"අපි මේ සම්භන්ධය නවත්තමු මල්ලි"
ඒ වචන ටික මගෙ හදවතට උලකින් අනිනවා වගේ දැනුනා.
"මොකක්, ඒ ඇයි අයියේ? මගෙන් ඔයාට උන වැරැද්ද මොකක්ද?"
"උඹෙ වරදක් නෙවෙයි.ඒත් ඔයා වගෙ කෙනෙක් මට හරියන්නෙ නෑ.කිසිම වැදගත්කමක් නෑනෙ.සල්ලිවත් බලයවත් ඒ කිසි දෙයක් නැති උඹ වගේ කෙනෙක් මට ඕනෙ නෑ."
"ඇයි අයියෙ එහෙම කියන්නෙ? මන් ඔයාට කවදාවත් වරදක් කරලා නෑ.ඔයා ඉල්ලපු කිසිම දෙයක් මන් බෑ කිව්වෙත් නෑ.එකම එක දෙයක් ඇරෙන්න."
මගෙ ඇස් වලින් කඳුළු ගලාගෙන එන්න පටන් ගත්තා.ජීවිතේ හැම දුකක්ම අඬන්නෙ නැතිව දරාගෙන හිටපු මම එදා එහෙම ඇඬුවෙ ඇයි කියල මන් තාමත් කල්පනා කරනවා.
"උඹ නොදුන්න එකම දේ තමයි මන් උඹෙන් බලාපොරොත්තු උනේ.ඒ දේ මන් කී පාරක් උඹට කිව්වද?"
"මට සමාවෙන්න අයියෙ.මට ඒක කරන්න බෑ."
"කොහොමත් උඹෙන් දැන් මට වැඩක් නෑ.මන් මට ගැලපෙන මගේ විදිහෙ කෙනෙක් හොයාගෙන ඉවරයි.උඹ වගේ පොත්ගුල්ලෙක්ගෙන් කවදාවත් හරියට දෙයක් ලබාගන්න බෑ.දැන් පලයන්.යන ගමන් මේ මගුලත් අරන් පලයන්."
එහෙම කියල රශ්මින අයියා මන් එයාට දුන්න එකම තෑග්ග මගෙ මූනට විසිකලා.මගෙ පළවෙනි පඩියෙන් ගත්ත I Love you කියන ඒ පුංචි ගිරවව මන් එයාට දුන්නෙ ගොඩක් ආදරෙන්.ඒකත් ඇහිඳගෙන මන් ආපහු එන්න හැරුනෙ තවත් කතා කරන එකේ තේරුමක් නැති නිසයි.
මගෙ නම අභී.වයස අවු 20.මගෙ අම්මයි මමයි විතරයි ගෙදර ජීවත් වුනේ.තාත්තා ගැන මතකයක් මට නැහැ.ඒ ගැන මන් කවදාවත් අම්මගෙන් අහලත් නෑ. අවු 16 ඉඳන්ම පුළුවන් විදිහට රස්සාවක් කරන ගමන් සල්ලි ටිකෙන් ටික එකතු කරල ඉගෙනීම ඉස්සරහට කරගන්න ඒ අතරෙ මන් ගොඩක් උත්සාහ කලා.ලැබුන හැමවෙලාවෙම පොතක් පතක් බලන එක මට පුරුදුවෙලා තිබුනා.
රශ්මින අයියව මට හම්බවුනෙ මන් වැඩට ගිය තැනදි.පාඩුවෙ වැඩ කරන් හිටපු මට රශ්මින අයියා ලංවුනේ නොහිතපු විදිහට.ඒත් එයා කොහොම කෙනෙක්ද කියල තේරුම් ගන්නකොට මන් එයාව අතාරින්න තරම් ප්‍රමාද වැඩියි.ආදරෙත් හරි පුදුමයි.කොච්චර රිද්දුවත් දාල යන්න හිතෙන්නෙ නෑ.හැමදේම ඉවසගෙන හිටියෙ එයාව නැතිකරගන්න බැරි නිසා වුනත් අද ඒ හැමදේම ඉවර වෙලා ගියා.
කල්පනා ලෝකෙක අතරමංවෙලා පාර දිගේ ආපු මාව එකපාරටම පාරෙ ආපු කෙනෙක්ගෙ ඇඟේ හැප්පුනා.විසිවෙලා ගිය ඒ කෙනා වැටුනෙ පාර අයිනෙ තිබුණු මඩ වලකට.
"අනේ මට සමාවෙන්න.මන් ඔයා එනව දැක්කෙ නෑ."මන් එයාට නැගිටින්න අතදුන්නා.
"නෑ මන් හිතන්නෙ මගෙ වැරැද්ද.මාත් ෆොන් එකේ සිහියෙන් ආවෙ."එයා කිව්වා.
හොඳටම බනී කියල හිතුවත් එයා මාත් එක්ක හොඳින් කතා කලා.මන් මගෙ ලේන්සුව එයාට දුන්නා.
"පාරෙ යනකොට කාගෙ අතිනුත් වැර්දි වෙනවනෙ.ඒවට තරහගන්න එක මෝඩ වැඩක්" එහෙම කිය කිය එයා මඩ පිහිදගත්තා.
"මට සමාවෙන්න.මන් ගිහින් එන්නම්." තවත් මොකුත් නොකියා මන් වේගෙන් දුවලා එතනින් ඉවත් වුනා.
............................................................
"පුතා අද කලින් ගෙදර ඇවිත්." මාව දැකලා අම්මා කිව්වා.
"ඔව් අම්මෙ.මන් අද වැඩට ගියෙ නැහැ."
"ඔයා මට කිව්වනෙ යාළුවෙක් හම්බෙන්න යනව කියලා"
"ඔව්.මන් ගෙට යනව අම්මෙ මගෙ ඔලුව ටිකක් රිදෙනවා"
"ඒ මොකද පුතේ.ඔයා අඬලත් වගේ පේනවා."
"නෑ එහෙම මොකුත් නෑ."අනික මන් මොකටද අඬන්නෙ"
බොරු හිනාවක් මවාගෙන මන් අම්ම එක්ක එහෙම කිව්වා.මට මොන විදිහෙ දුකක් දැනුනත් අම්මට ඒක නොකියා තනියම දරාගන්න එක මන් පුරුදුවෙලා හිටපු දෙයක්.මගෙ දුකකදි අම්මා ඊට වඩා දුක්වෙන බව මම දන්නවා.ඊටත් වඩා මේ දේ අම්මට කියන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ.
කාමරේට ගිහින් දොර වහගත්ත මම ගොඩක් ඇඬුවා.රශ්මින අයියා එක්ක තිබුණු හැම මතකයක්ම මට මතක් වුනා.මට ඒ එක්කම නින්ද ගිහින් තිබුනා.ඇහැරෙනකොට හැන්දෑවෙ 4ටත් ලඟයි.මන් ගෙදර ආවට ඇඳුම්වත් මාරු කරල තිබුනෙ නෑ.මන් ළිඳ ගාවට ගිහින් හිතේ හැටියට නෑවා.ආපහු ගෙදරට එනකොට මට දැනුනෙ ලොකු බඩගින්නක්.මන් දවසටම මොකුත් කෑවෙ නෑ කියල මතක් උනෙත් එතකොට.
"බත් කනවද?" අම්මා මගෙන් ඇහුවා.
"ගොඩක් බඩගිනියි.ටිකක් බෙදල දෙන්නකො"
අම්ම බත් එකක් බෙදාගෙන ඇවිත් මන් ලඟින් වාඩි වුනා.
"අද මන් කවන්නම්කො." අම්මා කිව්වා.ඒත් එකපාරටම මොකද කියලා මට හිතුනත් මන් මොකුත් කිව්වෙ නෑ.අම්ම බත් කටෙන් කට අනලා කවනකොට මට දැනුනෙ මිහිරි රසයක්.හිතේ තිබුණු ප්‍රශ්න ටික වෙලාවකට අමතක වුනා.
"අම්මා කෑවද?" මන් අම්මගෙන් ඇහුවා.
"තවම නෑ"
"ඇයි කෑවෙ නැත්තෙ? බෙහෙත් බොන්න ඕනෙ නිසා වෙලාවට කන්න ඕනෙ නේද?"
"උඹ බඩගින්නෙ ඉන්නකොට මට කන්න පුලුවන්ද?"
ඒක ඇහෙනකොට මට දැනුනෙ අම්ම ගැන පුදුමාකාර ආදරයක්.ලෝකෙ වෙනස් නොවෙන එකම ආදරේ දෙමව්පියන්ගෙ කියනවනෙ.ඒක ඇත්ත තමයි.මට කවන්න ගත්ත බත් කට මන් අම්මටම කැව්වා.බත් කාලා ඉවරවෙලා දෙන්නම බුදු පහන පත්තු කලා.බුදුන් වැඳලා මන් ප්‍රාර්ථනය කරේ මගෙ හිතේ තියන ගැටළු අඩුකරගන්න ලැබේවා කියලා.ටික වෙලාවක් ඉඳලා මන් පොතක් කියවන්න ගත්තා.අම්මා එතකොටම මගෙ එහාපැත්තට ඇවිත් වාඩි වුනා.
මතුසම්බන්ධයි .....