දඬු මොණරු 34

548 83 21
                                    

යශ් අයියා ඊයේ රෑ කිව්ව විදියටම මං සීයත් එක්ක අම්මගෙ දානේ ගැන කතා කරන්න හිතා ගත්තා. අනිත් එක එයාලා දානේ ගැන මුකුත් කරේ නැත්නම් දානේ දෙනකම් හරි මං වැඩට යනවා කියල දැනුවත් කරන්නත් එපැයි.

සීයත් එක්ක කතා කරලා ඉවර වෙලා වැඩට යන එක තීරණය කරන්න හිතන් ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් කාලා බීලා එළියට ආවා. හොඳ වෙලාවට සීයා මිදුලෙ තිබ්බ සිමෙන්ති පුටුවක වාඩි වෙලා ඉන්නවා. නැත්නම් ඉතින් අර ගේ අස්සට ගිහින් කතා කරන්න එපැයි. ඊට පස්සේ හැමෝම වටේ එකතු වෙයි.

"සීයේ..... මට පොඩ්ඩක් කතා කරන්න ඕන"

"ම්ම්ම් මෙහෙන් ඉඳ ගත්ත නම්"

පළවෙනි වතාවට මං මේ සීයත් එක්ක ඉදගෙන කතා කරන්නේ.....

"සීයේ මං වැඩකට යන්න ඕනමයි කියල හිතුවෙ මේ මාසේ 27 අම්මගෙ දානේ නිසා. ඒ වෙනුවෙන් මුකුත් නොකර ඉන්න බෑනෙ සීයේ"

"ම්ම්ම් මේ මාසේ 27 ටද එතකොට තුන් මාසෙ"

"ඔව් සීයේ"

ඒ එක්කම ලොකු මාමගෙ බයික් එක මිදුලෙ නතර කරා. සීයා මං එක්ක කතා කරනව දැකලා වෙන්න ඇති එයත් ගෙට නොයා අපේ ලඟට ආවේ.

"පොඩීගෙ තුන් මාසෙ මේ 27 කියන්නේ ලොකු ළමයෝ"

"එහෙමද අප්පච්චි, තුන් මාසෙකුත් වෙලා නේද එහෙනම්"

"ඒකනෙ. මං මේ හිතුවෙ අපේ ලොකු හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා බණක් කියල පහුවදාට දානයක් දෙන්න"

"ඒකත් හොඳයි අප්පච්චි, එහෙනම් දැම්ම ලොකු හාමුදුරුවෝ එක්ක කතා කර ගමු නේද, මං හවස් වෙලා පන්සලට ගිහින් එන්නද අප්පච්චි"

"ම්ම්ම් ඒකත් හොඳයි, ඒ හැටි කාලයක් නෑනෙ"

ලොකු මාමා එහෙමම ගෙට ගියා. සීයයි, ලොකු මාමයි අකමැති නොවී අම්ම වෙනුවෙන් බණක් කියන්නත් ලෑස්ති කරන එකට මට සතුටුයි.

"සීයේ.... මං එකපාරම නවතින එක හොඳ නෑනෙ, ගිහින් පොඩි මහත්තයාට කියල එන්නම්"

"ඒකත් හැබෑව. එහෙනම් ඒ මනුස්සයාව දැනුවත් කරලා ආවනං"

සීය එක්ක කතා කරපු නිසා ටිකක් පරක්කු වෙලා.මං එද්දිත් හසා කඩුල්ල ලඟට වෙලා බලා ඉන්නවා.ඊයේ සීය කිව්ව දේවල් මං අද ඉස්කෝලෙදි එයාලට කිව්වනෙ.

දඬු මොණරු Where stories live. Discover now