1. ඉන්ද්‍රජාලිකයෙකුගේ ආත්මය

148 18 6
                                    

කැඩපත ඉදිරියේ සිටගත් යූ ෂිආඕ මෝ (You XiaoMo), එතුළ සිටි ආගන්තුකයා දෙස බලමින් ඇසිපිය සැලුවේය. මොළේ සෛල බොහෝමයක් තෙහෙට්ටුවට පත්කිරීමෙන් පසු, ඔහු අවසානයේදී මේ වනවිට තමාගේ ආත්මය පිටස්තර පුද්ගලයෙකුගේ සිරුරට එක්වී ඇති බව පිළිගැනීමට සූදානම්ය. කැඩපතේ සිටිනා තරුණයා 17 හෝ 18 වියැතිය. එය ඔහුගේ සැබෑ වයසට ආසන්නය. තද කාල වර්ණ කේෂ කලාපයේ නිල්-කොළ පැහැති සාමාන්‍ය කොණ්ඩකූරක් ගසා සිටි ඔහු, දිගු නීල වර්ණ සාම්ප්‍රදායික චීන වස්ත්‍රයක් ඇඳ සිටියේය. එය ඔහුට වෙනත් ලොවක සිරි රැගෙන ආවේය. එනමුදු ඔහු තරමක් සුදුමැලි වූ අතර, විශේෂයෙන්ම ඔහුගේ දෙතොලෙහි කිසිදු වර්ණයක් නොවූයේ, දැඩි පහරකෑමකට ලක්වූ අයෙකුගේ මෙනි. ඔහුගේ අලංකාර දෑස් යුගලය තද රත් පැහැයට හැරී වොල්නට් ගෙඩි මෙන් ඉදිමී තිබුණි. ඔහුගේ මුහුණේ ඇතිවූ ක්ෂණික වෙනස්වීමට හුරු නොවූ යූ ෂිආඕ මෝට එක්වරම දැඩි වෙහෙසක් දැනුණි.

මඳ වේලාවක් ලතැවෙමින් සිටි යූ ෂිආඕ මෝ අවසානයේදී ඔහු සිටි කාමරයේ හාත්පස පීරා බැලුවේය. එය බොහෝදුරට හිස්විය. දැවමය සයනයක්, දැවමය මේසයක්, දැවමය අසුනක් හා කැඩපත තබා තිබූ දැවමය රාක්කයක්. අනවශ්‍ය දෙයක සේයාවක් හෝ එහි නොවීය. එය සරල වුවද, එහි පිටිසර ස්වභාවයක් වූ අතර, ඒ එය හුදෙක් ඉපැරණි ශෛලියකට නිමවා තිබුණු නිසාවෙන්ය. මෙය සිය සිරුරේ වූ වස්ත්‍ර හා වෙනත් ලොවකට අයත් කෙනෙකුගේ යැයි සිතිය හැකි හැඩරුව හා ගැලපූ කළ, තමා කාලයේ ආපස්සට ගමන් කර ඇති බවට වූ දුක්ඛිත සොයාගැනීම යූ ෂිආඕ මෝ කළේය. නමුත් ඔහු නූතන මිනිසෙකි! අල්ලපු නිවසේ ඇතිවූ ගෑස් කාන්දුවකින් සිදුවූ පිපිරීම, අහිංසක අසල්වැසියෙකු වූ ඔහුව ගොදුරු කරගෙන, මෙම ආගන්තුකයාගේ සිරුර තුළට එවූ ආකාරය ඔහුට පැහැදිලිව මතකය. මෙය විශ්වාස කළ නොහැකිසේ හැඟුණද, එය සැබෑම සත්‍යයය. තරමක අරගලයකින් පසු, යූ ෂිආඕ මෝ සිදුවන දෙයට හිස නැමීමට තීරණය කළේය.

සිය පාවහන් පැළඳීමෙන් පසු, පිටතට ගොස් සිදුවන දේ දැනගැනීමට සිතා ඔහු දොරටුව විවර කිරීමට සැරසෙන විටදීම, ඔහුව තිගැස්මට ලක් කරමින් කිසිවෙකු පිටතින් තල්ලුකොට දොර විවර කළේය. එම තැනැත්තා යූ ෂිආඕ මෝගේ සිරුරේ හැපීම යාන්තමින් වලකාගනිමින් ඉක්මනින් පසෙකට වුණු අතර, දෙදෙනාම එක්වරම විමතියෙන් හුස්ම ඉහළ ඇද්දෝය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now