19

47 6 2
                                    

මට ඔයාව හුගාක් මතක් උනා මහත්තයෝ. අපේ පැටියටත් ඔයාව ඕන ඇති. එයත් ඔයාගේ උනුසුමට ලෝබ ඇති මං වගේ. තව එකම එක පාරක් මට බලන්න තිබුනා නම් මගේ මහත්තයව. තුරුල් කරන් ඉන්න ඕන නෑ. නලලට හාදු ඕන නෑ. උරහිසට ඔලුව තියන් ඉන්න ඕන නෑ. අතින් අල්ලන් යන්න ඕන නෑ. කටහඩ අහන්න ඕන නෑ. එකම එක වතාවත් බලන්න තිබුනොත් ඒ ඇති මට ජීවිතේටම. අනේ මහත්තයෝ අපේ මැනික වෙනුවෙන්වත් එන්නකෝ. මං දන්නවා මං මේ හිතින් විතරක් ඉල්ලන දේවල්වල ඔයාට ඇහෙන්නේ නෑ කියලා. ඒක පිලිගන්න හිත සූදානම් නෑ.

ඔයා චූටි බබාලට ආසයි කියලා මං දන්නවා. මට ඒ දවස් වල ඔයා කියනවා අක්කාගේ දරුවව ඔයා වඩා ගන්න බයයි කියලා. මං ඒ කාලේම හිතුවා කවදා හරි අපේ පැටියව මුලින්ම දෙන්නේ ඔයාගේ දෝතට කියලා. මං දන්නවා ඔයා අපේ දරුවට අහස තරම් ආදරේ කරාවී.

අපෙ මැනිකයි අම්මි තාත්ති කොහේ හරි ගමනක් යමු මැනික ආවම හරිද? පරිස්සමින් එන්න මගේ මැනික අපි බලන් ඉන්නවා. බුදු සරනයි මගේ පැටියට.

පැටියා එන්න ලග නිසා පපුවත් බරයි කිරිවලටම. දැන්ම ඉදලා මගේ ලග කිරි සුවදයි.

මං ඇදට ගොඩ වෙලා අතට ගත්තේ පුංචි කතා පොතක්. මගේ ලග මැනිකට කියවන්න ලොකු ලොකු සුරංගනා කතා පොත් නෑ. සෙල්ලම් කරන්න ලොකු ලොකු සෙල්ලම් බඩු නෑ. කවදා හරි දවසක ඔයාගේ තාත්ති ආවම ඒ සේරම දේවල් අරං දේවි.

ඒ කාලේ මට මතක් උනා මං කියපු දෙයක්.

අම්මලා කොහොමද දන්නෑ තමන් කැමති දේවල් උනත් නොකාම දරුවන්ට දෙන්නේ. මාත් එහෙම කරයිද දන්නෑ ඒ කාලේට.

'අම්මෝ නෑ ඔයා නම් දෙන එකක් නෑ පුලුවන් නම් දරුවගේ පංගුවත් උදුරගෙන කාවි.'

මං එහෙම නෑ හරිද

'හරි හරි මං නේ දන්නේ ඔයා ගැන.'

මං කකා හිටිය අයිස් ක්‍රීම් එකේ මැද තියෙන චොකලට් ටික එයාට දික් කලා.

'මොකෝ එපාද? මං කනවා එහෙනම්.'

කන්න තමා දුන්නේ.

එයා එයාගේ එකත් කාලා මගේ එකත් කනවා මං ආසාවෙන් බලන් හිටියා.

මං ඒ කොටස කන්න ආස නැතුව නෙවෙයි. මට වඩා ආසාවෙන් එයා කනවා දැක්කම ඉතින් දෙන්න හිතෙනවනේ.

මං ඒ වෙනකොටත් ආස දේවල් ආදරෙ කරන අය වෙනුවෙන් අත් අරින්න පුරුදු වෙලා. දැන් තමයි මට ඒකත් තේරෙන්නේ. ඉතින් මහත්තයෝ ඔයා මං ගැන දන්නවා කියලා තාමත් හිතනවද?

මං කවදාවත් ඔයාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලලා නෑ. මං හිතුවා ඔයා කිව්වා වගේ කවදා හරි දවසක මට ඒ හැමදේම අරං දේවි කියලා. ඉතින් මං බලන් ඉන්නවා. මගේ පැටියටත් බලන් ඉන්න පුලුවන්. එයා අපේ පැටියානේ.

ඇස් 2 පියවෙද්දිත් මතකෙට ආවේ ඔයාගේ රූපේ. ඔයාගේ මතක අයින් කරන්න නම් මං ආයේ මැරිලා ඉපදෙන්න වෙයි මහත්තයෝ.

තා එකෛ🤗

July princess Où les histoires vivent. Découvrez maintenant