12

467 124 55
                                    

කාලයේ මදක් ආපස්සට (ජන්කුක් ඔසු රැගෙන පැමිණි රාත්‍රිය)

සිහිසුන්ව ඇඳේ වැතිර සිටියද යුන්ගිට නොයෙක් දේ දැනෙන්නට වුනා. සිය මුළු ගතම පිලිස්සෙන්නාක් වැනි වේදනාව දිගින් දිගටම දරුණු වන්නට වුනා. ඔහුට නැගී සිටින්නට උවමනා වුනත් ඔහුගේ අප්‍රාණික කය ඊට ඉඩ දුන්නේ නැහැ.

නොයෙකුත් බිහිසුණු කටහඬ ඔහුගේ මනසේ දෝංකාර දෙන්නට වුනේ සිය අවසාන මොහොත ලඟා වන බව ඔහුට පසක් කරමින්. ඒ සියලු දුක් ගැහැට නොසෑහෙන්නාක් සේ ඔහුට අතීතයේ දරුණු මතකයන්ද ගලා එන්නට වුනේ දෛවයේ සරදමක් මෙන්.

හදිසියේම ඔහු සිටියේ යුධ පිටියේ සතුරු කඳවුරේ. ඔහුගේ දෑත් හා දෙපා විලංගු යොදා බැඳ දමා තිබුණු අතර සිය සතුරන් විසින් දිගින් දිගටම අමානුෂික වද පමුණනු ලැබූ ඔහුගේ කය ඇදුම් කමින් තිබුණා.

සිය රාජ්‍යයේ ඔහුගේම සහෘද වැසියන් සහ සිය සේනාවේ සෙබළුන් මුදාගෙන ඒමට නොබියව සතුරු කඳවුරට ගිය ඔහුට, ඔවුන් මුදාගෙන සුරක්ෂිතව ඔවුන් ඉන් පිටතට යවන්නට සමත් වුවත් අවාසනාවකට මෙන් සතුරු සෙබළුන් ඔහුව අල්ලා ගත්තා.

ඒ මොහොතේ පටන්ම ඔහුට අමානුෂික වූ වද හිංසාවන්ට ලක් වන්නට සිදු වුනේ දේශයේ ප්‍රබලතම සතුරා වන මිලේච්ඡ ජපන් ජාතික යුධ ප්‍රධානියාගේ දෑතින්මයි.

දිනෙන් දින ගොර්යෝ සෙබළුන්ගේ බිහිසුණු ප්‍රහාර හමුවේ අන්ත පරාජයකට ලක් වෙමින් සිටි ජපන් සතුරු නායකයා වියරු වැටෙන්නට වුනා. ඔහු තව තවත් යුන්ගිට හිංසා කරන්නට වුනේ මිනිස් වෙස් ගත් රාක්ෂයෙක් මෙන්.

යුන්ගිගේ මුළු ගතම සිය තියුණු ආයුධ වලින් කපා තුවාල කරන ඔහු, එම තුවාල තුලින් ඉතා දරුණු විස ඔහුගේ ශරීරයට ඇතුල් කරන්නට වුනේ යුන්ගිට ඉතා මන්දගාමී වුවත් ඉතා වේදනාකාරී මරණයක් ලඟා කරදීමේ ද්වේශ සහගත අරමුණින්.

යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් දින කිහිපයකට පසු ජන්කුක්ගේ නායකත්වයෙන් යුතුව ගොර්යෝ සෙබළුන් සතුරු කඳවුරට කඩා වදින්නට වුනා.

සිය මරණය අත ළඟ ඇති බව හැඟුණු ජපන් නායකයා වහා පලා යන්නට සුදානම්ව යුන්ගි ඉදිරියට පැමිණියා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now