46. අවාසනාවන්ත යූ ෂිආඕ මෝ

56 6 7
                                    


එම හඬ පැමිණි දෙස බැලූ සැමට ජනයා අතරින් පිටතට පා තැබූ කඩවසම් තරුණයෙකු දැකගත හැකි විය. තියුණු හැඩතලයන්ගෙන් යුතු වූ ඔහුගේ මුහුණ ශාන්ත හා සන්සුන් විය. ඔහුගේ මුව හැඟීම් විරහිත වුවද, ප්‍රබල ශක්තියක් ඔහු වෙතින් නික්මුණි. දීප්තිමත් ස්වේත වර්ණ ලෝගුව මෙන්ම ඔහුගේ ඉඟටිය වටා වූ පලාවන් ජේඩ් දාමය, බැලූ බැල්මට යමෙකුට රණශූරයෙකුට වඩා රදලයෙකුව සිහිගැන්විය.

යූ ෂිආඕ මෝ ලින්ග් ෂිආඕ අනුගමනය කළද, ඉදිරියට යෑමට තරම් ඔහු නිර්භීත වූයේ නැත. රැවුල ඇති මිනිසා රණශූරයෙකු බව පැහැදිලිය. ඔහුගේ සිරුරේ වූ මාංශපේෂී අසාමාන්‍ය වූ අතර, ඔහු ශක්තිමත් නොවූයේ නම් චෙන් ගාඕ යැන්ග් මෙතරම් අසරණ වන්නේ නැත.

කිසිවෙකුටත් ලින්ග් ෂිආඕ යනු කවරෙක්දැයි අනුමාන කිරීමට ඉඩ නොතබාම ටැන්ග් යුන්චි හා චෙන් ගාඕ යැන්ග් ප්‍රීතියෙන් පිනාගොස් 'දා ශිශියොංග්' යනුවෙන් හඬ නැඟූහ. ඉන්පසු, තවදුරටත් හඳුන්වාදීම් අවැසි නොවීය. මොහු එම රූමත් තරුණියගේ දිලිසෙන සන්නාහයෙන් සැරසුණු නයිට්වරයා බව සැවොම වටහාගත්හ. ඔවුන් පළමුව 'දා ශිශියොංග්' යන්න ඇසූ විට, ඔවුන්ගේ සිතෙහි ඇඳුණේ දරුණු හා ශක්තිමත් හැකියාවන්ගෙන් යුත් තැනැත්තෙකි. ඒ, සියල්ල සැහැල්ලුවෙන් තකනා කිසියම් රාජකීය රදලයෙකු වේයැයි ඔවුන් කිසිසේත් සිතුවේ නැත.

"දා ශිශියොංග් ඔබ මා වෙනුවෙන් පලිගත යුතුයි. ඔවුන් මගේ වස්ත්‍ර ඉරා දැමුවා. සැබවින්ම ඉතාමත් ද්වේෂ සහගතයි!" ඇගේ දා ශිශියොංග් පැමිණ ඇති බව දුටු ටැන්ග් යුන්චි විස්මයටත් උද්දාමයටත් පත් විය. ලැජ්ජාවෙන් හා කෝපයෙන් මැසිවිලි නඟමින් වහා ඔහු වෙත දිවගිය ඇගේ සුන්දර මුහුණින් කඳුලැලි කඩා වැටීමට ආසන්න වූ අතර, එය සැබවින්ම දුටුවන්ගේ සිතෙහි සෙනෙහසක් ඇති කරනා චිත්තාකර්ෂණීය දසුනක් විය.

හැඟීම් විරහිතව ඇය දෙස බැලූ ලින්ග් ෂිආඕ නළල රැළි ගැන්වීය.

තත්ත්වය දුටු යූ ෂිආඕ මෝ වහා සිය මායා බෑගයෙන් වස්ත්‍ර කට්ටලයක් පිටතට ගත්තේය. ඒවායෙහි නිමැවුම එතරම් අනගි නොවුවද, එය ඇගේ සිරුර ආවරණය කිරීමට අපොහොසත්වූ වස්ත්‍රවලට වඩා යහපත් විය. එමෙන්ම තරුණියන්ට වඩාත්ම වැදගත් වන්නේ ආත්මගරුත්වයයි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමKde žijí příběhy. Začni objevovat