"සොරි අන්කල්.
මං හිතලා කරපු දෙයක් නෙමෙයි. වෙන කල්පනාවක ඇවිදගෙන ආවෙ...."

ඒත් මට කතා කරන්න හම්බුනේ නෑ.

"ලැජ්ජ නැතුව තව බොරුත් කියන්න එන්න එපා මිනිහො.
අපි දැක්කා මූ මේ අස්සකට වෙලා සෑහෙන වෙලා හොරෙන් බලාගෙනත් හිටියා.
මේ ළමයගෙ ඇඟ උඩට හිතලමයි මේකා පැන්නෙ අන්කල්. කොටිම්ම සායත් ඉරලා. අපි කට්ටියක් හිටපු නිසා යන්තම් බේරුනා. නැත්තම් මොනවා කරයිද දන්නෑ. හිතද්දිත් බයයි.
අනික දැන් මේ ළමයා පාරෙ බැහැලාවත් යන්නෙ කොහොමද? වෙලාවට අපි කා එකේ ආපු නිසා හොඳයි.
මුං වගේ එවුන්ව උල තියන්න වටින්නෙ තියෙන අසහනේට."

අර කෙල්ලො රොත්ත කච කච ගගා කෑගහන්න ගත්තෙ සුපර් මාකට් එකම දෙදරුම් කන තරම් සද්දෙට. හැමෝම බලනවා මේ පැත්ත.
හෙට මාව පත්තරේ මුල් පිටුවෙ දාලා තිබුනත් පුදුම වෙන්න ඕනෙ නෑ. ඒ තරම් ප්‍රසිද්දියක් ලැබෙනවා මෙතන ඉඳලා.

මං හෙමින් හෙමින් නොන්ඩි ගහ ගහම එලියට යන්න ගත්තෙ කාගෙවත් දිහා නොබලා. ඔය මොකෙක්ගෙන්වත් මට ඇති වැඩක් නෑ.
ගෙදර ගිහින් අසමෝදගම් බෝතලක්ම බීලා නිදාගන්නවා. දෙමළ කෑම කාලා යකා ගහලා හැදුන පිස්සුව ඒකෙන් නිට්ටාවටම හොඳවෙලා යන්නැතෑ.

"මේ මිස් පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවද?
ඒ මනුස්සයාටත් තුවාල වෙලා කියලා පේන්නැද්ද? මනුස්සයෙකුට අත්වැරදීමක් වුනාම ඔහොම කෑගහන එක බොහොම කැතයි මිස්!"

එක පාරටම මං ගැස්සිලා හැරුනෙ තනූශන්ගෙ සද්දෙට. අනේ දෙයියනේ ඒකා කොහෙදෝ ඉඳන් කෑගහගෙනම මගේ පැත්තට දුවගෙන එනවා.
හැබැයි ඒකා දෙමලෙන් දොඩවද්දි, කෙල්ලො ටික සිංහලෙන් ලතෝනි දෙනවා. එකෙකුටවත් අනිත් එකා කියන එක තේරෙනවාවත්ද මං දන්නෑ.

"පෑසර! පෑසර!
මොකද වුනේ? ඇවිදින්න පුළුවන්ද?
කකුල පෙරලිලාද?"

තනූශ්, මගේ තනූශ්!
එහෙම අහගෙන මහා පර්වතයක් වගේ ඇවිත් මගේ ඉස්සරහින් හිටගනිද්දි මෙච්චර වෙලා දත කාගෙන ඉවසගෙන හිටපු වේදනාව ඔක්කොම දෝරෙ ගලාගෙන ඇවිත් ඇස් දෙක දිගේ පල්ලම් බහින්න ගත්තා. පුංචි කාලෙ ඉස්කෝලෙදි යාළුවො තරහා වුනාම ඒ වෙලාවෙ ඉවසගෙන ඉඳලා දවල්ට අම්මා එක්කගෙන යන්න ආවම ඔක්කෝම දුක කිය කියා ඇඬුවා වගේ අද තනූශන්ව දැක්කම මට තවත් දරාගෙන ඉන්න බැරි වුනා.
ඇස් වලින් කඳුළු බේරෙද්දි මට ඉකි ගැහුනා.

හිරිපොද (Completed)Where stories live. Discover now