24. දැව භාණ්ඩ අලෙවිසැල

36 16 6
                                    

මායා ඔසුසලෙන් පිටව ගිය පසු, යූ ෂිආඕ මෝ ඔහුගේ රන් කැබලි හාරසිය හතළිහ ගෙන, වෙනත් වීදියක දැව භාණ්ඩ අලෙවිසැලකට ගියේය. කළමනාකරු සඳහන් කළ මිල ඔහු පළමුව ඇසූ විට, ඔහු ඉතාමත් උද්‍යෝගිමත් විය. ඔහුගේ මායා පසුම්බියේ ඉතිරි වූ මායා ගුලිද ඔහුටම විකිණීමට ඔහු සිතුවේය. නමුත් එකවර විශාල ප්‍රමාණයක් විකිණීම පිළිබඳව ඔහු තුළ බියක් හටගත්තේය. එනිසාවෙන්, කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ඔහු ඒවා තමා කඳු පාමුලට පැමිණෙනා මීළඟ වාරය සඳහා ඉතිරි කරගැනීමට තීරණය කළේය. නමුත් මෙය ද මායා ශාක බීජ කොපමණ මිල වේදැයි යන්න මත රඳා පැවතුණි. රන් කැබලි හාරසිය හතළිහ ඒ සඳහා ප්‍රමාණවත් නොවේ නම්, ඔහු නැවත ගොස් ඒ සියල්ලම විකුණනු ඇත.

දැව භාණ්ඩ අලෙවිසැල, එහි නාමයේ සඳහන් වූ පරිද්දෙන්ම, පොප්ලර්, මහෝගනී, බර්ච් සහ අනෙකුත් දැව වර්ග වලින් තනන ලද භාණ්ඩ අලෙවි කළේය. මුළු හේ පින්ග් නගරයේම තිබූයේ එක් දැව භාණ්ඩ අලෙවිසැලක් පමණි. සාමාන්‍ය වෙළඳසැල් තුනක දිගින් යුත් වූ එම අලෙවිසැල අතිවිශාල වූ අතර, එහි කැපී පෙනෙන, සුවිසල් නාමපුවරුව, ක්ෂණිකව යූ ෂිආඕ මෝගේ අවධානය දිනා ගත්තේය.

පොප්ලර් වැනි දැව වලින් තනන ලද, දිලිසෙන නිමාවකින් හා විවිධ ප්‍රමාණවලින් යුත් නවතම අල්මාරි රාශියක් එහි ප්‍රදර්ශනය කර තිබුණි. එම වෙළඳසැලේ සේවකයන් කිහිප දෙනෙකු සිටියද, ඔවුන් සියල්ලෝම පාරිභෝගිකයින්ට සේවය කරමින් සිටියහ. නමුත් යූ ෂිආඕ මෝ ඔහුගේ තියුණු දෑසින්, මුල්ලක සිටගෙන සිටි තරමක් හුදකලා රුවක් දුටුවේය.

"ඩොන්ග් ජියු (Dong Jiu), පාරිභෝගිකයෙක් මෙහි පැමිණ සිටිනවා. නුඹ ඉක්මනින් ඔහුට සේවය නොකරන්නේ මන්ද?"

ඔහු කිසිවක් පැවසීමට මත්තෙන්, ඔහු අසලම සිටි සේවකයා නින්දා සහගත ස්වරයකින් එම පුද්ගලයාට කෑගැසුවේය. යමෙකුට යාන්තමින් ඔහුගේ හඬ තුළවූ පිළිකුල සහ අවඥාව අසන්නට හැකිවිය. මුල්ලේ සිටි පුද්ගලයා තමාව කැඳවනු ඇතැයි අපේක්ෂා නොකළාක් මෙන් කම්පනයට පත්ව තිගැස්සුණේය. ඔහු හිස ඔසවා බැලූ විට, යූ ෂිආඕ මෝගේ නෙත ගැටුණේ ඉතා ළපටි මුහුණකි. බැලූ බැල්මට ඔහු අවුරුදු පහළොවකට වඩා වයසින් වැඩි බවක් නොපෙනුණි. ඔහු මන්දපෝෂණයෙන් පෙළෙන්නාක් මෙන් ඉතා සිහින්, අවුරුදු දොළහක දහතුනක දරුවෙකි. ඔහු ලැජ්ජාවෙන් සිනාසෙන විට, ඔහුගේ දෙකොපුල් යාන්තමට වල ගැසුණේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now