සිතැඟි - සිව්වන දිගහැරුම

110 31 25
                                    

අහස වසා පැවති අළු පැහැය මකා ලමින් රන්වන් ⁣පෑ ආලෝකයක් පෙරදිග අහසෙන් පැතිර යන්නට විය. කළ්‍යාණි නෞකා තොටෙහි නැංගුරම් ලා පැවති නෞකාවන් අතරින් කීපයක රුවල් නැංවුණේ කාර්යබහුල දිනයක ලකුණු පෙන්වමිනි.

විල්ලුද තිර යෙදූ කවුළුවෙන් දිස් වූ ඒ දසුන වෙතට යොමුව පැවති වැසි සමයෙහිදී මතුවන ජල උල්පතක දියෙහි ශීතල පරයා යන ශීතලකින්ද, වන මෘගයෙකුගේ නිර්දය බව පරයන නිර්දය බවකින්ද යුත් කාහලයෙකුගේ වන් කළු පෑ දෑසකි. 

"කාලලෝහිත කුමරුනි." තමාට පසුපසින් නැඟුණු හඬ නිසායෙන් හෙතෙම හැරී බැලීය.

"පවසන්න."

"ඔබට විශ්වාසද... නිද්‍රා මෙහි පැමිණෙන වගට. ඇගේ මිතුරියගේ විවාහයට."

"ඇය මාගේ සැලැස්මට හසුවේවි, මකුළුවෙකුගේ දැලකට හසුවන කෘමියෙකු ලෙසින්." කාලලෝහිත මුවඟට සෝපහාසී සිනහවක් නංවා ගනිමින් කීයේය. "ආරාධනා පත්‍රය දුටු සැණින් ඇය භූතාවේෂයකට ලක්වූවෙකු ලෙසින් මෙහි පැමිණේවි. එවිට සියල්ල මා සිතූ ලෙසින්ම සිදුවේවි."

"නමුත්, ඔබ කෙසේද මාරුතාව මේ විවාහය සඳහා පොළොඹවා ගනු ලැබූයේ? ඈ මීට අකමැති වූවා නොවෙද?"

"එය එතරම් දෙයක් නොවුණු වග පැවසිය යුතුයි පළමුවෙන්ම. මා ඇගේ දෙමාපියන් හට දැන්වූවා මා ඇය විවාපත් කරගැනීමට කැමති මුත් ඇය තවත් අයෙකුට ප්‍රේම කරන නිසායෙන් තීරණයක් ගැනීමට ප්‍රමාද වන වග. ඈ වෙතින් ඔවුන් ඒ පිළිබඳව විමසන විටදී බිලාලයා ඔලොගුවෙන් පිටතට පිනුවා."

"ඉනික්බිතිව?"

"ඉනික්බිතිව, ඔවුන් ඇයට බලකර පවසා සිටියා මා හා විවාහ වන ලෙසට. නමුත් ඇය තීරණයක් ගැනීමට පසුබට වන විට මා ඇයට තර්ජනය කර සිටියා, ඇය මා හා විවාහ ‌නොවුණහොත් මා අර සිගාල ධේනුවව මරා දමන වගට."

"ඉදින් ඇය එකග වූවා?"

"එසේ නොවුණහොත් ඇගේ ප්‍රේමවන්තිය වන අර සිගාල ධේනුව මියයාමට ඉඩ තිබුණ හෙයින් ඈ එකග වූවා."

"ප්‍රේමවන්තිය? කවුරුන්ද ඇය?" එකෙක් අපුල දනවන හඩක් නගමින් ඇසීය.

සිතැඟි (GirlxGirl) [Historical]Où les histoires vivent. Découvrez maintenant