Episode 03

35 4 0
                                    

මීලග සතියෙහි බ්‍රහස්පතින්දා දින රාත්‍රිය සමාධිට සහ ගෞරව්ට ඒ තරම් සුභදායික වූයේ නැත.

"මොනාද ගවී මේ මෙච්චර බෑග්ස් පැක් කරගෙන තියෙන්නේ? වැකේෂන් එකකට නෙවෙයි යන්නේ.. එහෙ ලමයිට පොත් බෙදලා දීලා තව ඉස්කෝලවලට කරන්න පුළුවන් විදිහේ උදව් කරලා දෙන්න යන්නේ. ඔයා මොනාද මේ මෙච්චර මළු ගොඩකට රෙදි ගොඩක් දාගෙන ඉන්නේ?" සමාධි කටත් ඇදකරගෙනම ගෞරව්ගේ බෑග් ඇර සිල්ලම එලියට ඇද දමන්නට වූවා.

"අනික මේ එකක්වත් නමලාවත් නැහැ. මෙහෙමද ඔයා ඇඳුම් පැක් කරන්නේ?" නැවත වතාවක් ඇයගේ කන් කරච්චල් බැන වැදිල්ල ඇසෙද්දී ගෞරව්ට නම් එය ඉවසීම පහසුවූයේ නැත. මෙතෙක් කල් කිසිවෙකුගෙන් මෙලෙස බැනුම් අසා නැත. රදීෂ් සමඟ එකම කාමරය බෙදාගෙන සිටී ඒ අවුරුදු කීපයේදී දෙදෙනා අතර මහා සටන් ඇති වී තිබුණත්, තරුණියක්ගෙන් මෙලෙස බැනුම් ඇසීමට නම් ගෞරව්ගේ සිතෙහි එතරම් කැමැත්තක් තිබුණේ නැත.

තමාට අවැසිවූයේ ඇය සමඟ, ඇය අසලින්ම සිටීමට පමණි. යන්නේ කොහේදැයි කියාවත් ඔහු හරිහැටි දැන සිටියේ නැත. එමෙන්ම මෙතරම් කාලයක් සේවක සේවිකාවන් රැසක් පිරිවරාගෙන දිවිගෙවූ ගෞරව්ට තම ඇඳුම් පිළිවෙලකට නවන්නේ කෙසේද කියලවත් අවබෝධයක් තිබුණේ නැත.

"දැන් ඔයා මොනාද මට කරන්න කියන්නේ මෙරි සපනොකි රාණි...?" ගෞරව් සිතට දැනුනු නොරිස්සුම් හැඟීම් පාලනය කරගෙන සමාධි හා සිනාසෙමින් ඇසුවත් ඇයගෙන් ලැබුණේ රැවීමකි.

"දැන් ඔයාට ඕනේ කරන අත්‍යාවශ්‍යම ඇඳුම් දෙකක් තෝරලා දෙන්න නවලා දෙන්න. අනික... මේ වගේ මේ සූට් කේස් උස්සන් යන්නේ නෑ එතනට... සයිඩ් බෑග් එකක් හරි.. ඒ වගේ මොකක්හරි අරගන්න.." එලෙස පවසා ඈ තම කාමරයට පිටත්වූයේ කෝපයෙනි. නමුත් සිත පත්ලෙන් ඔහු පැමිණෙනාවට පොඩි කැමැත්තක් නැත්තෙමත් නැත.

。☆✼★━━━━━━✧・💗・✧━━━━━━★✼☆。

මීළඟ දින සමාධි ද ගෞරව් සමඟින්ම පාන්දර යාමයේ විශ්වවිද්‍යාලය වෙත පිටත්වූයේ ඔවුන්ව රැගෙන යන බස් රථය එහි සිට පිටත්වන බැවිනි.

තමාගේ නම සටහන් කර, අත්සන් තබා ඇඳුමේ ගසා ගැනීම සඳහා ලැබුණු කඩදාසි ලාංඡනය ද රැගෙන සමාධි සහ ගෞරව් පැමිණියේ බස් රථය වෙතටයි.

තවම ගමන් අරඹා නොතිබුණත් බස් රථය තුළින් නැගුනු ගී නාදයේ නම් අඩුවක් නොවීය.

"ඕ..... මෙන්න... සින්දුව කියපන් සින්දුව......." සමාධි බස් රථය දෙසට එනවා පෙනෙද්දීම බස් රථයේ දොරෙහි එල්ලී සිටී තරුණයෙක් කෑ ගැසුවේ දමිළ බසිනි.

මාස ගණනාවක් දමිළ භාෂාව කනට හුරු වී තිබුණෙන් සමාධිට වැටහුනා වීමට යන දෙය.

කොහොමත් එය සුපුරුදු දෙයකි. ඇයටම වෙන් වූ තේමා ගීයක් සෑමදාම පාහේ ඈ විශ්වවිද්‍යාලයට ඇතුළ් වද්දී කොල්ලන් ගායනා කරන්නේ රඟ දක්වමින් ය.

"අම්සමා අළගා ඔරු පොන්න පාත...
පාත ඔඩනේ.. පංචර් ආන...

ආමා පා...

අම්සමා අළගා ඔරු පොන්න පාත...
පාත ඔඩනේ.. පංචර් ආන...."

| තැන්පත්, ලස්සන කෙල්ලෙක්ව දැක්කා
දැක්ක ගමන් පංචර් වුණා |

සමාධි බස් රථයට නැග හිස් අසුනක අසුන්ගන්නා තෙක්ම කොල්ලන් සිනාසෙමින්ම ගීය ගායනා කළේ පපුවටත් ගසා ඈ වෙනුවෙන් හදවත විවර වී ඇති ආකාරය දක්වමින් ය.

"ඩිප්පම්... ඒ...ඒ.. සර්.සර්..." තවත් දිගටම ගීය ගායනා කිරීමට සැරසුණත් ඒ ක්ෂණිකයෙන් ඔවුන් නැවතුනේ ගෞරව්ව දැකීමෙනි.

"හායි සර්..., හව් ආ යූ?" දෙකට තුනට නැවුණු කොල්ලෙක් ගෞරව්ගෙන් එලෙස විමසුවේ, තමන්ගේ භාෂාව ඔහුට නොවැටහෙන බව දන්නා නිසයි.

"ෆයින්!" ආඩම්බරකාර ගෞරව් එලෙස පමණක් පවසා බස් රථයට ගොඩ වූවා.

"ඒ සර්ගේ සින්දුව..........." නැවත වතාවක් කෑ ගැසීමක් ඇසුනෙන් මෙවර ගෞරව් වෙනුවෙන් ගායනා කරන තේමා ගීතය ගායනා කිරීමට සියලු දෙනා මුව විවර කළත් එය නැවතුනේ ඔහුගේ මාරක රැවීම ඔවුන් දෙසට පාවී ආ නිසයි.

මීළඟට තවත් ගීතයක් ගායනා කිරීම ඇරඹුනෙන් ගෞරව් හිමින් සීරුවේ ලගා වූයේ ඇයගේ ආසනය වෙතටයි. අවසර නොගෙනම ඇයගේ ආසනයේ අනික් පසින් ඔහු අසුන්ගත්තා. ඉන් එක්වරම තිගැස්සුනු සමාධි ඔහු දෙසට රැවුමක් පා කර නැවත වතාවක් ජනේලයෙන් පිටත බලාගත්තේ ගමන ආරම්භ වූ නිසයි.

💗✨🤞🏼✨💗

Movie : කාතුවාකුල රෙන්ඩු කාදල්
Song : ඩිප්පම් ඩප්පම්
Singer : ඇන්ටනී දාසන් & අනිරුද් රවිචන්දර්
Music : අනිරුද් රවිචන්දර්

Copyright © 2024 by Apsara Kumarasinghe
['शायद' (ශායද්) කතාවේ සියලුම අයිතිය කතෘ වන අප්සරා කුමාරසිංහ , එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

शायद (ශායද්) | [COMPLETED]Where stories live. Discover now