"පුතා......!!!!"
මෝක්ශගෙ අම්මා කෑ ගහනකොට අපි දෙන්නම ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා.
"මොකක්ද මේ වෙන්නෙ ?"
"අම්මා.."
"ඔව් අම්මා තමයි මට කියනවා මොකක්ද මෙතන වෙන්නෙ කියලා."
"අ.. අම්මා මේ.."
"මන් අහන්නෙ මොකක්ද මෙතන වෙන්නෙ කියලා.."
"අම්මා..මම..මම මෙතීශට ආදරෙයි එයත් මට ආදරෙයී."
මෝක්ශ බිම බලාගෙන අම්මට එහෙම කියද්දී, වුනේ මොකක්ද කියලා වත් හිතාගන්න බැරි තරමටම මන් අන්දුන් කුන්දුන් වෙලා ගියා.
"මෙතීශ පුතා..මොනාද මේ කියවන්නේ මෙයා?"
"ඒ..ඒක ඇත්තක් තමයි.."
මෝක්ශගෙ අම්මා ඊළඟට මගෙන් අහද්දී මන් අකුරු අහුල අහුල උත්තර දුන්නා.
"මොනාද දෙයියනේ මේ වෙන්නේ...මෝක්ශ මොකක්ද මේ කරන්නෙ ළමයෝ..පුතා මන් ඔයා ගැන හොයලා බැලුවා මදි වුනාද දරුවෝ..ආහ්?? ඇයි පුතේ මේ? ඔයාට මන් ආදරේ දුන්නා මදි වුනාද ? ඔයාට මල්ලි ඉන්න එක මදි කමක් වගේ දැනුනද? ඔයාට මන් අම්මා කෙනෙක් වගේ දෙන ආදරේ මදි වුනාද?තාත්තා නැති නිසා ආදරේ අඩුවක් දැනුනද?"
එක පාරටම මෝක්ශගෙ අම්මා අඬ අඬ එහෙම කියන්න පටන් ගද්දී මගෙ පපුවට ලොකු ගලක් අතෑරියා වගේ වුනා.
"අනේ අම්මා එහෙම දෙයක් නෙවෙයි.. ආදරෙයි මන් එයාට ඇත්තටම.හරියට අනිත් මිනිස්සු ආදරේ කරනවා වගේ.අනේ අම්මා එක පාරක් මාව තේරුම් ගන්න.අම්මගෙ ආදරේ අඩුවක් නිසා නෙවෙයි.. මන් මෙතීශට ආදරේ කරන්න පටන් ගත්තේ එයාව මට නැතුවම බැරිනිසා."
"ඔය දෙන්නට මොකක්ද ළමයෝ වෙලා තියෙන්නෙ..මොනාද ඔහොම ආදරේ කරලා බලාපොරොත්තු වෙන්නෙ.කරන්නම් වාලෙ දේවල් කරන්න කලින් එක පාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න ඕනි.මිනිස්සු මොනා නොකියයිද.. එහෙම එකේ ඔය දෙන්නට අනාගතයක් ඉතිරි වෙයිද?"
"අම්මා මන් වැරැද්දක් කරලා නෑනෙ මේ වෙනකන්.අනෙ අම්මා මේක වැරැද්දක් කියලා හිතන්න එපා.අපිට මිනිස්සු කියන දේවල් වැඩක් නෑ අම්මා. "
"මෝක්ශ...මන් ආය කියන්නෙනෑ..ඔය වැඩේ දැන්ම නවත්තන්න ඕනි.."
"ඇයි අම්මට මගෙ ආදරේ තේරුම් ගන්න බැරි..අම්මා තාත්තව හොයාගෙන කරේ හරි දෙයක්ද..ඇයි දැන් මගෙ ආදරේටත් ඇඟිලි ගහන්න එන්නෙ..මන් පොඩි ළමයෙක් නෙවෙයි දැන්.."
මෝක්ශ ගේත් එක්ක දෙදරලා යන තරම් සද්දෙන් කෑ ගහලා එහෙම කිව්වම මෝක්ශගෙ අම්මා අඬ අඬම කාමරෙන් එළියට ගියා.
සද්දෙට බිම වැටිලා තිබ්බේ, බීම වීදුරු දෙකකුත් එක්ක ගෙනාව ට්‍රේ එකක්.වීදුරු දෙක කුඩු වෙලා තියෙද්දී බීම ටික ටයිල් කැට උඩින් ගලාගෙන ගිහින් තිබ්බා.
මුලු සිද්ධිය දිහාම බය වෙලා බලන් හිටිය සුදු මැණික බිමට නැවිලා ටයිල් කැට උඩ ඉහිරිලා ගලාගෙන ගිය බීම වලට අත දික් කර කර ලෙවකද්දී මන් පොඩි එකාව නැගිට්ටවලා මෝක්ශගෙ අම්මා ගිය කාමරේ පැත්තටම යැව්වා.
"මෝක්ශ"
"මෝක්ශ"
"අම්මට කතා කරලා එන්න මෝක්ශ.අම්මගෙ වැරැද්දක් නෑ.පොඩ්ඩක් කතා කරලා එන්න.අම්මගෙන් සමාව ගන්න."
"මෝක්ශ....ඇහුනද මන් කිව්ව දේ.."
මන් තුන් හතර පාරක්ම කතා කරලා ඔහේ බිම වාඩිවෙලා බලාගෙන ඉන්න මෝක්ශවත් අමාරුවෙන් නැගිට්ටවලා අම්මගෙ කාමරේට යැව්වා.
මොකක්ද දෙයියනේ මේ වුනේ..අපි කරන්නෙ වැරැද්දක්ද..
පලවෙනි වතාවට මෝක්ශගෙයි මගෙයි ආදරේ ගැන මට මහ අමුතු විදිහක හැඟීමක් දැනුනා.අපි ආත්මාර්ථකාමී වුනාදෝ කියලා හිතුනා.
කවදහරි වෙන්න තිබ්බ දෙයක් වුනා තමයි.ඒත් ඇයි දෙයියනේ කාටවත්ම අපිව තේරුම් ගන්න බැරි..
මන් අවසිහියෙන් වගේ මෝක්ශගෙ අම්මගේ කාමරේට ඇවිදගෙන ගියා.
දැකපු දේ එක්ක මන් හිටිය තැනිනුත් පහළට වැටුනා වගේ වුනා.
මෝක්ශ අම්මගෙ කකුල් දෙක බදාගෙන අඬනවා.අම්මා අත් දෙකෙන්ම මූන වහගෙන අඬනවා.මොකුත් නොතේරෙන සුදු මැණික බයවෙලා අම්මගෙ අත්දෙක මූනෙන් අයින් කරන්න දඟල දඟල අඬනවා.
මගෙ පපුව කැඩෙන්න පුලුවන් විදිහට කැඩිලා ඒ කෑලිත් ආය ආය කැඩිලා යන තරමටම දැක්ක දේ මගෙ පපුවටම වැදුනා.
"අම්මා මට සමාවෙන්න අම්මා..කියපු වචනයක් ගානෙ සමාවෙන්න..අනේ මට ඔයාලා නැතුව සතුටක් නෑ අම්මා..මට ඔයාලා ඔක්කොම ඕනි..පොඩ්ඩක් හිතන්නකො අම්මා.. මට ජීවිත කාලෙම පිස්සෙක් වෙන්න වෙයි අම්මා..අනේ අම්මා මාව තේරුම් ගන්න..මන් පිස්සෙක් වෙයි අම්මා..මන් පිස්සෙක් වෙයි.."
මෝක්ශ අඬ අඬ එහෙම කියද්දී මන් කාමරෙන් එපිට බිත්තියට පිටදීලා රූටලා ගිහින් බිමින් වාඩිවුනා.
"මෙතීශ පුතා.."
එකපාරටම මෝක්ශගෙ අම්මා මට කතා කරද්දී මන් කකුල් දෙකත් පටලව,පටලව කාමරේ ඇතුළට දිව්වා.
"ඇත්ත.ඔයාලා පොඩි ළමයි නෙවෙයි.ඒත් අම්මා කෙනෙක්ට ළමයෙක් කියන්නෙ ළමයෙක්මයි..ඉතින් ඔයාලා දැන් ලොකු දරුවොනෙ.සමහර වෙලාවට අපි මෝඩයෝ වගේ පෙනවා ඇති.හිතන්න එපා මන් අවසරයක්,කැමැත්තක් දුන්නා කියලා..ඒත් මට බෑ මෙච්චර දුක් විඳලා දරුවෝ හදලා අන්තිමට කිව්වා වගේ පිස්සෙක් වෙනවා දකින්න.ඔයාලගෙ ජීවිතේනෙ.ඉතින් ලොකු ළමයිට අම්මගෙ උපදෙස් මොකටද..එහෙමනෙ හිතන් ඉන්නෙ නේද ? මන් ආය කිසිම දේකට බලපෑමක් කරන්නෙ නෑ දෙන්නටම.ඔයාලගෙ ජීවිතේට ඇඟිලි ගහන්න මට අයිතියක් නෑනෙ. නේද පුතා ?මන් ඇඟිලි ගහන්න ගිහින් මගේ ජීවිතේ වගේම ඔයාගෙ ජීවිතෙත් වැරද්දුවොත් ? මේ දැන් ඉඳන් ඔයා ඔයාට කැමති විදිහකට ජීවත් වෙන්නකෝ මෝක්ශ.මන් ආය මොකුත් කියන්නෙ නෑ ඔයාලා දැන් ලොකුයි මන් වයසයිනෙ.නේද?"
මෝක්ශගෙ අම්මා මාවත් ගෙන්නගෙන අපි දෙන්නවම ඉස්සරහ තියාගෙන එහෙම කියලා අන්තිම ටික මෝක්ශ දිහාම බලාගෙන කියලා සුදු මැණිකවත් වඩාගෙන කාමරෙන් එළියට ගියා.
එදා රෑට කන්නෙත් නැතුවම අපි දෙන්නා ඇඳට වැටුනා.බඩගින්නක් කොහෙන්ද අපි දෙන්නාවත් අඩුම තරමේ හරියට කතාවත් කරේ නැතිකොට.තුරුල් වෙලා නිදාගන්න තරම් වත් සිහියක් නැති වෙද්දී දෙන්නම උඩ බලාගෙන පැය ගානක් කල්පනා කර කර ඉඳලා නිදාගත්තා.
"ගිහින් එන්නම් මෝක්ශ."
"හ්ම්ම් පරිස්සමෙන් යන්න ගිහින් මැසේජ් එකක් දාන්න."
උදේ දහයට විතර තාත්තා ආවම මන් මගෙ බඩුත් ඔක්කොම ටික පටවලා කාර් එකට නැග්ගා.
"පු..ටා..පුටා..."
මෝක්ශගෙ අම්මගෙ අතේ හිටිය සුදු මැණික උඩ පැන පැන කෑ ගහද්දී මෝක්ශයි මෝක්ශගෙ අම්මයි දෙන්නම හිස් හැඟීමකින් වත්තෙන් එළියට දාන කාර් එක දිහා බලන් හිටියා.
"මොකද පුතා යාලුවා නැතුව දුක හිතුනද ?"
ඔලුවත් හේත්තු කරගෙන කාර් එක යන වේගෙට පහු වෙන ගස්,ගෙවල්, මිනිස්සු දිහා බලාගෙන මන් කල්පනා කරද්දී තාත්තා මගෙ දිහා බලාගෙන එහෙම ඇහුවා.
"නෑ තාත්තා නිකන් මේ ඔලුව පොඩ්ඩක් රිදෙන්න ගත්තා."
මන් තාත්තට එහෙම කියලා ආයෙත් කලින් වගේම පහුවෙලා යන යන ගෙවල්,ගස්,මිනිස්සු දිහා බලන් ඉන්න පටන් ගත්තා.පොඩි කාලෙ හිතුවෙ ගස් අනිත් පැත්තට යනවා ඇති කියලා.ඒ කාලෙ හරි නිදහස්.ජීවිතේට බරක් දැනුනෙම නැති තරම්..ඒ කාලේ ජීවත් වුනේ අපේම ලෝකෙක.අපිම මවාගත්ත ලෝකෙක.
පාරදිගේ ඉන්න මිනිස්සු හරි සතුටින් හිනාවෙලා ඉන්නවා.ඔය හිනාව අස්සෙත් ඕනි තරම් දුක් විඳින මිනිස්සු ඇති.ඒ අස්සෙම මෝක්ශයි මමයි වගේ මිනිස්සු නොපිළිගන්න ආදරේක පැටළුන මිනිස්සුත් ඉන්නවද දන්නෑ.
"පුතා."
"පුතා."
"අහ්හ්ම්ම්"
"ගෙදරට ආවා නැගිටින්න."
තාත්තා මට කතා කරද්දී මන් නැගිටලා ගෙනාපු බෑග් වලින් ටිකක් උස්සන් යද්දී තාත්තා අනිත් ටික උස්සගෙන ආවා.
"අම්මේ...සුදු වෙලා..ලස්සන වෙලා.."
අම්මා හිනාවෙවී එහෙම කියද්දී මන් පඹයා වගේ මගෙ කාමරේට ආවා.
"සුන්දර.....සුන්දරේ....තමුසෙගෙ චූටි අයියා ආවා...දුවගෙන එනවා..ගෙනාව ඒවා කන්න ඕනිනම්."
මල්ලි බොරු හද හද සුන්දරයට කතා කරනවා ඇහෙද්දී මන් ඇඳේ දිගා වෙලා ෆෝන් එක එළියට ගත්තා.
'මන් ආවා'
මෝක්ශට එහෙම මැසේජ් එකක් දාලා මන් ආයෙත් ඇස් දෙක පියා ගත්තා.
ඒත් එක්කම වගේ ෆෝන් එකට කෝල් එකක් එද්දී මන් ෆෝන් එක අතට ගත්තා.
මෝක්ශගෙන්.
"හෙලෝ මෙතීශ.."
"කියන්න."
"පරිස්සමට ගියාද?"
"හ්ම්ම්."
"හ්ම්ම්"
"හ්ම්ම්ම්ම්"
"හ්ම් හ්ම් හ්ම්"
"එහෙනම් මන් තියන්නද මට මහන්සියි."
"මෙතී..."
මාරුවෙන් මාරුවට හ්ම්ම් හ්ම්ම් ගගා ඉඳලා අන්තිමට මෝක්ශ මොනාහරි කියන්න හදද්දී මන් කෝල් එක කට් කරලා, ඇඳේ තිබ්බ කොට්ටෙත් කාමරේ මුල්ලකට විසි කරලා, බෑග් එකකටත් පයින් ගහගෙන බාතෲම් එකට ඇවිත් ඇඳුම් පිටින්ම ශවර් එක යටින් හිටගත්තා.
'අද ඒක මෝක්ශගෙ අම්මා දැනගත්තා.'
රෑ කාලා නිදා ගන්න ඇඳට ඇවිත් ඩයරිය ඇරගෙන ඊයෙ දිනේ යටින් මම ඒ විදිහට ලියලා ෆෝන් එක අතට ගත්තා.
මෝක්ශගෙන් මැසේජ් විසි ගානක්.
ඒත් එක්කම වීඩියෝ කෝල් එකක් එද්දී මන් ආන්ස්වර් කරා.
"මෙතීශ.."
"ම්ම්."
"මොකද කරන්නෙ?"
"මොකුත් නෑ."
"කෑවද?"
"හ්ම්ම්"
"ඔයාට මගෙන් මොකුත් අහන්න නැද්ද?"
"ඔයාට බයක් නැද්ද මෝක්ශ.."
"ඒ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් කතා කරමුකෝ වෙනදා වගේ.හාද?"
"හ්ම්ම්."
"මට ඔයාව දැක්කම ෆෝන් එක අස්සෙන් එබිලා ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා."
මෝක්ශ කිව්ව කතාවට මගෙ හිසේ සිට පාදාන්තය දක්වා රතු වීගෙන එද්දී මන් ටක් ගාලා කැම් එක උඩින් ඇඟිල්ලක් තියාගත්තා.
"අප්පෝ...මල කෝලමක්නෙ මෙතීශ තමුසේ."
"මට ලැජ්ජයිනෙ උබ ඔහොම කියද්දී ?"
"අනේ ඉතින් ඒ ලැජ්ජාව..මට යම්කිසි දවසක යම්කිසි දෙයක් ඇස් ඉස්සරහ මැවී මැවී පේනවා."
මෝක්ශ කියන්නෙ අපි දෙන්නගෙ ඩිස්‍ටි ඩිඩින් එක කියලා අමුතුවෙන් තේරෙන්න දෙයක් නැති වෙද්දී මන් කෝල් එක කට් කරලා දාලා කොට්ටෙ අස්සෙ මූන ගහගෙන ටිකක් වෙලා හිටියා.
ඒ අස්සෙ මෝක්ශගෙන් කෝල් පෝළිමට එද්දී මන් ආයෙත් කෝල් එක ආන්ස්වර් කරා.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි.❤️
Avivit 💜️