දිදුනිගෙ අම්මයි තාත්තයි දෙන්නම ලෝයර්ස්ලා. උසාවියට මෙහේ ඉඳන් ගොඩාක් ලඟ එක එයාලට පහසුවක් වෙන්න ඇති. නැත්තම් එයාලගෙ සමාජ ආශ්‍රයට අපිව ඇත්තටම ගැලපෙනවද කියලා මට නම් සැකේකුත් දැනුනා.

අපේ අම්මා English ටීචර් කෙනෙක්. තාත්තා බැංකුවේ මැනේජර් කෙනෙක්. අපි ලංකාවෙ සාමාන්‍ය පවුලක්. මහා සල්ලි ගොඩවල් නොතිබුනාට හොඳට කාලා බීලා ඇඳලා කරලා ඉන්න අපිට සල්ලි තිබුනා. අපේ ලඟ පාත ගෙවල් වල හිටපු හැමෝම එහෙමයි. වැදගත් විදියට ජීවත් වුන සාමාන්‍ය මිනිස්සු.
හැබැයි අපි හිටියෙ ඉනිමගක අඩි දෙකක් උඩට නැගලා නම් දිදුනිලා හිටියෙ අඩි පනහක්වත් උඩින් වෙන්න ඕනෙ. ඒ තරම් හිතාගන්න බැරි දේවල් එයාලට තිබුනා.

කොහොමත් ඉතින් එයාලා අපි එක්ක එහෙම ඇයි හොඳැයියක් තියාගන්න උත්සාහ කලෙත් නෑ. හැබැයි දිදුනි ඇර අනිත් අය ඒ. දිදුනි ඒ පවුලෙ කෙනෙක්මද කියලා කියන්නත් බැරි තරම් වෙනස්. එයා නිතරම අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවා. ලෝබ නැතුව කට පුරා හිනා වුනා කතා කලා.

මට වඩා අවුරුදු දෙකක් බාල දිදුනියි එයාගෙ අයියයි අතර අවුරුදු අටක වයස පරතරයක් තිබුනා. ඒ නිසාමද මන්දා ඒ දෙන්නා අතර ලොකු බැඳීමක් පේන්න තියෙන වගක් නම් තිබුනෙ නෑ. සේරසිංහ ජෝඩුවත් උදේ පාන්දර ගෙදරින් ගියාම හුඟ වෙලාවට එන්නෙ ගොම්මනත් අතින් අරගෙන. ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනා දිදුනිගෙ තනියට වගේ හිටියත්, ඒ මනුස්සයා හරිම පරිස්සමින් රොබෝ කෙනෙක් වගේ තමයි එයා එක්ක හැසිරුනේ. එයාට පවරලා ගිහින් තිබුන වැඩ ටික අකුරටම වගේ ඉශ්ට කලා ඇරෙන්න පොඩි ළමයෙක්ට ඕනෙ අවධානය, ආදරය දිදුනිට ලැබුනෙම නෑ. කොහොමත් ඒ මිනිස්සුන්ව පවුලෙ අයගෙන් සෑහෙන්නම වෙන් කරලා වගේනෙ තිබුනෙත්. ඒ නිසා දිදුනිට ලොකු පාළුවක් දැනෙන්න ඇති.

ඒ පාළුව නැති කරගන්න දිදුනිට තිබුන ලොකුම වත්කම තමයි අපි. එයාලගෙ ගේ වටේට තිබුන ගෙවල් ටිකේ ළමයි. ලකලුයි මමයි හයේ. සෙහස් හතේ. සඳලි සෙහස්ගෙ නංගි හතරෙ. ඒ කිව්වෙ දිදුනිගෙ වයසෙ වගේම එකම ඉස්කෝලෙ හැබැයි පන්ති දෙකක. ඒ නිසා සඳලිට වාසියි. හැමදාම උදේට දිදුනි එක්කම එයාලගෙ car එකේම ඉස්කෝලෙ යන්න වගේම ඉස්කෝලෙ ඇරුනම ගෙදර එන්නත් එයාට පුළුවන්.

මානස (Completed)Where stories live. Discover now