12 - ලියුම

231 48 41
                                    

බාස්කට්බෝල් මැච් එකෙන් පස්සේ මට සහස්‍රා ළඟ ඉද්දි වෙනදට වඩා ලැජ්ජාවක් දැනෙන්න ගත්තා. යුනිෆෝම් එකේ උඩ බොත්තම දාන්නැතුව ටයි එකත් බාගෙට පටලගෙන එක බැජ් එකක්වත් ගහන්නැතුව තෙල් බින්දුවක් ඔලුවට දාන්නැතුව කාක් කූඩුව වගේ කොන්ඩේ අවුල් කරන් පිස්සි වගේ ස්කෝලේ ගිය මං චුට්ටක් විතර පිළිවෙලට ස්කෝලේ යන්න පටන් ගත්තා. ඒකට හේතුව මං වත් දැනන් හිටියේ නෑ. හේතුව මොකක් උනත් මං ටිකක් මනුස්සයෙක් වගේ ස්කෝලේ ගියා. ස්පෝට් මීට් එකේ සමාප්තියත් එන්න එන්න ළං උනා. සමාප්ති නැටුම ප්‍රැක්ටිස් කරන්න හැමදාම අපිව ග්‍රවුන්ඩ් එකට දැම්මා. ඒ හැම දවසකම කැඩෙට් ප්‍රැක්ටිස් වලට ග්‍රවුන්ඩ් එන සහස්‍රා මං දිහා බලලා හිනාඋනා. ඩාන්සින් ටීම් එකටත් ඒක නෝට් වෙලයි තිබුනේ.

"අනුල්‍යා... අර කැඩෙට් කරන ලස්සන ගර්ල් ඔයා දිහා බලනවා." 

එයාලා මට ඇන ඇන කියනවා.

"අහ්.. ඒ මගේ පොඩි කාලේ ඉඳන් යාලුවෙක්"

 මං ඒ වෙලාවට සහස්‍රාට යන්තම් හිනාවෙලා අතවනනවා. එයා ලොකුකමට අහක බලාගන්නවා.

"යාලුවෙක් විදියට නම් නෙමේ බලන්නේ" 

හෙන ගහන්නා වගේ දවසක් ඩාන්සින් ටීම් එකේ ඉඳපු ලොකුම අක්කා එහෙම කිව්වේ මගේ හිතේ දෙගිඩියාව තවත් වැඩි කරලා. යාලුවෙක් ඔච්චර තවත් යාලුවෙක් දිහා බලන් ඉන්නෑ නම් තමා. ඒත් ඉතින් අපි යාලුවොනේ. මං මොකක්ද කරන්නේ.... ඒ වෙලාවට සුසුමක් හෙලලා ඒක අමතක කරලා දාන්න මං පුරුදු උනා.

"එයා ඔයාට කැමති වගේ" 

එන්න එන්න ළමයින්ගේ එයා ගැන කියවිල්ල වැඩි උනා. එක අතකට ඒක මට හිසරදයක් උනත් මගේ හිතේ තව කොනක්, එයා එයාගේ කැප්ටන්ට හොරෙන් මං දිහා බලන විදියට, මං බලද්දි දැක්කේ නෑ වගේ අහක බලාගන්න විදියට, නැත්නම් ඇහැක් ගහලා කට කොනකින් හිනාවෙන විදියට ආස කරා. ඒ වගේම යාලුවො ඔක්කොගෙම ඇස් වහලා මං ළගින් යන ගමන් මගේ කනට කරලා මොකක්මහරි කියලා යන විදිය මගේ ඇග හිරිවට්ටන්න සමත් වෙලා තිබුනා. මොන දේ මොන විදියට වුනත් මං එයාගේ හැසිරීමට නමක් දෙන්න ගියේ නෑ. අපි යාලුවො. මං මැතිරුවේම ඒක.

DandelionWhere stories live. Discover now