3. ඇඳුරුතුමා

95 21 1
                                    

චු යුගේ තර්ජනාත්මක, කුරිරු වදන්වලට සවන් දුන් සි සි සැනසීමට පත්විය. ඔහු නිහඬවම තම සිරුරේ පිපුණු හිරිගඩු අතගෑවේය.

ඔහු කිසිමදාක කිසිවක්ම ඇඳුරුතුමාට පැවසීමට නොසිතූ නිසා, නිහඬවම චු යුගේ වදන්වලට එකඟ වෙමින් හිස සැලුවේය.

කඳුලින් බරවූ දෑස් හා රෝස පැහැ දෙකොපුලින් යුත් මේ සුවච කීකරු දරුවා දෙස බැලූ චු යු, සිය අනර්ථකාරී දෑත්වලින් ඔහුව ස්පර්ශ කිරීමට ඇතිවූ ආවේගය පාලනය කරගත්තේය.

මේ කතානායකයා, මේ කතානායකයා, මේ කතානායකයා.

අනාගත සහෝදරයා, අනාගතයේ වන්දනාමාන කළ යුතු ශ්‍රී පාදය, අනාගත ගමන් මඟ!

සිත තුලින් කිහිපවරක්ම මෙය සිහිකෙරූ ඔහු, අවසානයේදී උඩඟු ලෙස නිකට ඔසවාගෙන ජයග්‍රාහීව පිටව ගියේය.

සි සි සැනසුම් සුසුමක් හෙළුවේය. ඔහුගේ ආතතිය පහව යනවාත් සමඟම ඔහුට වැටහුණේ තම සිරුරේ කිසියම් වෙනසක් සිදුවී ඇති බවයි. මින් පෙර ඔහුගේ සිරුර සෑමවිටම හිස් ස්වභාවයකින් යුතු වුවද, මේ වනවිට බලාපොරොත්තු නොවූ ආත්මීය ශක්තියක් එය පුරා සංසරණය වෙමින් තිබුණි.

ඔහු බොහෝ වේලාවක් තුෂ්නීම්භූතවී සිටියේය. ඔහු පියවි සිහියට එළඹි පසු, බොහෝ වේලාවක් ඒකාකාරීව සිටීම නිසා හිරිවැටී ගිය දෑත් හා දෙපා වේදනාකාරී විය. විගසින් භාවනානුයෝගී වූ ඔහු, අතැඹුලක් සේ දැන සිටියද මින් පෙර කිසිදාක පුහුණු විය නොහැකි වූ ආත්මීය ශක්තිය වැඩීමේ ශිල්පය පුහුණුවන්නට විය.

ඔහු ආත්මීය ශක්තිය සිරුර වටා සත්වරක් සංසරණය කළේය. ඔහුගේ මුළු සිරුරටම උණුසුම් ජලයේ ගිලීසිටියදී මෙන් ඉතාමත් සුවපහසු බවක් දැනුණි. තෘප්තිමත්ව සුසුමක් හෙලූ සි සි, අපිරිසිදු වාතය ප්‍රශ්වාස කළේය. ඉන්පසු ඔහු හිස පහතට නැඹුරු කර සිය දෑත් දෙස බැලුවේය.

ඔහුට මින් පසු ධ්‍යාන වැඩීමට හැකිය.

මින් පෙර සැමවිටම ඔහුට හැඟුණේ, කිසියම් දෙයක් ඔහුගේ නිලයන් හරහා සිරුරේ ආත්මීය ශක්ති සංසරණයට බාධා පමුණුවන බවයි. දැන් එම බාධාව ඉවත් වූ නිසා, සුළු වේලාවක් පුහුණු වුවද ඔහුගේ ආත්මීය ශක්තිය දෙගුණවේ.

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now