"ආ....ව්!!!"

මට තරු පෙනුනෙ අම්මා මගෙ කන අනිත් පැත්තටම අල්ලලා අඹරවද්දි

"උඹට කන් ඇහෙන්නෙ නැද්ද තරූ හැබෑට ආ? මූණත් ගල් කටස් වගේ හදාගෙන ඔහොම ඉන්නෙ ඇට්ටරකමට කියන්න මං හොඳටම දන්නවා.
හැබැයි පුතේ ආයෙම අර ගෙදරට ගිහින් ඒ මිනිස්සුන්ට වදයක් වෙලා තිබුනොත් මං උඹව හම ගහනවා දැනගනින්!"

මං අම්මටත් ඔරවගෙනම කනත් අත ගගා කාමරේට ඇවිත් පොතේ නවත්තපු තැන ඉඳන් ආයෙම කියවන්න ගත්තා. තාත්තා අද එන්න රෑ වෙනවා වගේ. එයා ඉතින් හිටියත් නැතත් මට නම් ලොකු වෙනසක් නෑ. මොකද මේ ගේ ඇතුලෙ සිද්ද වෙන්නෙ අම්මට ඕනෙ දේවල් තමයි කොහොමත්. ඒ කියන්නෙ ඉතින් හෙට ඉඳන් දිදුනිලගෙ ගෙදර ආයෙම යන්න වෙන්නෙ නෑ කියන එක තමයි අවසාන තීරණය.

දිදුනිලගෙ ගෙදර තමයි මේ පැත්තෙ ලොකුම ගෙදර. ඒක ඇත්තටම ගෙයක් නෙමෙයි මාළිගාවක්. එයාලගෙ අම්මයි තාත්තයි එයයි අයියයි ගෙදර වැඩට ඉන්න මිනිස්සු තුන් දෙනෙකුයි තමයි එහේ පදිංචි වෙලා හිටියෙ. ඒ වැඩට ඉන්න මිනිස්සුන්ට ගෙදර පිටිපස්සෙ පැත්තෙන් ඉන්න වෙනම කොටසක් තිබුනා. ගේ අතුගාලා අස් කරලා දාන්න ඇරෙන්න වෙන කිසිම හේතුවකට එයාලට පවුලෙ අය ඉන්න කොටසට එන්න තහනම්.

ඒ ගෙදර තට්ටු තුනක් උසට හදලා තිබුනට මැදින් මැදින් වෙන් කරපු පුංචි පුංචි තට්ටු වගේම පොළවෙන් ඇතුලට වගේ වෙන්න හදලා තිබුන තට්ටුවක් එක්ක ඇත්තටම තට්ටු හතක් තිබුනා. එක එක තට්ටුව වෙන වෙනම එක එක දේවල් වෙනුවෙන් වෙන් කරලා තිබුනෙ. පහලම තට්ටුවෙ තිබුනෙ දිදුනිගෙ අම්මගෙයි තාත්තගෙයි ඔෆීස් කාමර.
ඊලඟ එකේ තමයි සාලෙ වගේ කොටස තිබුනෙ. ඒ සාලෙ අපේ මුළු ගෙදරටම වඩා ලොකුයි වගේම මිදුලෙ ඉඳන් ඔෆීස් කාමර තියෙන තට්ටුවට නොගිහින් කෙලිම්ම එතෙන්ට එන්න පුළුවන් විදියට හදලා තිබුනෙ.
ඊලඟ තට්ටු හැම එකක්ම හදලා තිබුනෙ ලොකු ගෙයක් ඇතුලෙ තියෙන පුංචි පුංචි ගෙවල් වගේ.
ලස්සන කාමරයක් එක්ක බැල්කනියක්. Attached bathroom එකක්. හුරුබුහුටි සාලයක් එක්ක ඒ හැම තට්ටුවක්ම පරිපූර්ණ වෙලා තිබුන.

තුන් වෙනි තට්ටුවම වෙන් කරලා තිබුනෙ ගෙදරට නවතින්න එන අමුත්තො වෙනුවෙන්. එතකොට හතර, සේරසිංහ ජෝඩුව නැත්තම් දිදුනිගෙ අම්මගෙයි තාත්තගෙයි. පහ දිදුනිට. හය එයාගෙ අයියා ධ්‍යාන්ට. හත කියන්නෙ roof top එක. එතන ලස්සන swimming pool එකක් එක්ක party area එකක් තිබුනා.
ඉතින් සාමාන්‍ය ගෙවල්වල සාමාන්‍ය විදියට ජීවත් වුන අපිට දිදුනිලගෙ ගෙදර කියන්නෙ හීන පිරුණ පිටසක්වල ලෝකයක් වගේ වුනා. සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුද, මදි නොකියන්න ඉඩද, මේ හැමදේම එහේ තිබුනා.

මානස (Completed)Where stories live. Discover now