සිතැඟි - දෙවන දිගහැරුම

175 38 40
                                    

ධවල-රන් පැහැ වැලියෙන් පුළුල්ව නිමැවුණු මහා වාලුකා ගංතෙර, මඳ නලෙහි මෘදු හඬ අභිබවමින් ලෝමුවා කගපත් සුළඟ කපා යන හඬ නැ⁣ඟෙන්නට වූයේ කලකට ප්‍රථම එහිදී එකිනෙක ගැටුණු උණ දඬු පිළිබඳව ඒ සටන්කාරියන් දෙදෙනාට සිහිගන්වමිනි.

මාරුතා, නිද්‍රා තමා වෙතට ඍජුවම දිගුකල කඟපත් තලය මඟහරිමින් වක්‍රාකාරව කැරකී තම කඟපත ඇගේ ග්‍රීවයට අංශුමාත්‍රයික පරතරයකින් යුතුව ගෙන ආවාය. ඇගේ මෘදු නීලවන්, සැහැල්ලු වස්ත්‍ර, සුමට ලෙසින් ඇගේ චලන අනුගමනය කරමින් චලනය වූයේ මිහිපිටට බව මාරුතාධිපතිනිය සිහිගන්වමිනි.

මොහොතකට පළමුව නිද්‍රා අත වූ කඟපත, සිහින් හඬක් නඟමින් වැලි තලය මත පතිත වූයේය.

"නුඹට ජය." නිද්‍රා කීයේ තාපසියකගේ සන්සුන් බවින් යුතුවය.

මාරුතා මෘදු සිනහවක් පෑවාය. "ඉදින්, අප තැබූ ඔට්ටුවට අනුව, නුඹ මා හට ඉඩ දෙනුයේද කළ්‍යාණි පුරයට යාමට?"

"කිසිදු ශංකාවකින් තොරවම."

"ස්තූතියි." මාරුතා මඳ වශයෙන් හිස පහත් කරමින් කීවාය. "සටන අවසන්."

ඇසිපිය හෙළන සැණින්, ඇගේ බඳ වටා රළු ලෙසින් හස්තයක් යැවූ නිද්‍රා, අනෙක් හස්තයෙන් ඇගේ කඟපත උදුරා ගත්තී, මාරුතාව කරට ඔසවා ගත්තාය.

"සල්ලාලයෙකු ඔය ලෙසින් සටන අවසන් නොකරාවි කිකලකවත්." ඇය කීයේ උපහාසාත්මකවය. "අවසාන පාඩම - කිකලකවත් සතුරා හට අනුකම්පා නොකරන්න."

"වැටහුණා. නමුත් නුඹට කිසිත් කිරීමට මට සිත් නොදේ නිද්‍රා. අන් අයෙකු සිටියා නම් මේ වන විටත් ඔහු මිය ගොසින්."

නිද්‍රා හිස සැලුවාය. "කෙසේ වුවත්, සටන් ශිල්පය අතින් නුඹ දැන් මා පවා අභිබවා ගොස් ඇති සෙයකුයි මට දැනෙනුයේ. නුඹ අනර්ඝ ශිෂ්‍යයෙක්."

"ස්තූතියි."

"ඉදින්, නුඹගේ සූදානම කළ්‍යාණි පුරයට යාමට නොවෙද? නුඹ ඊට සූදානම්ද?"

"තවමත් නැහැ. තවත් එකුන් විසි දිනකින් නව ශිෂ්‍යයන් බඳවා ගැනේලු. අවස්ථාවක් ලබා ගැනීම සඳහා මා ඉක්මනින්ම එහි යා යුතුයි. එනිසාවෙන්, තවත් සත් දිනකින් මා නික්මෙනවා."

සිතැඟි (GirlxGirl) [Historical]Where stories live. Discover now