- 26 -

674 90 22
                                    

       " හම්පට්ටා ගහනවා අද මං ඕකුන් දෙන්නව! යකෝ ඉක්මනට අර පර කොල්ලව හොයන්ඩ වෙයි කිල්නික් එක්කොරගෙන යන්ඩ ඉංගිරිසි නෝනා එනවා ඇති මෙලහට! "

   " අනේ බොරුවට කෑගහන්ඩ එපා කෙල්ලන්නෙ අප්පොච්චි! ඔය කොල්ලො දෙන්නා පාන්දර නැකිටලා මූණකට හෝදන්ට වැව පැත්තෙවත් යන්ඩ ඇති! තව වෙලා තියෙනවා නෙව.. අපේ එකාටනං කමන්නෑ.. අර ඇවිත් ඉන්න කොල්ලට මොනවත් කියන්ඩ කොරන්ඩ යන්නෙපා. ඊටපස්සෙ අරකිගෙ මගුල කැඩුවා ය.. දරුවට වෙනස්කම් කරා ය අරක ය මේක ය කියලා තව එකක්. ඒ කොල්ලට සැර පුප්පන්ඩ අයිතියක් නෑ නෙව. අනික ඒ අසරණයා නැවතුනෙත් අපේ එකා බලාගන්ඩ. උගෙ ඉස්කෝලෙ ගමන එහෙන් ඇනහිටලා. උගෙ හිත රිදෙව්වොත් පව්. "

     දෙන්න දෙමහල්ලන්ගේ වාද මැදට හවුල් නොවී අසිපත් වක් පිහිය අතට ගෙන දොරට බැස්සේය. ඇත්තෙන්ම ඔහුට බයක් දැනුණි. කඩමන්ඩියේ ද නානතොටේ ද දැනටමත් පරීක්ෂා කර පැමිණි ඔහුට කොල්ලන් එහි ගිය බවට හෝඩුවාවක් නොලැබුණි. ගෙයි පිටිපස්සට වැටී ඇති අඩිපාර දිගේ කැලෑ රොදට ඔහු සේන්දු වූයේ එහෙයිනි. ශාවින්දගේ පැල් කොටයේ සිට කොල්ලන් දෙදෙනා හමුවීම ඔවුන් හමු නොවී සිටිනවාට වඩා නපුරක් ලෙස ඔහුට දැනුණේය. එසේ හමුවුණොත් ඔහු මුලින්ම නෙලුම්ගේ හතර හන්දි කඩන්නට දැන් ම ඉටාගත්තේය. එසේ නම් සිදුවිය හැකි එකම දේ නෙලුම් කිසිවක් කනකට ගොගන්නා හෙයින් ඒශ්වර් ඔහු පසුපස යාම ය.

      පින්න වැටී පයේ වැදෙන වැදෙන හැම තණකොල අග්ගිස්සකින්ම දෙපා දෝවනය විය. ශීතල පිනිවලින් ගත මදක් ගැහුණේය. කකුල් දිගේ නගින මහත හීනි කූඩැල්ලන් වක් පිහි අගින් ගලවා ගස්වල කදන් මත උලමින් ඔහු ඉදිරියට ඇදුණේ ය.

        ශාවින්දගේ පියා වැවූ කංසා හේන වැටලීමෙන් පසු ඔහු බන්ධනාගාරගත කරනු ලැබීමත්... හේන ගිනිබත් කරනු ලැබීමත් සිදුව වසරක් ගත ව තිබුණේය. දැන් එය වල් බිහි වී කැලේටම ඇරී තිබුණේ ය. ශාවින්දගේ හේනට ඇති අඩිපාර එම හේන මැදින් වැටී තිබුණි. ගසක් පාමුල වූ බාටා යුගලයන් දෙක ඔහුගේ නෙත ගැටුණේ අහම්බෙනි. වැල් ඉණිමග දිගේ ඔහුගේ ඇස් ඉහළට ඇදුණේ ය.

සියපතක රොන්සුණු | LAB RAT_ | COMPLETE Where stories live. Discover now