10. ඖෂධ උයනේදී කළ අනාවරණය

49 14 3
                                    

ඔහුව ඖෂධ උයනට ගෙන ආ ෆැන්ග් චෙන් යුඅ පිටවී යාමට පෙර එහි මුරට සිටි ශිෂ්‍යයා දැනුවත් කළේය. යූ ෂිආඕ මෝ මෙහි ගෙන ආවේ දා ශිශියොංග් විසින් බව දැන සිටි නිසා එම ශිෂ්‍යයා ඔහුට කිසිදු බාධාවක් නොකළ අතර, ඔහු ඇතුළු වීමට පෙර සිහි තබාගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කළේය.

ඒවාට දැඩි ඉල්ලුමක් වූ නිසා පළවන අවධියේ උයන ඉතා විශාල විය. එනිසා ඇතුළුවීමට පෙර සූදානම් වීම අත්‍යවශ්‍යය. එයට ඇතුළු වූවාට පසු, යූ ෂිආඕ මෝ විශාල පෙදෙසක් වසා වැවී තිබූ මායා ශාක සුළඟේ ලෙලෙනා අයුරු දුටුවේය. ඔහුට වඩාත් හුරු පුරුදු මායා ශාකය වූයේ කොළ පැහැති කඳන් සහ පත්‍ර හා ශාක අග්‍රයේ කුඩා දම් පැහැති මල් පොහොට්ටු සහිත තාඩිත ශාකයයි (Contusion herb). මෙම වර්ගයේ මායා ශාක බාහිර තුවාල සඳහා බොහෝ ඵලදායි ය. නමුත් බොහෝ ධ්‍යානවේදීන් බාහිර තුවාල සඳහා ප්‍රතිකාර කරන මායා ගුලි නිස්සාරණය සඳහා එය භාවිතා කළේ නැත. ධ්‍යානවේදීන්හට බාහිර තුවාල යනු ඉතා සුළු දෙයක් වූ අතර, එනිසා ඔවුන් ඒවා සුව කිරීමට මායා ගුලි නිස්සාරණය කළේ බොහෝ කලාතුරකින්ය.

නමුත් ධ්‍යානවේදිනියන් ඒ පිළිබඳව දැරුවේ වෙනත් අදහසකි; සැබැවින්ම, රූ සපුව ආරක්ෂා කරගැනීම කාන්තාවකගේ සහජ ගති ලක්ෂණයකි. තාඩිත ශාකයට දෙපසින් වූයේ රබ්ඩෝසියා ශාකය (Rabdosia) 1 සහ ශාන්ත මනසේ පුෂ්පයයි. මෙම මායා ශාක දෙකම පළමු අවධියේ මායා ගුලි නිස්සාරණය සඳහා බහුලව භාවිතා වූ බැවින් සසඳා බලන කළ, ඒවා වගා කර තිබූ ප්‍රමාණය ද විශාල විය.

යූ ශිආඕ මෝ ශාන්ත මනසේ පුෂ්පය ඉදිරියෙන් අසුන් ගත්තේය. එය ඔහුගේ මනසේ මැවුණු දෙයක් දැයි නිවැරැදිව කිව නොහැකි වුව ද, ඔහුට හැඟුණේ ඔහුගේ වම් පසින් වූ පුෂ්පය තරමක් ජීවී බවින් අඩු බවයි. එමෙන්ම ඔහුගේ දකුණු පසින් වූ පුෂ්පය ජීවී බවින් පිරී, ඉතාමත් මහේශාක්‍ය ලෙස විකසිත වී තිබුණේය. දකුණු පසින් වූ පුෂ්පයේ කඳ හා පත්‍ර වටා සිහින් ස්වේත වර්ණ මීදුමක් එතී තිබුණි. එය කුමක්දැයි ඔහු දැන සිටියේ නැත.

අනෙකුත් ශාන්ත මනසේ පුෂ්ප දෙස බලන කල ඒවා කිසිවකුත් ඒ තරම් හොඳින් වැවී ඇති බවක් දක්නට නොවීය. වැදගත්ම දෙය නම් අනෙකුත් ශාකවල එම ස්වේත වර්ණ තුනී මීදුම් පටලය දක්නට නොතිබීමයි. ධ්‍යානයකට සමවැදුණාක් මෙන් ඒ දෙස බලා සිටි යූ ෂිආඕ මෝගේ හිස ගැටලුවලින් පිරී තිබුණි. ඔහුට මෙය හුදෙක් ඔහුගේ හිතළුවක්දැයි නිසැකවම පැවසිය නොහැකි වූ නිසා, ඔහු තමා සිටි ස්ථානය වෙනස් කර බැලීමට තීරණය කළේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now