6. කොන්ග් වෙන්

46 13 3
                                    

මෙම ගර්ජනාව මුළු ඉන්ද්‍රජාලිකයන්ගේ ශාලාවම නිහඬ කිරීමට සමත් විය. පරීක්ෂාකාරීව ඒ දෙස බැලූ යූ ෂිආඕ මෝ දුටුවේ, එම හඬ ඔවුන් එහි කැඳවාගෙන පැමිණි තරුණයාට අයත් බවයි. එවැනි හැඟීම් විරහිත පුද්ගලයෙකුට එවන් ඝෝෂාකාරී එමෙන්ම කෙටි නමුත් පැහැදිලි හඬක් තිබේයැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත. නමුත් ඔහු ඉක්මනින්ම එයට හේතුව සොයාගත්තේය.

ඔහුගේ වදන් නිමවනවාත් සමඟම පිටත සිට පිරිසක් එහි පැමිණියහ. එහි නායකයන් බොහෝ වයස්ගත වූ අතර, ලාබාලම තැනැත්තන්ගේ වයස අවුරුදු තිස්ගණනක් පමණ විය. සත්‍ය වශයෙන්ම මෙය ඔවුන්ගේ බාහිර පෙනුම පමණක් සලකා කරන ලද නිගමනයකි. සැබෑවටම ඔවුන්ගෙන් සමහරක් අසාමාන්‍ය ලෙස වයස්ගත පුද්ගලයන් බව නොඅනුමානය.

මෙම ලෝකයේ මිනිසුන්ට, විශේෂයෙන්ම ධ්‍යානවේදීන්ට, ඉතා දීර්ඝ ආයුකාලයක් ඇති බව යූ ෂිආඕ මෝ උගත්තේ පුස්තක කියවීමෙන් අනතුරුවය. ඔහු මෙසේ සිතුවිලි අතර අතරමංවී සිටිනා අතරතුර එම පිරිස ඔවුන්ගේ ඉදිරියට ගමන් කර තිබුණි.

ඉක්මනින්ම තේරීමේ ක්‍රියාපටිපාටිය ආරම්භ විය. භෝජන සංග්‍රහයකදී ආහාර තෝරන්නාක් මෙන් ප්‍රධානින් තිදෙනා දක්ෂතම අය රැගෙන ගියහ. එහි ඉතිරි වූයේ ඇදවුණු කොමඩු ගෙඩි හා ඉරිතැලුණු ජුජුබ් 1 පමණි. අවාසනාවන්ත ලෙස යූ ෂිආඕ මෝ එහි ඉතිරිවුණු දීසිවලින් එකකි. නමුත් ඔහු ඒවා අතරින් වාසනාවන්තයෙකැයි සැලකිය හැකිවූයේ, එහි ඉතිරිවුණු උසස්ම තලය පලා පැහැය ඇත්තවුන් වූ නිසාය. රෝස හා පීත රශ්මිය සහිතව, ඔවුන්ගේ ඉදිරි දිවිය පුරාවටම පහත් තලයේ ඉන්ද්‍රජාලිකයන් සේ සිටිය යුතුවූ තැනැත්තන් එහි සිටි අවාසනාවන්තම අය වූහ.

"නුඹ, ඉදිරි අඩ වසර තුළ මා අනුගමනය කළ යුතුයි."

එක්වරම යූ ශිආඕ මෝගේ හිසට ඉහළින් නැඟුණු හඬක් පැවසුවේය. හිස ඔසවා බැලූ ඔහු දුටුවේ, ඇහිබැමි යන්තමින් එසවුණු, තරමක අතෘප්තිමත් බැල්මකින් යුත් මැදිවියේ පුද්ගලයෙකු ඔහු දෙස බලා සිටිනා ආකාරයයි. යූ ෂිආඕ මෝ එසැණින් බයාදු ලෙස එයට එකඟව පිළිතුරු දුන්නේය. එයට පිළිතුරක් නොදුන් මැදිවියේ මිනිසා, එහි ඉතිරි වී සිටි තවත් සාමාන්‍ය මට්ටමේ හැකියාවෙන් යුත් ශිෂ්‍යයන් කිහිපදෙනෙකු තෝරාගෙන, ඔවුන්ව ඉන්ද්‍රජාලිකයන්ගේ ශාලාවෙන් පිටතට කැඳවාගෙන ගියේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now