සඳට පෙම් බඳින්නම් BOOK 02 | [...

By Apsara_Kumarasinghe

3.8K 436 29

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

128

61 7 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
128

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"අයියේ..., හෙට ඔයා මෙහෙ එනවද?"

දුරකතන ඇමතුමේ සිටී ජනිත්ගේ මුවඟට නැගුනේ සිනාවකි.

"අ.. හෙට? හෙට නම් වැඩක් තියෙනවා..." ජනිත් මුසාවාදයක් පැවසුවේ සේපාලිකාව ඇවිස්සීමටයි.

"අනේ...." ඉතිං ඇයගේ මුවින් පිටවූයේ ඉබේටමය. ජනිත්ගේ මුවෙහි ඇඳුනේ සතුටු සිනාවකි. ඉතිං ඇයටත් තමාව මතක්වනවා ඇති. මේ සතියම තමා ඇයව නිවසට බස්සා ඉක්මනින්ම බෝඩිම වෙත ඇදුනේ වැඩ රාජකාරී බොහෝමයක් තිබූ බැවිනි. ඉතිං සතියම හරිහැටි කතා කිරීමටවත් නොහැකි විය.

"හරි.. මොනාද තියෙන වැඩේ?" නැවත වතාවක් ඈ විමසුවේ ගිරවියක් ලෙසිනි. ඉතිං සේපාලිකා ද වෙනස් වීම අරඹා ඇත. ජනිත් අසලදී පමණක්.

"වැඩක් ඉතිං... යාළුවෙක්ගෙ ගෙදර යනවා.." තම සිනාව දෙතොල් අතර සිරකරගෙනම ඔහු පිළිතුරු ලබාදුන්නා.

"කවුද යාළුවා?" නැවතත් ප්‍රශ්නයකි.

"අ.. අනුත්තර.. ඔයා දන්නවනේ...? අර ඔයාගේ යාළුවගේ අයියා" ජනිත් නැවතත් සිනාසෙමින්ම පිළිතුරු බැන්දා.

"අපෝ..... මං නොදන්නේ මොකද.. පැණියා. හැමවෙලේම මං දිහා බලාගෙන ඉන්නේ" ජනිත් හට හඬ නගා සිනාගියේ එයටය. ඉතිං තමා බිය වූ හේතුව දැන් අවසන් ය. ඇය කෙසේවත් අනුත්තර හට කැමති නැතිය. ඒ කතාබහෙන්ම එය තහවුරුය.

"මොකද හිනාවෙන්නේ? මහ මෝඩයෙක්..!" ඈ තමාටම කොඳුරගන්නා හඬ වුවද දුරකතනයේ මෙහා කොනේ සිටී ජනිත් හට ඇසෙද්දී ඔහු තම සිනාව පාලනය කරගත්තේ අපහසුවෙනි.

"ඉක්මනට කියන්න.. මට නිදිමතයි..." බොරු ඈනුමක් යවමින්ම ජනිත් පැවසුවේ සේපාලිකාගේ වත කෝපයෙන්ම රත්පැහැ ගැන්වෙද්දීයි.

"අනේ... අහන්නකෝ අප්පා.." ඈ කෙඳිරුවේ හඬන්නට ඔන්න මෙන්න වූ හඬකිනි.

"හරි හරි... කියන්න ඉතිං..." ඔහු පැවසුවේ ඕනෑවට එපාවටය.

"ආ... එහෙනම් ඕන්නෑ.. ඔයා නිදාගන්න. ගුඩ් නයිට්! බායි!" සේපාලිකාගේ කටහඬින් පවා ඈ සිටින්නේ කෝපයෙන් බව හඳුනාගත හැකිවිය.

"ඒ... ඒ...හ් ඔහොම ඉන්නවා.. විහිළුවක් කළේ හලෝ..." ජනිත් කෑ ගැසුවේ සිනාසෙමිනි.

"අනේ මේ අයියේ... ඔයාගේ ඔය ඕනේනැති විහිළු මාත් එක්ක තියාගන්න එපා හරිද? හෙට එද්දී සුදු පාට ශර්ට් එකක් ඇඳගෙන එන්න කියන්න මං ගත්තේ.. තියන්නම්.. බායි.. බුදු සරණයි!" කෝපයෙන්ම එලෙස පවසා සේපාලිකා දුරකතනය විසන්ධි කළෙන් ජනිත් පුදුමයෙන් බලා සිටියේ 'සුදු' ඇඳීමට කී හේතුව සිතාගත නොහැකිවයි.

"ඕයි..., තරහද?"

සේපාලිකාගේ දුරකතනයට ආ පණිවිඩය ඈ බැලුවත් පිළිතුරු නොබැන්දේ කෝපයෙනි.

"මෝඩයෙක් මහා... පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න දන්නෑ.. ඕයි ගාන්නේ... හහ්! කෙල්ලෙක්ට කතා කරන්නවත් දන්නෑනේ ඇත්තට. කොහොම කෙල්ලෝ මෙයා එක්ක හිටිය ද මන්දන්නෑ යාළුවෙලා... පිං දෙන්න ඕනේ ඒ කෙල්ලන්ට" සේපාලිකා සයනයෙහි ඒ මේ අත පෙරලුනේ ජනිත් හට සිතින් බැන වදිමිනි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"මොකෝ සුදු අඳින්න කිව්වේ?" ජනිත් විමසුවේ තමා වත්ත තුළට යතුරුපැදිය ඇතුළු කරද්දීම පෙරමඟට ආ සේපාලිකාගේ නාසයට තට්ටුවක් ද දමා සිනාසෙමිනි. ඈ ද සුදුපැහැති දෙපතුළ තෙක්ම දිගු වූ ගවුමකින් සැරසී සිටියා.

"පන්සල් යන්න..." ඈ මිමිණුවේ කඩා දමා තිබූ තම වරලසෙහි තෙත ගසමිනි.

"හා ඉතිං.. ඕක කියන්න එපැයි... කෝ අයියලා තාම ලෑස්ති නැද්ද?" ජනිත් විමසුවේ නිවස දෙසට බෙල්ලත් දමාය.

"අයියායි, පොඩීයි නෑ.. අයියා පොඩීව ඉංග්‍රීසි පංති එක්කන් ගිහිං. මම විතරයි ඉන්නේ... අපි දෙන්නා විතරයි පන්සල් යන්නේ" සේපාලිකා ජනිත්ගෙන් දෑස් සඟවමින් නැවත වතාවක් සිහින් හඬින් මුමුණන්නට වූවා. ජනිත්ගේ දෙනෙත් විසල් වූයේ ඒ ප්‍රකාශයටයි. නමුත් ඒ සැනින්ම ඒ දෙතොල් මත්තට ආවේ හීන් සිනාවකි.

"අයියාට කිව්වද දැන්?" ඔහු විමසුවේ ඇයගේ වතට එබෙමිනි. නමුත් සේපාලිකා වෙනතක් බලාගත්තේ කෝළයෙනි.

"කිව්වා... එයා හා කිව්වා... කෝල් එකක් දෙන්න කිව්වා..." ඉතිං හරිය. අරවින්දගේ අවසරය හිමි නම් එපමණකි අවැසි. "හරි.. එන්න එහෙනම් දොර වහලා.. මෙහෙම්මම යං" ඔහු පැවසුවෙන් සේපාලිකාගේ වතෙහි ඇඳුනේ මල් දහසක සිනාවකි. "ඔහොම්මම ඉන්න හොඳේ.. මං ටග්ගාලා එන්නම් කොන්ඩෙට බූලකුත් දාන්... මං මලුත් කැඩුවා.. තෙල් කඩෙන් ගමු ඈහ්..." ජනිත් හට පිළිතුරක් ලබාදීමට හෝ ඉඩක් නොතබා ඈ දිව යන්නට වූවා. යතුරු පැදිය මතම සිට තම දෑත් පපුවෙහි බැදගනිමින් ජනිත් ඈ දෙස බලාසිටියේ සිනාසෙමිනි.

තවත් මොහොතකින් ජනිත් වෙතට සේපාලිකා දිව ආවේ පන් මල්ලකුත් රැගෙනයි. "ඉස්සර අම්මායි , මායි පන්සල් යද්දී මේක අරගෙන යන්නේ... අම්මා නැති වුණාට පස්සේ මම.. පන්සල් ගියේම නෑ..." සතුටින් සිනාසෙමින් දිව ආවත් එය පවසද්දී නම් සේපාලිකාගේ වත මැළැවී ගියේ ඉබේටමය. ඉතිං තම පියාණන්ව සහ මෑණියන්ව සිහි නොවූ දිනයක් නොමැති තරම් ය. එය වැඩියෙන්ම දැනෙන්නේ තමා නිවසේ බර ගත යුතුය යන පීඩනය සෑම විටම සිතට වද දෙද්දීයි.

"අම්මා අපි දිහා බලාගෙන ඇති ලොකූ කොහෙහරි ඉදන්... ඔහොම දුකින් ඉන්න එපා.. අම්මටත් දුක හිතෙයිනේ.." ඇයගේ උරහිසකට අත තබා ඔහු පවසද්දී, සෙමෙන් හිස සැලූ සේපාලිකා ඔහුගේ යතුරුපැදියට ගොඩ වැදුනා. සේපාලිකාගේ මඟ සටහන් වලට අනුව තම යතුරුපැදිය පැදවූ ජනිත් අවසන පන්සල වෙත ළඟා විය.

"සෙරෙප්පු බෑග් එකක දාලා බයික් එකේවත් එල්ලලා යමු ලොකූ... නැත්නම් වැඳ පුදාගෙන එද්දී ඒවටත් විදලා තියෙයි" ජනිත් පැවසුවේ කෝකටත් කියා තම පාවහන් ගලවමිනි.

"පිස්සුද අනේ ඔයාට අයියේ? මේ අපේ ගමේ පන්සල.... ඔයාලාගේ ගම්වල වගේ හොරු නෑ" ඔහුගේ බාහුවකට පහරක් එල්ලකර ඈ පැවසුවේ ඔහුව වළකමිනි. ජනිත් ඈ දෙස බැලුවේ මද රැවුමක් ද සහිතවය. "ආ.. දැන් අපේ ගමේ ඉන්නේ හොරු නේ?" අවැසිම ඈ හා රණ්ඩු වීමටය. ඇයව ඇවිස්සීමටය. ඉතිං කෙසේද එය නොකර සිටින්නේ. ජනිත් හිත යටින් සිනාසෙමින් ඇයව ඇවිස්සුවා.

"නැතුව ඉතිං.. හොරු තමයි.." ඈ ද ඔහුට ගස්සා පන්සල තුළට ඇදුනේ තම පන් මල්ල ද ප්‍රවේසමට ගෙනය. ඒ මඟදී ඔවුන් මිළදී ගත් පොල්තෙල් බෝතලය මෙන්ම තමන් කඩාගත් මල් බෑගය ද පරිස්සම් කරමිනි.

"අපි රත්නපුරේ හරිද නංගි... හොරු නෙවෙයි කෙලින්ම මැණික් මුදලාලි දා ඉන්නේ...." ඔහු තම කමිසයේ කොලරය ද ඔසවා ගනිමින් උජාරුවෙන් පවසද්දී සේපාලිකා සිනාසුනත් තවත් කිසිවක් පැවසීමට නොහැකි වූයේ ඔවුන් සමීපයෙන්ම කාන්තාවන් කීප දෙනෙක් ඇවිද ගිය නිසාය.

"මේ මල් ටිකට පැන් ඉහගෙන එන්න අයියේ ගිහින්.. කියව කියව ඉන්නැතුව..." සේපාලිකා මල් මල්ල ජනිත් අතින් තබා හඳුන්කූරු අසුරනය ගලවා ගත්තේ කුණු බක්කියට දැමීමටයි. ඇයට කෝළම් ආකාරයෙන් රැවූ ජනිත් ඉක්මනින්ම පිටවී ගියේ මල්වලට පැන් ඉහගෙන ඒමටයි.

"අනේ හරිම පිංවන්ත ළමයෙක්.. මේ ළමයට දීර්ඝායුෂම ලැබෙන්න ඕනේ...." ජනිත් නැවත සේපාලිකා වෙත එන ගමනේදී ඔහු අසල නැවතුනු මහළු කාන්තාවක් ජනිත්ගේ වත දෝතින්ම අල්ලාගෙන එලෙස පැවසුවේ සෙනෙහසිනි. ඒ සෙනෙහේ දැනුන නිසාමයි ජනිත් ද දණ නමා ඇයට වැඳ සමුදුන්නේ..

"ඒ ආච්චිවත් දැලේ දාගත්තා නේද ඒ ටිකට" සේපාලිකා ඔහු අතින් මල් බෑගය ගනිමින් කුනු කුනු ගෑවේ නෝක්කාඩුවටය.

"ඒ ආච්චිවත් කියන්නේ? තව මොන ආච්චිව ද මම දැලේ දාගත්තේ ආහ්?" ඊට සේපාලිකාගෙන් ඔහුට ලැබුනේ දෑස් හීනි කෙරූ බැල්මක් පමණි.

"මෙන්න මේ ආච්චිව තමයි තව නම් දැලේ දාගත්තේ.." එක්වරම සේපාලිකාගේ ඉඟ මිරිකමින් ඔහු එලෙස පවසද්දීම සේපාලිකා තිගැස්සුනේත් එකටමය. "මොනාද අප්පා කරන්නේ... තව ඩිංගෙන් මල් ටික බිම... පාඩුවේ ඉන්නකෝ අයියේ..." ඈ කෝපයෙන් ඔහු වෙතට හැරුණත්, ඔහු ඈ දෙස බලාසිටියේ ඒ දෙතොල් මත ඇඳුන වශී කරවන සුළු සිනාවත් සමඟමය. මොහොතක් ඒ කාන්දම් දෑස් දෙස බලා සිටී සේපාලිකා, එක්වරම පියවි සිහියට පැමිණියාක් මෙන් අනෙක් පස හැරුණේ ජනිත්ගේ සිනාව නම් තවත් පුළුල් කරමිනි.

ඔහුට පිටුපා හැරුණු ඈ තම දෙනෙත් තදින් පියාගත්තේ ලැජ්ජාවෙනි. මුවින් පිටතට පනින්න හදන සිනාවට යාන්තමට ඉඩක් දුන් ඈ මොහොතක් සන්සුන් වීමට උත්සාහ දැරුවා. ජනිත් ඈ දෙස බලසිටියේ, ඔවුන් ඉදිරියේ වූ බුදු පිළිමයේ වීදුරු ආවරණයෙහි වූ ඇයගේ ප්‍රතිබිම්බයෙනි. ඔහුට නම් සිනා ය. දැන් නම් හොඳින්ම දනියි ඇයගේ සියළු කෝළම් තමන්ට කැමති නිසා බව. අද දින මෙවැනි ගමනක් තමා සමඟ පැමිණියේම එනිසා බව ඔහු හොඳින්ම දනී.

සේපාලිකා නැවතත් ජනිත් දෙසට හැරුණේ තම සියලු සිනාවක් වසන් කරගෙනයි.

"එන්න මේ.. මල් වට්ටිය හදන්න" ඈ ඔහු දෙස නොබලාම මල් වට්ටියක් ගෙන මල් බෑගය දිග හැර බැම්ම මතින් තැබුවේ, ජනිත් නම් ඇයගෙන් තම දෙනෙත් මොහොතකටවත් ඉවතට නොගෙන මල් වට්ටිය සෑදීමට උදව් වද්දීයි. කීපවතාවක්ම ජනිත්ගේ අත සේපාලිකාගේ අතෙහි වදිද්දී, ඈ නම් ඔහු දෙස නොබැලීමට වග බලා ගත්තා. ඔවුන් දෙදෙනා මල් පූජා කර අවසන් කරද්දී ජනිත්ට මතක් වූයේ ඔහුගේ මිත්තනිය නිතර කීමට පුරුදුව සිටී කතාවකි.

"දන්නවද ලොකූ... එකට මල් පූජා කරන අය ඊළඟ ආත්මේ එකට ඉපදෙනවලු..." ඈ සිනාසුනේ ඔහුගේ කීමට ය. "අපේ අම්මත්.. නිතර එහෙම කිව්වා.." ඈ සිහින් හඬින් මිමිණුවෙන් ජනිත් නැවත යමක් කීමට උත්සුක වූයේ නැත.

"පහන් පත්තු කරමු ද අයියේ?" සේපාලිකා විමසුවෙන් ඔහු හිස සැලුවා. පහන් වැටවල් කීපයක් එක් කොට සාදා තිබූ මන්දිරයක් හැඩගත් මඩුව වෙත සේපාලිකා ගියේ තම පන් මල්ල අතේ දමාගෙන පොල්තෙල් බෝතලය සහ පහන්තිර අතට ගනිමිනි.

"ලොකූ.... පහනක් පත්තු කරන්න කලින් ප්‍රාර්ථනාවක් කරන්න" ජනිත් පැවසුවේ ඇය ඔහුට සහ ඇයට පහන් වලට තෙල් පුරවද්දීයි. ජනිත් ඇයට අනුව පහන්තිර දමද්දී ඈ හිස සැලුවා.

"කෝ... ඔහොම ඉන්න.. ලොකූ... හැරෙන්න එපා.. ඔහොම ඉන්න.." එක්වරම සේපාලිකාගේ පිටුපසින් සිටී ජනිත් ඇයගේ දෙඋරින් අල්ලාගත්තේ, ඇයට නැවත හැරීමට නොහැකි ලෙසය. මීළඟට ඔහු ඇයගේ වරලස තම දෝතින්ම ගෙන කරකවා බඳින්නට උත්සාහ කළේ පහන්වැටක වැදී ගිනිගනියි යැ යි බියෙනි.

"මේ වගේ තැන්වලට එද්දී කොන්ඩ හොඳට ගොතාගෙන එන්න.. හරිද? ලස්සන දිග කොන්ඩයක්නේ තියෙන්නේ" ඔහු ඇයට ඔවදන් දුන්නේ කොන්ඩය හැකි අයුරින් ඔතා, ඇයගේ ගෙල මුලට කර බැඳ දමමිනි. යාන්තමට ඒ කොන්ඩයෙන් හැමූ සේපාලිකා සුවඳ විඳින්නට ද ඔහු අමතක නොකළා. සේපාලිකා නම් වදනක්ම නොපවසා බිම බලාගෙනම සිටියේ මුහුණ රතුකරගෙනය. ඇයට ඔහු සමීපයේ දී අද අන් කවරදාකටත් වඩා දැනුනේ ලැජ්ජාවකි. ඔහුගේ අතැඟිලි සීරුවට තම නිරුවත් ගෙලට දැනෙද්දී දැනුනු ප්‍රබෝධමත් හැඟීම නම් ඈ එලෙස නිහඬවම සිට විඳගත්තේ අසීරුවෙනි.

"ඒහ්.. ඇහුණද?" සිහින් ව ඒ හිසට පහරක් ගසා ඔහු විමසුවේ සේපාලිකා කිසිවක්ම නොපවසා සිටී බැවිනි.

"හ්ම්ම්.... අපේ අම්මත් ඔහොම කියනවා මට නිතර" ඈ නැවත වතාවක් මිමිණුවා.

"කිව්වට වැඩක් නෑනේ ඉතිං.. කොහෙද.. මං ම ඉන්න ඕනේ... පේනවනේ දැන් හිටියේ නැත්නම්..."

"ඉතිං මම නාලානේ ආවේ..." ඈ නිදහසට කරුණු කීවා.

"ඥාලා... තමා.." ඔහු ඇදකළේ ඇයට රවමිනි.

"හරි ඉතිං... ඔයා හැමදාම මට ඕවා මතක්කරන්න.. එතකොට හරිනේ" ඈ ගානකට නොගෙන පැවසුවේ තවත් පහනකට තෙල් පුරවමිනි. ජනිත් ඈ දෙසම මොහොතක් බලා සිටියේ ඒ වදන්වලින් සිතට දැනුනු අමුතුම උත්තේජනය නිසාවෙනි.

"ඇයි අයි..යේ..?" තමා දෙසම බලා සිටින ඔහුගෙන් සේපාලිකා විමසුවේ තරමක් පුදුමයෙනි.

"එහෙම කමක් නැද්ද?"

"කොහොමද?"

"හැමදාම හිටියට?" ජනිත් මෙවර විමසුවේ ඈ තෙල් දැමූ පහනට පහන්තිරයක් දමමිනි. ඉතිං සේපාලිකාගේ වතෙහි සිනාවක් ඉපදුනේ ඒ ඔහු දුටු ඇයගේ සුන්දරම සිනාව එය බවට පත් කරමිනි. කිසිත් නොපැවසූ ඈ දෑත් එක්කොට වැඳගත්තේ ජනිත් දෙස බලාගෙනමයි. "පහනක් පත්තු කරන්න කලින් ප්‍රාර්ථනාවක් කරන්න කිව්වනේ...? කරන්න ඉතිං" ඈ දෙනෙත් පියා දෙතොල් අතරින් මුමුණමින් ප්‍රාර්ථනා කරද්දී, ජනිත් ද ඇයව අනුගමනය කරමින් ම දෑත් එක්කොට වැඳ ප්‍රාර්ථනාවක් කළා. ඉන්පසු දෙන්නත් එක්කම එක්වී පහන් පත්තු කර, නැවත වතාවක් මළුව තුළට ආවේ අසුන්ගැනීමට තැනක් සොයමින්. සේපාලිකා ජනිත් ව එක්ක ගියේ ඉස්සර තම මවත් සමඟ විත් අසුන්ගන්නා වැලි මළුවේ වූ ස්ථානයකටයි.

ඈ දොහොත් මුදුන් දී ශබ්ද නගා තාලයකට ගාථා සජ්ජායනා කරමින් වන්දනාමාන කරනා ආකාරය ජනිත් බලාසිටියේ කම්මුලකට අතකුත් තියාගෙනයි. ඔහුට වැඳුම් පිදුම් පිළිබඳව සිහියක් නොවීය. විනාඩි ගණනාවක් ගත වුණ කළ සේපාලිකා තම දෙනෙත් විවර කළේ වැඳ පුදා අවසන් ව ය. ඈ හිස හරවා බැලුවේ ඔහු දෙසයි. ඔහු නම් තවමත් පෙර ඉරියව්වේ සිට ම ඈ දෙස බලා සිටියා. සේපාලිකා ඉක්මනින්ම වටපිට බැලුවේ කිසිවෙක් ඔවුන් දෙදෙනා දෙස බලා සිටිනවාද නැද්ද යන්නයි.

"අයියේ... මොකද අනේ මේ? ඔයා වැන්දේ නැද්ද?" ඈ ඇසුවේ සිහින් හඬිනි. දැන් දැන් පෙර සිටී නපුරු යුවතිය පැන ගොසින් ඇති හැඩයි. ජනිත් දෑතට හිස සොලවා සිනාසුනේ තම හිසකේ අවුස්සාගනිමිනි.

"ඇයි හදිසියේම පන්සල් ආවේ?" ඔහු විමසුවේ ඈ දෙස නැවත වතාවක් බලමිනි.

"විභාගේ.. ළඟයිනේ.." සේපාලිකා සිහින් හඬින් මිමිණුවේ බිම බලාගෙනයි.

"අයියේ.. මට..හ් මට.. බයයි... ආයෙත් මම ෆේල් වෙයිද?" ඈ මෙවර නම් විමසුවේ ඔහු දෙසට හැරී ඒ දෙනෙත් දෙස බලමිනි. ඔහු දෑස් පුංචි කරමින් සිනාසුනේ ද ඈ දෙසම බලාගෙනයි.

"විකාර හිතන්නේ නැතුව ඉන්නවා ලොකූ... එහෙම කොහොමද ෆේල් වෙන්නේ.. මේ පාර හොඳටම පාඩම් කළානේ..." ඇයගේ හිස මත අත තබා ජනිත් මිමිණුවෙන් ඈ ද මොහොතක් ඔහු දෙස බලා හිඳ හිස සැලුවා.

"අර.. වෙලාවේ... මොනාද අයියේ ඔයා ප්‍රාර්ථනා කළේ?" සේපාලිකා හට නැවත ප්‍රශ්නයකි.

"මොන වෙලාවෙද?"

"පහන් පත්තු කරද්දී අනේ.. මොනාද ප්‍රාර්ථනා කළේ?"

"ප්‍රාර්ථනා කරපු ඒවා කියන්න එපා කියලා අපේ ආත්තම්මා අපිට කියලා තියෙන්නේ" ජනිත් ඇයගෙන් මූණ සඟවා අනෙක් පස හැරී අසුන්ගත්තේ සේපාලිකා මූණ ඇදකරගනිද්දීයි. ඈ වටපිට බැලුවේ අහලක පහලක යමෙක් සිටිනවාදැයි දැනගැනීමටයි. සෙනසුරාදාවක උදෑසනක් වූ නිසා එතරම් සෙනඟක් වූයේ නැත. අනෙක සේපාලිකාගේ ගමේ පන්සල සෑම මොහොතක පාහේම නිස්කලංක පරිසරයකට උරුමකම් කී තැනක් විය. ඕපාදූප රොයිටර් සේවා පන්සල වෙත වාර්ථා කර නොමැති බව තහවුරු කරගත් සේපාලිකා එක්වරම ජනිත්ගේ අතෙහි එල්ලුනා.

"අනේ.. කියන්නකෝ අයියේ... මටනේ කියන්නේ... අනේ..." ඈ නැවත වතාවක් ඇවටිලි කළෙන් ජනිත් උණු වුණු සිතත් සමඟින් ඈ වෙතට හැරුණා.

"ඔයාගේ විභාගේ ගැන ප්‍රාර්ථනා කළේ ලොකූ... ඒක මට ඇත්තක් කරලා දෙන්න ඕනේ ඔයා හොඳද ඔන්න... කොහොමහරි පාස් වෙනවා නේද?" ඔහු විමසුවේ දිලිසෙන දෑස්වලින් ඈ දෙසම බලාගෙනයි. නැවත වතාවක් ඒ දෑස්වලම ගිලී ගිය ඈ සිනාසී හිස සැලුවේ ඔහු ද ඈට අනුව සිනාසෙද්දීයි.

"ඔයා මොනාද ප්‍රාර්ථනා කළේ?" සිරුරෙහි වූ වැලි ගසමින් ඉඳගෙන සිටි තැනින් නැගී සිටිද්දි ජනිත් විමසුවා.

"ඒවා රහස්!" ඈ තම පන් මල්ලත් අතට ගත්තේ ඔහු දෙස හොරැහින් බලමිනි.

"ආ...මෙන්න වැඩක්.. මට කියන්න කියලා මෙයා හංගනවා.. කියලා දානවා ඔන්න ඕක ලොකූ....." ජනිත් කෙතරම් විමසුවත් ඈ නෙවෙයි එය පැවසීමට මුව විවර කළේ. "බෑ... බෑ... ඒක මගේ ප්‍රයිවට් දෙයක්... ඒක කියන්න බෑ" ඇයගේ අවසන් පිළිතුරෙන් පසුව ජනිත් තවත් එය අසන්නට නොගියේ කවදත් ඔහු කාගේත් පෞද්ගලික කරුණු කාරණාවලට මැදිහත් නොවූ නිසයි.

"යමුද අයියේ?" ඈ විමසුවේ ඔහු නිහඬව සිටී හෙයිනි.

"දැන්ම?" ඔහු විමසුවේ මවිතයෙනි.

"ඕ.. ඇයි ඔයාට තව ඉන්න ඕනේද?" ඇය ද විමසුවේ මවිතයෙනි.

"කෝ... කළෙන් වතුර දැම්මේ නෑනේ..." ජනිත්ට මහා ප්‍රශ්නයකි.

"කළෙන් වතුර? ආ.... බෝධියට ද? ඒක කළේ නෑ ඉතිං... නිකං වැඳලා යන්නනේ ආවේ.." ඇයගේ පිළිතුරෙන් ජනිත් නම් සෑහීමකට පත් වූයේ නැත.

"පිස්සු කියවන්න එපා.. මෙන්න මෙහෙ එනවා ලොකූ... මැටි කළයක් හොයන්න... අපි පන්සල් යන්නෙම කළෙන් වතුර දාන්න විතරයි.. ඒකනේ අපේ විනෝදේ ළමයෝ..." සේපාලිකාගේ අතිනුත් ඇදගෙන ජනිත් ගියේ පන්සලේ ළිඳ අසළටයි. ඒ මත නවා තිබූ කළ අතරින් මැටි කළයක් තෝරාගත් ඔහු ළිඳෙන් වතුර ඇද පහසුවෙන් ම කළය පිරෙව්වේ සේපාලිකා ඔහු දෙසම බලා හිදිද්දීයි.

"එක කළයක් ඇති දෙන්නටම.. එන්න දැන් ඉතිං ගහ වටේ කරකැවෙන්න" ඔහු එලෙස පවසද්දී සේපාලිකාගේ මුවින් ඉබේටම සිනාවක් පිටවූවා..

"ෂ්ෂ් අයියේ... ලොකු හාමුදුරුවන්ට එහෙම ඇහුණා නම් ඔයා ඉවරයි..."

කෙසේ නමුත් අවසන ඔවුන් දෙදෙනාම බෝධිය වටා වට කීපයක් ම කැරකී තම වතුර කළය හිස් කළා. අවසන සේපාලිකාගේ විභාගය සඳහා ලොකු හාමුදුරුවන්ගෙන් පිරිත් නූලකුත් බැඳගෙනයි ඔවුන් දෙදෙනා පිටවුණේ. සේපාලිකා නම් තරමක් දෙගිඩියාවෙන් යුතු වූයේ, ඒ එන ගමනේදී ගමේ රොයිටර් සේවයේ ප්‍රබල සාමාජිකාවන්ගේ නෙතු තමන්ටත් ජනිත්ටත් බරපතල ලෙස එල්ල වූ නිසයි. නමුත් අරවින්ද තමන් ආ ගමන ගැන දන්නා නිසයි තරමක සැනසීමක් දැනුනේ.

🖤⚡🌙⚡♥️
කළෙන් වතුර දාන්න විතරක් පන්සල් යන අය අත උස්සන්න.

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue Reading

You'll Also Like

1.2K 280 19
මරණයේ අන්ධකාරය වෙලාගත් ලේ පිපාසිත රුදුරු ආත්මයක පලිගැනීමේ බැල්ම වැටුන ඇයගේ කතාවයි.....☠️
116K 4K 41
Y/N was a teenage introvert who enjoyed having her own space and being alone. She loved listening to music in her room, which was a great escape for...
1.4M 1.2K 1
𝐁𝐨𝐨𝐤 𝟏 𝐨𝐟 𝐭𝐡𝐞 '𝐃𝐞𝐜𝐞𝐢𝐭𝐟𝐮𝐥 𝐑𝐨𝐲𝐚𝐥𝐬' 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ★✯★ "Secrets are lethal, especially when they come dripped in murder." Trinity...
27.2K 2.9K 48
කටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න...