයි යකෝ උඹ මොන අඩුවක් කරාටද උට" චාරු ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.
"ඔහොම හිටපන්."මන් චාරුගෙ අතින් ඇදලා වාඩිකෙරෙව්වා.
"උඹට මොකුත් කියන්න බෑනෙ.අර මොකද්ද කැඩිච්ච කඩියා වගේ දුවනවා."
"මොකද උනේ කියපන් මට"
"මන් කියන්නම්.කෑම වෙලාවෙදි හම්බෙමු."
"හරි එහෙනම් ඒ වෙලාවට කියපන් මට"
එතන ඉඳන් අපි දෙන්නා වැඩ කරන්න පටන් ගත්තා.දවල් කෑම වෙලාවෙදි මන් හැමදේම චාරුට කිව්වා.හැමදේම නිහඬව අහගෙන හිටපු චාරු සුසුමක් හෙලපු හැටි මම දැක්කා.
"ඕක ඔහොම උන එකත් හොඳයි බන්." චාරු කිව්වෙ දිග නිහැඩියාවකට පස්සෙ.
"ඇයි එහෙම කිව්වෙ?"
"උඹල දෙන්න යාළුවුනා කියල සතුටින් හිටියෙ දවස් කීයද් බන්.ඌ කරේ හැමදාම උඹෙ හිත රිද්දපු එක.මන් උඹෙ ඔය සම්භන්ධයට මොකුත් කිව්වෙ නැත්තෙ උඹෙ හිත තවත් රිද්දන්න අකමැති නිසා.අඩු තරමෙ දැන් උඹෙ හිත රිදෙන්නෙ අවසන් වතාවට කියල හරි සතුටු වෙන්න පුලුවන්."
"උඹ එහෙම හිතනවද?" මන් ඇහුවෙ චාරු දිහා කෙලින්ම බලන ගමන්.
"අනේ ඇත්තමයි ඕකව මට අහුවුනොත් හපලා කනවා මම" චාරු කියපු දේට මටත් හිනාගියා.
"ඒ මොකද බන් ඒ.ඌ බූට් එක තිබ්බෙ මට මිසක් උඹටයෑ."
"ඒ වුනාට මගෙ හොඳම යාළුවනෙ උඹ.උඹ දුක් වෙනවට මන් කැමති නෑ.පුලුවන්නම් වෙන තැනක රස්සාවක් හොයාගනින්.එතකොට රශ්මින අයියව ඇහැ ගැටෙන්නෙත් නෑනෙ.ඒක නෙවෙයි ඔක්කොම අමතක වෙන්න අද හවස යන්ද අපෙ ගෙදර කෝපි එකක් බොන්න.පොඩි ජොලියක් දාලා යමු."
"බෑ බන් අම්ම කිව්වා පන්සල් යමු කියල හවස.ඒත් මන් කල්පනා කර කර ආවෙ ඇයි කියලා.උඹ කිව්වට පස්සෙනෙ මතක් උනේ බර්ත්ඩේ එක කියලා"
"එහෙමද? මේ ඒක නෙවෙයි මාත් එන්නද පන්සල් යන්න"
"යං ඉතින්"
"හරි එහෙනම් මාත් ගෙදර ගිහින් පන්සලට එන්නම් එතකොට හරිනෙ"
"හ්ම්ම් හරි එහෙනම්"
කෑම වෙලාවත් ඒ එක්කම ඉවර වුනා.අපි දෙන්නම හවස වැඩ ඇරෙනකම් ආය කතා කරේ නෑ.හවස පන්සලේදි හම්බෙමු කියලා දෙන්නම ගෙවල් වලට ගියා.
................................................................
හවස පන්සලට යනකොටත් චාරු එහෙ ඇවිත් චාරුගෙ අම්මයි තාත්තත් එහෙ ඇවිත් හිටියා.එයාලත් අපෙ අම්මත් දෙගොල්ලොම අපි දෙන්නගෙ යාළුකම ගැන දැනගෙන හිටියා.ඒකට කිසිම වෙලාවක එයාලා බාධා කරේ නෑ.ඕන වෙලාවක ගෙවල්වලට යන්නත් කිසිම විදියකින් එපා කියලා නෑ.
පන්සලට ගිහින් අපි මල් තියලා.පහන් පත්තු කරලා බොධි පූජාවකුත් තිබ්බා.හැමදේකටම පස්සෙ ලොකු හාමුදුරුවෝ දුන්නු පිරිත් නූලකුත් අතේ ගැටගහන් අපි ඔක්කොම පන්සල ඇතුලෙ ටිකක් වෙලා ඇවිද්දා.
"දැන්ම ගෙදර යනවද?" චාරුගෙ අම්මා ඇහුවෙ මන් පන්සල් ආවම ගෙදර යන්න පරක්කු වෙන බව දන්න නිසා
"තව ටිකක් ඉඳල යමු ඇන්ටි" මම කිව්ව."
"තව වෙලා අපිටනම් ඉන්න බෑ පුතේ අපි ගියාට කමක් නෑනෙ?" ඇන්ටි ඇහුවා.
"අනේ කමක් නෑ ඇන්ටි.හදිසි නම් යන්න."
මම චාරුගෙ අම්මටයි තාත්තටයි වැඳලා සමුදුන්නා.චාරුත් අතට අත දීලා එයලා පන්සලෙන් පිටත් වුනා.
පුතේ මට දෙයක් කියන්න තියනවා."අම්මා මට කිව්වා
"මේක අවුරුදු 4 තිස්සෙ මන් ඔයාට නොකියපු දෙයක්."
මන් කුතුහලයෙන් අම්මා දිහාට හැරුනා.හඳ එළියෙන් නෑවුනු බෝ මළුවෙ සීතල හෙවනට අපි දෙන්නම ගිහින් වාඩි වුනා.
මතුසම්බන්ධයි