♡♡♡♡♡♡♡♡♡♡♡♡
" ඩොක්ට' මොකද කිව්වෙ නෙලුම්..? "
අකේන්‍ය විමසුවේ බත් කටක් අනමිනි. උදේ දානයට උදව් වනු පිණිස පාන්දරම දෙවනි අයියා ඔහුව දෙවැට ලග බස්වා ගිය සතුට ඔහුට තාමත් තිබුණේය. අප්පච්චි ඔහුට ලබාදෙන නිදහස වයසින් මුහුකුරනවාත් එක්කම වැඩි කිරීම ඔහුට සතුටක් විය.
තමාගේ බත් පත දෙස බලාගෙන ගැඹුරු කල්පනාවක සිටින අසිපත් දෙස විටින් විට බලන නෙලුම් කරපිංචා කොල එක්කාසු කොට පිගානේ පැත්තකට ගොඩ ගැසුවේ නෙලුම් ඇඹුල උඩින් ම ය.
උදේ පාන්දරින් වෛද්‍ය සායනය සඳහා නෙලුම් පිටත් වූයේ වසත් හා අසිපත් කැටුව ය. නිවසේ මහ පාන්දර ඉදුනු දානය පාර්සල් කොට යන අතරමඟ දුගී මගී යාචකාදීන්ට බෙදාගෙන යෑමේ කාර්‍යයට වසත් ද දායක වූවේය.
නැවත පොල්ලතු සෙවිලිකළ පැලට ගොඩවෙන විට එකොලහ හමාර දොලහට ආසන්න විය. දහවල ආහාරය පිණිස බත් ලිපේ තැබුව ද උදේ ව්‍යංජන එසේම හට්ටිවල ඉතිරිව තිබුණේ උදව්වට ආ ගම් ගෙවල්වලටද පාර්සල කිහිපයක් බෙදා පිටත් කිරීමෙන් අනතුරුව ය. කොල්ලාගේ පින්වන්තකමට බෙදන තරමට මාලුපිනි ගුණනය වන බව අත්තම්මාගේ මතය විය.
" අහ්.. මංදා.. අයියටයි ස'ටයි මොන මොනාද කිව්වෙ.. "
" එතකොට දැන් තව්සෙට ඇක්සිඩන්ට් එකට කලින් වෙච්ච දේවල් මතකයිද?... "
" ... මංදා.. "
" මංදා කියන්නෙ.. තව්සෙට මාව මතකයිද දැන්?.. "
" ටිකක් හුරුයි.. මතකද නැද්ද හරියට කියන්න දන්නෑ.. " නෙලුම්ගේ පිගාන කෙලවර වූ නෙලුම් අල කෑලි කිහිපය තම පිඟාන මැදට දමාගෙන සිය පිගානේ වූ මාලු කෑලි දෙක නෙලුම්ගේ පිගානට දැමූ ඒශ්වර් සිය පිගාන බංකුව මත තබා නෙලුම්ගේ පිගාන උදුරාගත්තේය.
අසිපත් නැගිට රහිමින් සිටි පුවක් කෑල්ල ලියා අත්තාගේ ඉලත්තට්ටුවට දැමුවේය. අත්තම්මා විත් පෙරැත්ත කොට ඔහුව බත් කටවල් දෙක තුනක් කන්නට මුලුතැන්ගෙය වෙත ඇදගෙන ගියාය.