“උඹට මොකද වෙලා තියෙන්නේ ආහ්?” ජනිත්ගේ හඬ අන් කවදාකටත් වඩා දරුණු විය. ඔහු සිටියේ පුපුරනා තරමේ කෝපයකයි. කෝපය කොතරම් ද කිවහොත් ඔහුගේ කොපුල් පවා වෙව්ලුවේ දත් මිටි කෑ නිසයි.

“අයියේ...” සේපාලිකා හඬමින්ම සිහින් හඬින් මිමිණුවේ තම රිදුම් දුන් කොපුලත් අල්ලාගෙනයි.

“කතා කරන්න එපා උඹ! අරූ මාව අච්චර විශ්වාස කරලා උඹ කතා කළා කියලා එව්වාම උඹ එනවා මගුල් නටන්න… මට ඕනේ මොනාද ඇහුවා නේද? ආහ්.! මට ඕනේ ඕක නම් මම දන්නවා ඕක කරගන්නේ කොහොමද කියලා යකෝ… ආවා මෙතන රෙදි ගලවන්න මං ඉස්සරහා.. ඇත්තටම ලොකූ තමුසෙගෙ මොළේ හොඳ නැද්ද ආහ්? මම තමුසෙට ආදරෙයි තමයි.. ඒත් තමුසෙගේ අයියා කියන්නේ මට මගේම සහෝදරයා වගේ… ඒ මනුස්සයාට මාව කොච්චර විශ්වාසයි ද කියලා තමුසේ දන්නවද?” ජනිත් කෑ ගැහුවේ අරවින්දව සිහි කරමිනි. ඔහු කෙතරම් නම් තමාව විශ්වාස කරනවාද. නමුත් සේපාලිකා කවදාවත් හැසිරෙන ආකාරයකට නොවෙයි අද හැසිරුණේ. ඉතිං ජනිත්ගේ සිතට දැනුනු කෝපය පිටවූයේ ඔහු සිතන්නටත් පෙරය. කෝපයෙන් අත මිට මොළවා ගත් ජනිත් කීපවරක්ම තම පාදයකට පහරවල් කීපයක්ම ගහගත්තේ කෝපය පාලනය කරන්නට මෙනි.

සේපාලිකා නිහඬවම හඬා වැටෙද්දී ජනිත් තම නළලත අතකින් තෙරපුවේ තම කෝපය පහ කර ගැනීමේ අටියෙනි. ඇයට අත ඉස්සීම වැරදිය. මුළු හදවතම එයින් තැවේ. කෙදිනකවත් ඇයට අත ඉස්සීමට ඔහු සිතුවෙ නැත.

“ලොකූ…” ජනිත් සේපාලිකා වෙතට පහත් වී ඇයගේ හිසට අතක් තැබුවේ එබැවිනි. ඔහුගේ හෘද සාක්ෂිය එකග නැත තමාගෙන් සිදුවූ ඒ දරුණු ක්‍රියාවට. “ඇයි එහෙම කළේ? ඔයා එහෙම එහෙම ළමේක් නෙවෙයිනේ.. මොකක්ද වුණේ කියන්න මට..” ඈ අසලින්ම බිමින් එරමිණියා ගොතාගෙන වාඩිවූ ජනිත් තරමක් නිවී විමසුවේ සේපාලිකා හා කතා කිරීම අනිවාර්‍ය යැයි සිතුණු නිසාවෙනි.

“එහෙනම් ඇයි ඔයා කිව්වේ අනුත්තර අයියාට මා එක්ක යාළුවෙන්න කියලා?” සේපාලිකා විමසුවේ හඬන ගමන්මය. ජනිත් ඈ දෙස බැලුවේ පුදුමයෙන්‍ ය. එවැන්නක් කී දිනයක් ද එතරම් මතකයේ නැත. නමුත් තමා ඊට සමාන යමක් කී බව නම් මතකය. “ලොකූ.. ඌ.. මේ.. ඌ තමුසෙට මොකද කිව්වේ කියනවකෝ.. මොකක්ද වුණේ?” ජනිත් විමසුවේ නැවතත් හදිසි වීමට පෙර සේපාලිකාට සවන්දිය යුතුම යන්න තමාගේ මොළයටම දමා ගනිමිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now