11. උතුරාගිය තරුඑළිය

110 26 9
                                    

මඳ වේලාවකට පසු චු යුට නැවතත් තෙහෙට්ටුවක් දැනුණි.

තෙමසක් පුරාවට ඔහුගේ ආත්ම ශක්තිය පිටතට නිකුත් කිරීම ඔහුගේ ධ්‍යානවේදයේ පදනමට ඉතාමත් හානිකර විය. ඔහු තෙහෙට්ටුවට පත් වූ විට ඔහුට පහසුවෙන්ම නිදිබර ස්වභාවයක් දැනුණු අතර, ඇතැම් අවස්ථාවල ඔහුගේ සිරුර ඔහුට විවේක ගැනීමට බල කළේය.

චු යු මොහොතක් සිය දෑස් වසාගෙන සිටිනා විටදී එක්වරම ඔහුගේ මැණික්කටුව උණුසුම් හස්තයක ග්‍රහණයට ලක් විය. එසැණින් අවදි වූ ඔහු ස්වයංක්‍රීයවම පෙරලා සටන් වැදීමට හස්ත මුද්‍රාවක් සැකසුවද, ඔහු ඒ දෙස හැරී බැලූවිට, එහි සිටියේ චු ශෙන්ග්ය.

"මලයණ්ඩි ඔබේ සිරුර මෙතරම් දුර්වල තත්ත්වයක පවතින්නේ මන්ද?" නළල රැළිගැන්වූ චු ශෙන්ග්ගේ මුහුණ හැකිලී, කෝපය නිසාවෙන් තරමක් විරූපී විය. "ඔබට හානි කළේ කවරෙක්ද?"

එය මා විසින්ම කරගන්නා ලද්දක්...

චු යුට සැබැවින්ම සත්‍ය පැවසීමට අවැසි වූයේ නැත. ඔහු ලැජ්ජාශීලීව මෙසේ පැවසුවේය. "ධ්‍යාන වඩනා විට මා තරමක් නොඉවසිලිමත් වූ නිසාවෙන් කුඩා අනතුරක් සිදු වූවා."

එසේ පවසා චු යු සිය හස්තය ආපසු ගැනීමට උත්සාහ කළද, චු ශෙන්ග් සන්සුන් මුවකින් යුතුව එය සිය ග්‍රහණයේම තබාගෙන සිටියේය. ඊළඟ මොහොතේදී උණුසුම් ආත්ම ශක්ති ධාරාවක් සෙමෙන් චු යුගේ සිරුර තුළට ඇතුළු වී, ඔහුගේ හිස් වී ගිය ආත්ම ශක්ති නහර පුරවන්නට විය.

චු යු තැතිගත්තේය: "අයියණ්ඩි!"

වෙනස් ධාතූන් දෙකක් ඇති විට ආත්ම ශක්තිය හුවමාරු කිරීම ඉතාමත් අනතුරුදායකය. විශේෂයෙන්ම අග්නි හා ජල ධාතුන් එකිනෙකා විකර්ෂණය කරන මෙම අවස්ථාවේදී.

ආත්ම ශක්තිය පිටතට යවන තැනැත්තා සිය ආරක්ෂක විධිවිධාන සියල්ල ඉවත් කර, සිය ආත්ම ශක්තිය සංසුන් කර, ඉන්පසු අනික් තැනැත්තා වෙත ආත්ම ශක්තිය යැවිය යුතුය. අනෙක් තැනැත්තාගේ හදවතේ කිසියම් කුරිරු හෝ දුෂ්ඨ අදහසක් තිබුණේ වී නම්, ඔවුනට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එම ආත්ම ශක්තිය නැවත අනෙකා වෙත පරාවර්තනය කළ හැක. එසේ පරාවර්තනය වූ ශක්තිය අනෙක් තැනැත්තාගේ සිරුරට ඇතුළු වූ විට, එහි එයට විරුද්ධව කිසිදු ආරක්ෂාවක් නොතිබෙනු ඇත. එනිසා ඔහුගේ ආත්ම ශක්ති සංසරණය ඇණ හිටිනු ඇත. එවිට එම තැනැත්තාගේ නිල ස්ථාන කෙතරම් හානිවේදැයි කිවහොත්, ඔහු කසල ගොඩක් මෙන් පලකට නැති තැනැත්තෙක් වනු ඇත. ආත්ම ශක්තිය අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම කෙනෙකුට සිදු විය හැකි දරුණුම දෙය නොවීය. වඩාත්ම භයානක ප්‍රතිඵලයවන්නේ එම තැනැත්තාගේ ශක්තියේ පිපිරීමක් ඇතිවී ඔහුව එම ස්ථානයේදීම මරණයට පත් වීමයි.

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now