සිතැඟි - තෙවන දිගහැරුම

119 29 43
                                    

සය වසක ඇවෑමෙන්...

කළුවර ශාඛ කදක පැහැය දැරූ අසු, පදිකයන්ගේ දෙපා ගැටීමෙන්ම ඔප වැටුණු මග ඔස්සේ ඉදිරියට ඇදුණේ කුණාටුවක් සිහිගන්වමිනි. මාර්ගයෙහි රැස් කමින් සිටි ජනීජනයා තිගැස්මට පත්වූවෝ, අසුට ඉඩදී මාර්ගය දෙපස තණගොල්ලට පිවිසියෝය.

ඒ අසු පිට නැගී හුන් අශ්වාරෝහක තෙමේ, සුහුරු ලෙසින් අසු හැරවූයේ රාජකීය විමර්ශන අංශය වෙත දිවෙන පටුමග වෙතය. අසුකුර හඩින් පටුමග පිරී යන'තර, විමර්ශන අංශයෙහි දොරටුව මුර කරමින් හුන් සෙබළුන් කීප දෙනෙකුන් ඉදිරියට පැමිණියෝය.

"අසු පිටින් බසිනු." එකෙක් අණ කළේ අත වූ හෙල්ලය අශ්වාරෝහක වෙතට යොමු කරමිනි. "කවුරුන්ද නුඹ?"

නාටක ශිල්පියෙකුගේ නම්‍යශීලී බවට නොදෙවැනි ‌ලෙසින්, ගසකින් මිදුණු වියළි පත්‍රයක් ‌මිහිකත සිපගන්නා තරම් සුහුරු, මෘදු බවකින් යුතුව අශ්වාරෝහක තෙමේ අසු පිටින් බටුයේ, පැළද හුන් පිදුරු හිස් ආවරණය පහත හෙළුෑයේ ඊටම සිර කර පැවති උපුල් පෑ කේෂ කලාපය ඔහුගේ පිටුපස ආවරණය කරමින් කඩා හැලෙද්දීය. නළලත වසා බදින ලද කාල-රක්ත සේද නළල් පටිය ඔහුගේ කියඹුවන් නළල මතට පතිත වීම වැළකීය.

"පණිවිඩකරු සාහල්‍ය, කළ්‍යාණි පුරයේ සිට." හෙතෙම හිසද මදක් පහත් කරමින් විනීත ලෙස කියා සිටියේය.

සෙබළා හෙල්ලය පහත හෙළුෑයේ නැත. "කා හටද පණිවිඩය?"

"‌විමර්ශන අංශ ප්‍රධානීතුමිය, නිද්‍රා උත්තමාවිය හට."

"කුමනාකාරයේ පණිවිඩයක්ද?"

"ඒ පිළිබදව දනුයේ පණිවිඩය එවූ තැනැත්තියම පමණයි, සෙබළාණෙනි. මා තවත් එක් පණිවිඩකරුවෙක් පමණක්ම වේ."

"එසේනම්, මේ පණිවිඩය කවුරුන් වෙතින්ද?"

"රාජකීය කලා ශිල්පිනිය, මාරුතා උත්තමාවිය වෙතින්."

"එතුමිය වෙතින්ද? එසේනම් එය මෙහි ලබාදෙන්න. ඉක්මනින්ම නිද්‍රා උත්තමාවිය වෙතට පණිවිඩය භාර දිය යුතුයි."

"නමුත් මාරුතා උත්තමාවිය පවසා සිටියේ මාගේ දෑතින්ම නිද්‍රා උත්තමාවිය අතට පණිවුඩය ලබා දී ඇගේ පිළිතුර දැන ගන්නා ලෙසටයි. මා හට නොහැකියි ඇගේ අණට පිටුපෑමට."

සිතැඟි (GirlxGirl) [Historical]Wo Geschichten leben. Entdecke jetzt