මේ අතර සනුත් හිටියේ රෙස්ටුරන්ට් එකේ පිටුපස මිදුලත් වෙරළත් බෙදා වෙන් කරන්න ගහලා තිබුණු ලී වැට ළඟට වෙලා ඈතින් පෙනෙන මුහුද දිහා ඇස් පිය නොගහා බලාගෙනයි.......
ඉර බැහැගෙන යන වෙලාවට මුහුදු වෙරළක් කියන්නේ දිව්‍යලෝකයක්..... පාට පෙට්ටියක දකින්න බැරි තරම් ලස්සන පාට.....රත ගැහුණු අහස..... දම් -රෝස මුහුවුණු වලාකුළු..... අහසේ පාට සේරම උරාගෙන වෙරළට දුවලා එන මූදු රැළි...... හරියට මේක සොබාදහමේ අපූරු වර්ණ සංකලන හැකියාවන් එළිදැක්වීමක් වගේ......"යමුද අර පැත්තට.... අරුන් බලාගෙන ඉන්නේ අපි එනකම්...."
මහිත් ඇවිත් පිටුපසින් හිටගෙන එහෙම කියද්දියි සනුත්ගේ දැහැන බිඳුණේ.....
"මෙතන හරිම ලස්සනයි......"
"ම්ම්ම්ම්....... සන්සෙට් එක බලන්න ලස්සනම ප්ලේස් එකක් ලැවීනියා බීච් එක....... තව ටිකක් වෙලා තියෙනවා සන්සෙට් එකට...... දැන් යං ටේබල් එකට..... "
සනුත්ගේ කර වටේ අතක් යවපු මහිත් එහෙම කියමින් යාලුවෝ හිටපු මේසේ දිහාට ඇවිදගෙන ගියා..... මේ වෙනකොට මහිත්ගේ මේ සුකුරුත්තං වැඩ වලට සනුත් තරමක් හැඩ ගැහිලා වගේ..... ඒ නිසාමද මන්දා කර වටේ අතක් පටලන් ගියත් සනුත් ඒ ගැන මුකුත්ම නොකියා මහිත් එක්කම ඇදිලා ගියේ....
අනිත් අතට මේ වෙනකොට මහිත් ; තමන්ගේ Comfort Zone එකට ඇතුල් වෙලාද... එහෙමත් නැත්නම් තමන්ගේ සීමාවන් බිඳලා රාමුවෙන් එළියට තමන්ව අරගෙන ද කියලා සනුත්ට හරියටම තේරුනේ නෑ.... ඒ දෙකෙන් කොයික වුණත් ඒ ගැන කල්පනා කරන්න සනුත්ට ඕනි වුණෙත් නෑ.... මේ මොහොතේ මේ ඉන්න විදියට සනුත් ගොඩක් සතුටු වුණා වගේම මේ මොහොත විඳින්න සනුත්ට අවශ්‍ය වුණා....