2 පරිච්ඡේදය

2.8K 370 38
                                    

"නොයෙල් ෂමිත් රණසිංහ?"

ඔහු ගැඹුරු හඬකින්, ෂමිත් දෙසම බලාගෙන කියන විට ෂමිත්ගේ ඇඟ සීතල වී යන්නාක් මෙන් දැනිණ. මේ මොහොතකට පෙර නාගෙන පැමිණි ඔහුට දහඩිය දමන්නට විය. ඔහුට ඇති වූයේ මහා අපරාධයක් කර සී.අයි.ඩී යට හසු වූ අපරාධකරුවකුව ප්‍රශ්න කිරීමකට පමුණුවන්නාක් වැනි හැඟීමකි. ඔහු අද වන තුරු නීති විරෝධී යමක් කර නැති බව විශ්වාස ය. එසේ නම් මේ සිදු වන්නේ කුමක් ද? ඔහු ගොලු වත රැක්කේ ය.

සෝපාවේ හිඳ සිටි මේ පුද්ගලයා එක් වරම නැගිට හිමිකාරිය දෙසට හැරිණ. ෂමිත් මෙන් ම හිමිකාරිය ද එයින් තිගැස්සී ගියා ය. ෂමිත් එම පුද්ගලයාගේ පෙනුම හරි හැටි දුටුවේ ඒ මොහොතේ ය. ෂමිත් ද ඔහුගේ හිසේ සිට දෙපතුල දක්වා තම දෑස් යැව්වේ ය.

ඔහු අඩි පහයි අඟල් එකොළහක් ද? දොළහක් ද? නැත්තන් අඩි හයක් ද? ෂමිත්ට එය නිශ්චිතව සිතා ගත නොහැකි විය. තැනින් තැන තඹ පැහැ කර තිබූ, දකුණු ඇස වන තෙක් දිගු අවුල් වූ කොණ්ඩය; නළලේ වම් පස ඉහළ, කොණ්ඩය බෙදූ තැනට ආසන්න වන්නට තිබූ තද කලු පැහැති කුඩා උපන් ලපය; සුදු පැහැයට වඩාත් ළඟ ලා පැහැති සම; කලු පැහැති ඝන ඇහි බැම; දිගු ඍජු නාසය; ඉතා සුමට ලෙස සම්පූර්ණයෙන්ම මුඩු කර තිබූ රැවුල; ලා රත් පැහැයට හුරු දිගු සිහින් දෙතොල. ඒ සියල්ලට ම වඩා, දිගු ඇසි පිහාටු වලින් යුතු, සන්සුන් එහෙත් තියුණු කලු පැහැති දෑස්.... ඔහු හැඳ සිටි කලු පැහැ දිග කලිසමට යට කර හැඳි අත් දිග ටී ෂර්ටය හා ඊට උඩින් දමා තිබූ ක්‍රීම් පැහැති අත් දිග බ්ලේසරය ද, තද දුඹුරු පැහැයට හුරු සපත්තු දෙක මෙන් ම අතේ බැඳ තිබූ රිදී පැහැති ඔරලෝසුව ද ෂමිත්ගේ එක බැල්මට හසු විය. ඔහුගේ මේ රාජකාරී පෙනුම ෂමිත්ගේ සී.අයි.ඩී අනුමානයට උල්පන්දන් දෙන්නට විය. නමුත් ගැටලුව නම් ඔහුගේ මුහුණෙන් ඔහුගේ සිතේ ඇති හැඟීම් කියවිය නොහැකි වීම ය. මන්ද ඔහුගේ මුහුණ හැඟීම් විරහිත වූ බැවිනි.

ෂමිත් මොහොතකට ගල් ගැසී මෙන් ඔහු දෙස බලා සිටියේ ය. ඔහු සම්පූර්ණයෙන්ම තමාගේ විරුද්ධ පැත්ත ලෙස ෂමිත්ට හැඟින. මේ සාමාන්‍ය පවුලක පුද්ගලයෙකු නොවන බව ඔහුට ක්ෂණිකව වැටහිණ. එවැනි අයෙකු තමන් හමු වීමට පැමිණෙන්නේ කුමකට ද? මේ සියල්ල හමුවේ ෂමිත්ට දැණුනේ එතරම් සුබදායක හැඟීමක් නොවේ. කුමක් හෝ හේතුවක් නිසා කරදරයක් අත ළඟ බව ඔහුට සිතින. නමුත් ඔහු සෝපාවේ වාඩි වී මේ පුද්ගලයා කුමක් කියන්නට සැරසෙන්නේ දැයි ඉවසීමෙන් බලා සිටියේ ය.

The Deathtrap Kde žijí příběhy. Začni objevovat