43. වැරදුණු උපාය

31 8 7
                                    

පෙරමුණේ ගමන් ගත්තේ රෝස පැහැති වස්ත්‍ර කට්ටලයකින් සැරසුණු යුවතියකි; ඇගේ රූමත් බව හා ශෝභාව දුරක සිට වුවද පැහැදිලිව දැකිය හැක. සුසිනිදු හා දිදුලන සම, කලහංස බිජුවක් වන් ඕවලාකාර මුව, ඒ හා සබැඳි විසල් අලංකාර දෙනෙත. එමෙන්ම මෘදු වක්‍රයන්ගෙන් සැදුම් ලත් සිරුරකින් යුත් වූ ඈ, හුදෙක් මිනිසුන්ගේ සිත් පැහැරගත් රූමතියක් පමණක්ම නොව, මුළුමුලින්ම අසමසම වූ රූමතියක් විය. ඇගේ චරිතයද ඇගේ බාහිර පෙනුම මෙන් අලංකාර වූවා නම්, ඇය නිසැකවම සැමගේ සෙනෙහස ලබනා මේරි සූ 1 කෙනෙකු වනු ඇත.

ඇගේ චරිතය ඇගේ බාහිර පෙනුමෙන් සහමුලින්ම වෙනස් වීම සැබවින්ම කණගාටුවට කරුණකි. කෙතරම් රූමත් වුවද, ඇය තරමක් කපටි හා හිතුවක්කාර වූ අතර, සිය නිකට ඔසවමින් තමා වටා වූ සැමට අණ දුන්නාය. මෙම රූමත් යුවතිය අන් කවරෙකුත් නොව, ටියෑන් ෂින් නිකායේ නිකාය ප්‍රධානියාගේ දුහිතෘ ටැන්ග් යුන්චිය. ටියෑන් ෂින් නිකායේ සිටි රූමත්ම තරුණිය වූයේද ඇයයි. ඇය අටළොස් වියට පා තැබූ විට, බොහෝ දෙනෙකු ඇගේ අත ගැනීමට පැමිණියද, ටැන්ග් යුන්චි ඒ කිසිවෙකුටත් ප්‍රිය නොවූයේ, ඇගේ හදවත පැහැදිලිවම ලින්ග් ෂිආඕ කෙරෙහි බැඳී තිබූ නිසාවෙනි.

මෙය ටියෑන් ෂින් නිකායේ සියළුදෙනාම දැන සිටි අතර, ඇයව වරක් හෝ දෙවරක් හමුවී තිබූ යූ ෂිආඕ මෝට පවා එය දැකගත හැකි විය. ඇය කෙතරම් පැහැදිලිව එය දැක්වූයේදැයි ඉන් ඔප්පු කළ හැක.

අනෙක් තැනැත්තා වූයේ, පසුගිය වර යූ ෂිආඕ මෝ හා ලින්ග් ෂිආඕ එකම පියාපත් හිමි පක්ෂියා මතට නැගුණු විටදී, වෙනත් පක්ෂියෙකු මතට යෑමට සිදුවූ සිසුවාය. ඔවුන් හමුවූ පළමුවර සිටම, මෙම තැනැත්තා යූ ෂිආඕ මෝ දෙස වෛරයකින් යුතුව බැලුවේ, ඔහුට යූ ෂිආඕ මෝ හම ගසා දමනා තුරු ඉවසුම් නොවූ ලෙසිනි. ඔහු පැහැදිලිවම තවමත් මින් පෙර සිදුවූ දෙය පිළිබඳව සිතමින් සිටී.

යූ ෂිආඕ මෝ ඔවුන් දෙදෙනා දෙස බලනු දුටු ලින්ග් ෂිආඕට ඔවුන් දෙදෙනා තමා පසුපසින් සිටිනා බව සිහි විය. යූ ෂිආඕ මෝ ඒ පිළිබඳව විමසනා තුරු නොසිට, ඔහු පැහැදිලි කළේය, "ටැන්ග් ශිමෙයි හා ලි ශිදි කඳු පාමුලට යමින් සිටියා. මාද කඳු පාමුලට යන බව දැන සිටි නිකාය ප්‍රධානි, ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන් මා හා කැටුව යන ලෙස ඉල්ලා සිටියා."

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now