යෙහාරගෙ pov 💚
අයියා හොස්පිට්ල් ගිහින් දැන් පැය බාගයක්.....එයා ප්‍රශ්නයක් වෙන්නෑ කියලා කීපාරක් කීවත් මම නොසන්සුන් ......
ලොකු සර් මාව කොහොම පිළිගනීවිද දන්නෙ නෑ......තාත්තා විරුද්ධ වුණොත් අයියටත් මාව එපාවෙයිද...
එහෙම නං වෙන එකක් නෑ....අනික නංගි.....එයා ගැන මොනවද කියන්නෙ....
මම ඇද උඩ එරමිණියා ගොතාගෙන ඉදගත්තා....ප්‍රශ්න ප්‍රශ්න...කොහේ ගියත් ප්‍රශ්න.......
එයා මගෙන් මොනාහරි ඇහුවොත් කෙහොමද උත්තර දෙන්නෙ....මට කෙලින්ම එළියට බැහැලා යන්න කියයිද....නැත්තං එයා මාව පිළිගනීද...නැත්තං මාව ගණන් නොගෙන ඉදීද.....
තවත් නං බලන් ඉන්න බෑ...මෙහෙම ස්ට්‍රෙස් වුණොත් මට එයා ඉස්සරහා වචනයක්වත් කතා කරන්න බැරිවෙයි...එයාගෙ පුතා ගොලු බෑනෙක් හොයන් කියලා හිතයි....
එයා ලොකු සර් නෙවෙයි....තාත්තා කියලා හිතන්න ඕනෙ...එහෙම හිතුවම බය අඩුවෙනවනෙ...
මම කාමරෙන් එළියට ගිහින් නංගිගෙ කාමරේටත් එබුණා.....එයා ස්කූල් ගිහින් ඇවිත් යුනිෆෝම් එක පිටින්ම පොතක් දිගෑරගෙන වැඩක්......
එයාට තනි කාමරයක් තියෙන එක හොදයි....පාඩම් කරන්න ලේසියි... පෞද්ගලිකත්වයකුත් හම්බෙනවනෙ..
"නංගි...ඔය ස්කූල් ඇදුමෙන් නේද තාම ඉන්නෙ...යනවා යනවා වොෂ් එකක් දාගන්නවා...ඊට පස්සේ වැඩ කරන්න..."
"පොඩ්ඩක් ඉන්නකො...."
"පොඩ්ඩක් බෑ, දැන්ම යනවා..."
නංගි නැගිටලා මට ගස්සලා.. රවලම බාත්රූම් එකට ගියා....
මම එයා යනකං ඉදලා පහළට ගියා...
මම අද උදේට සාමාන්‍යයෙන් අදින කොට ෂෝර්ට් එක වෙනුවට දිග ට්‍රවුසර් එකකුයි අත් නවපු ෂර්ට් එකකුයි ඇදගත්තා...වැදගත් පාටට මාමණ්ඩි ඉස්සරහා ඉන්න එපැයි.....පස්සෙ ආයෙ ෂෝර්ට් වලට බහිනවා....මනුස්සයා මොන වගේද කියලා අදුනගෙන ඉන්න එපායෑ මුලින්...
නිකං බලන් ඉදියොත් නහරයක් පුපුරල මැරිලවත් යයි කියලා හිතුණ නිසා මම කුස්සිය පැත්තටත් එබුණා.....
මේ ලොකු ගෙවල් වල මිනිස්සු හරි අමුතුයි....කෑම මේසෙට යැව්වම ගිහින් ලබ්බ තිබ්බා වගේ ඉදගන්නවා....අත හෝදන්නෙත් මේසෙමයි....ඊට පස්සේ නිකං භාවනා වැඩසටහනකට ඇවිත් වගේ මීක් සද්දයක් නැතුව කනවා....... කාලා ඉවර වෙලා මළ ගෙදරක ස්තූති කතව පවත්වන්න වගේ නැගිටලා යනවා....
කොච්චර කම්මැලිද....කන කෑමත්වත් දිරවනවද මන්දා ඔහොම කිසිම සතුටක්වත් නැතුව බුම්මගෙන කෑවම..
හැබැයි අයියා කීවට ගෙදර පාළුයි කියලා මෙහෙ එහෙමට පාළු නෑ....
කුස්සියේ වැඩ කරන ලතා ආන්ටි...
තව උදව්වට ඉන්න සෝමා ආන්ටි... වත්තෙ වැඩ කරන සිරිපාල අංකල්... එයාලා ඔක්කොම හරි හොදයි...මේ ගෙදර අයට ලැදියි.....
අවුල තිබිලා තියෙන්නෙ මේ ගෙදර අයගෙද කොහෙද....තාත්තලා පුතාලා ඔක්කොම සොම්බිනෙ...
මමත් ඉතිං පොඩි මිනිහෙක් නිසා කොහේ ගියත් පොඩි පොඩි මිනිස්සු මාත් එක්ක එකතුයි..අයියා මගේ මනුස්සයා වුණා කියලා මම බොරුවට පොෂ් වෙන්න ඕනෙ නෑනෙ....මළ විකාර...
මිනිස්සු කොයි තැන හිටියත් කවදාවත් තමන්ගෙ මුල් ඇද්ද තැන් අමතක කරන්න හොද නෑ ..ගොඩක් අයට වරදින්නෙ එතන....බොරුවට පොෂ් වෙන්න හිතන් මම මාව අමතක කරොත් මගේ වටිනාකමක් නැතිවෙනවා....
මම කුස්සියට යද්දි ලතා ආන්ටි රෑට කන්න ඉදි ආප්ප හදනවා..
එයා සීරුවට හැඩට ඉදිආප්ප මිරිකනවා දකිද්දි අම්මව මතක් වෙන එක නවත්තගන්න බෑ...අම්මත් මේ වගේම ගාණට රවුමට හරි ලස්සනට කැරලි කැරලි වැටෙන්න ඉදි ආප්ප මිරිකනවා...
මට ලොකු පාළුවක් දැනෙන්න ගත්තා....අම්මා , මම, නංගි තුන්දෙනා දුප්පත්කම , අඩුපාඩු මැද්දෙ වුණත් ගෙව්ව ජීවිතේ හිනාවෙන් පිරිලා තිබ්බනෙ...අද අපි තැන් දෙකක....
"බේබි මහත්තයා සාලෙට ගිහින් ඉන්න..... චූටි මහත්තයා ඔය මහත්තයට හිතේ හැටියට අපි එක්ක ඉන්න දුන්නට ලොකු මහත්තයා නීතියට වැඩ...එයා කැමති නෑ ගෙදර අය අපි එක්ක වැඩි සම්බන්ධකම් තියෙනවට...මහත්තයා අපි එක්ක හිටියොත් අපේ ගොඩටම වැටිලා වචන අහගන්න වෙයි...."
ලතා ආන්ටි කීවෙ අවවාදයක් විදිහට වගේ....
එයා මට බේබි මහත්තයා කියලා නමකුත් හදාගන....මං එනකොට එයාගෙ මූණේ ලස්සන හිනාවක් ඇදෙනවා....ඒත් ඒ දැන්.....පෙරේදා මං එද්දි මෙයාත් මේ ගෙදර හැමෝම අය වගේ සොම්බියෙක් වගේ හිනා පොදක් මූණෙ නැතුව හිටියෙ..ඒ වගේ ඉන්න පුලුවනැයි මිනිස්සුන්ට...මමම හදලා ගත්තා...
"එයා තාම ආවෙ නෑනෙ....කෝ දෙන්න මටත් ඉදි ආප්ප හදන්න...."
"මහත්තයට බෑ..."
"අපෝ පුලුවන්....අයියා මාව අහුලගත්තෙ මාළිගාවකින් නෙවේ....
මමත් ඔයා වගේ අම්මෙක්ගෙ පුතෙක්..මටත් ඔය වගේ වැඩ හොදට පුලුවන්..."
මම එහෙම කියද්දි ලතා ආන්ටිගෙ මූණේ සතුටක් ඇදෙනවා මම බලාගෙන...එයා මේ ගෙදරටම වැඩ කර කර ඉදලා කසාදයක්වත් බැදගෙන නෑ...... ඉතිං දරුවොත් නෑ....
එයාගෙ පාලුව ටිකක් හරි මම නිසා නැතිවෙනවනං ඒක ලොකු දෙයක්නෙ....
"ඒක නෙවේ ආන්ටි....ඔයා අයියා පොඩි කාලෙත් මෙහෙ හිටියද...."
"මම මෙහෙට එද්දි චූටි මහත්තයට වයස 13 ක් විතර ඇති...එයා ගෙදර ආවෙ ඉදහිට .....කොලඹ ලොකු ස්කෝලෙකනෙ ඉගෙනගත්තෙ....පොඩි කාලෙ ස්කෝලෙ ගියෙ මෙහෙලු...අම්මා නැතිවුණාට පස්සෙ තමා කොලඹ එක්ක ගිහින් තියෙන්නෙ..."
"ඉතිං එයා ඔයා එක්ක කතා කරලම නැද්ද.....
"වැඩිය නෑ....ආවම කාමරේටම වෙලා ඉන්නවා...කොහේවත් යන්නෙ නැතුව ඉදලා ආපහු යනවා....චූටි මහත්තයා මෙහේ දිගටම ඉන්න ආවෙ මේ මාස හත අටකට කලින්නෙ...දැන් නං චූටි මහත්තයා සතුටෙන් ඉන්නවා... හිනාත් වෙනවා... ඉස්සර මම චූටි මහත්තයා ගැන සෑහෙන්න වද වුණා..."
"ඒ මොකද..."
"මම මෙහෙම කියන එක හරිද දන්නෑ...ඒත් චූටි මහත්තයා පුංචි කාලෙ ටිකක් අමුතුයි.....කා එක්කවත් කතා කරන්නෑ....එක පාරටම තරහා යනවා කාටවත් පාලනය කරන්න බැරි මට්ටමට...ලොකු මහත්තයට ගහන්න පවා යනවා....සිරිපාල තමයි නවත්තන්නෙ.....ඒත් සමහර වෙලාවට ඒ මුකුත් නෑ..... හරිම නිහඩයි....නිහඩ වුණාම කෑ ගහනවට වඩා අමුතුයි... මං දිහා බලලා හිනාවෙනවා...හරිම අහිංසක විදිහට...ඒත් මං හිතන්නෙ මම තරහෙන් කෑගහන , ගෙදර කණ්ණාඩි කුඩු කරන චූට් මහත්තයට කැමති වුණා ඒ අහිංසක, බය හිතෙන චූටි මහත්තයට වඩා..."
"හම්මේ .....අය්යා මෙහෙම හිටියට හොද හොද වැඩ කරලා ඒ කියන්නෙ.."
"මම කේලම් කියනවා කියලා හිතන්න එපා බේබි...මම ඔය රටේ ලෝකෙ දේවල් වැඩිය දන්නෑ...ඒත් බේබි මහත්තයයි චූටි මහත්තයයි දෙන්නා ලෙංගතුයි කියලා දන්නවා...තමන්ගෙ මහත්තයගෙ හැමදේම ගැන බේබිත් දැනගන්න ඕනෙ නිසයි කීවෙ..."
"මං මුකුත් හිතුවෙ නෑ ලතා ආන්ටි...මොකද්ද ඒ කණ්ණාඩි කුඩු කරන කතාව...."
"චූටි මහත්තයට තරහා ගියාම ගෙදර තියෙන ඔක්කොම කණ්ණාඩි කුඩු කරනවා....ඊට පස්සේ අර කාමරේ තියෙන හාන්සි පුටුවේ ගුලිවෙලා ඉන්නවා.....ඒත් දෙයියන්ගෙ පිහිටෙන් දැන් චූටි මහත්තයා හොදින්...හොදින් විතරක් නෙවේ බේබි මහත්තයව ආදරෙන් බලාගන්නවත්නෙ...මං බලාගෙන ඊයෙ ඔය මහත්තයා මෙලෝ සිහියක් නැතුව හැමතැනම දුවනවා.. ඉතිං චූටි මහත්තයා හැප්පෙන්න යන යන ගාණට බලන් ඉදලා ඔය මහත්තයව වැටෙන්න නොදී අල්ලගන්නවා "
ඔහොම කියද්දි නං ලැජ්ජයිත් වගේ...අයියා සමහර වෙලාවට මට සලකන්නෙ පොඩි එකෙක්ට වගේ....
ඒ මට ආදරේ නිසානෙ....මමත් එයාට ආදරෙයිනෙ.....ලතා ආන්ටිටත් ඒ ආදරේ තේරෙන එක ගැන මට සතුටුයි...මොකද අයියටයි මටයි මිනිස්සු ගොඩක් ඉන්න තැනක කවදාවත් කොල්ලයි කෙල්ලයි කපල් එකක් වගේ තුරුල් වෙලා ඉන්න බෑ......ඒ අපේ රට හැදිලා තියෙන විදිහ....අපි දෙන්නගෙ ආදරෙත් අනිත් අයගෙ ආදරේ වගේමයි කියලා තේරුම් ගත්ත මිනිස්සු අතලොස්සයි ඉන්නෙ....
"ලොකු මහත්තයා ගොඩක් නපුරුද..."
"නෑ එහෙමට නෑ....එයා එහෙම බනින කෑගහන කෙනෙක් නෙවේ....බේබිටම තේරෙයි එයාගෙ විදිහ.....වැඩිය එයා එක්ක කියවන් යන්න එපා...ලොකුවට අවුලක් නෑ එහෙම....මොනවා වුණත් මට රස්සාව දීපු මනුස්සයනෙ...."
ලතා ආන්ටි වැඩි දෙයක් කීවෙ නෑ....ඒත් එයාට කියන්න දේවල් තිබ්බා වගේ නොකීවට...ඒත් එයාලගෙ ලොකු මහත්තයා ගැන වැරදි කියන්න බැරි නිසා නොකියන්න ඇති...ලොකු මහත්තයා අමුතු කෙනෙක් වගේ....
මම කුස්සියට වෙලා වැඩ කර කර ඉන්න අතරෙ ඇහුණා සිරිපාල අංකල් ගේට් එක අරින්න දුවනවා...
මම අත පිහිදගෙන සාලෙ පැත්තට ගිහින් කොණක හිටගත්තා...නංගිත් මං ගාවටම ඇවිත් මගේ අතේ එල්ලුණා...
නංගි නොදන්නවා වුණාට මේ නංගිගෙ තාත්තා....මම ඒක හිතින් හිතද්දිත් දැනුනෙ විදුලි කොටනවා වගේ හැගීමක්....
ටිකකින් දොර ළගට දේවාන්‍ය අයියයි අපේ අයියයි ආවා......අපේ අයියා ආවෙ රෝද පුටුවක් තල්ලු කරගෙන...
ඒ රෝද පුටුවෙ හිටියෙ ලොකු සර්....එයාගෙ කොන්දට වැටෙද්දි වෙච්ච හානි නිසා මාස හයක් විතර රෝද පුටුවෙ ඉන්න වෙනවලු.... එයාගෙ මූණ හැගීම් විරහිතයි....ඒත් එයා හිනාවුණා..හරියට අර මම මුලින්ම දකිද්දි අයියා හිටියා වගේ....
මෙයත් ලෝකෙට වෙස්මූණක් දාගත්තු මනුස්සයෙක් වගේ...
එයාගෙ ඇස්...ඒ ඇස් වලින් මං දිහා බලලා මොහොතකට එයා කලබල වුණා වගේ....
ඒ ඇස් අපේ නංගිගෙ ඇස්....මට පොඩි හරි සැකයක් තිබුණනං ඒ සැකේත් ගියා....මට ඕනෙ වුණේ මේ මනුස්සයා අපේ නංගිගෙ තාත්තා නොවෙන්න...ඒත් ඒක හිත රවට්ටගැනිල්ලක් විතරයි....ඒ දෙන්නවම දන්න කෙනෙක්ට සමානකම තේරෙන තරමට ඒ දෙන්නා පෙනුමෙන් සමානයි...
"මේ පුතාගෙ හිටපු ඇසිස්ටන් නේද...ඒ ළමයගෙ වැරැද්දක් නිසා අයින් කරා කීවනෙ නේද...??"
එයා මං ඉස්සරහම අයියගෙන් ඇහුවෙ මම ඉන්නවද නැද්ද කියලා ගණන්වත් නොගෙන....
හේයි....මටත් කටක් තියෙනවා හරිද...මාමණ්ඩි ඉතිං ආව ගමන්ම රෝන් සයිඩ් යනවනෙ....
මම හිතින් කීවට කටින් කීවෙ නෑ...
එයා ආස අහිංසක , තැන්පත් බෑනෙක්ට හරි ලේලියෙක්ට හරිද දන්නෑනෙ....
හැබැයි එහෙමත් කියන්න බෑ...අර නුගාරා එළදෙනගෙ මොන අහිංසකකමක්ද තිබ්බෙ...
අයියා රෝද පුටුව තල්ලු කරන එක දේවාන්‍යට දීලා මං ළගට ඇවිත් හිටගත්තා...
"යෙහාර අපේ ගෙදර ආවෙ ඇසිස්ටන් විදිහට නෙවේ ඩැඩ්....මගේ පාට්නර් විදිහට...කෙලින්ම කීවොත් මගේ හස්බන්ඩ් විදිහට....එතකොට මේ ඉන්නෙ මගේ නෑනා ,යෙහාරගෙ නංගි...හිමායා...එයාලා අද ඉදලා අපි එක්ක ඉදියි...."
"පුතා.........මම නැති දවස් දෙකට මොනවද නටන නාඩගම් "
එයා මහ හයියෙන් කෑ ගහද්දි නංගියි මමයි දෙන්නම ගැස්සුණා.....
හයියෙන් කෑ ගහපු තරමටම එයා එකපාර සන්සුන් වුණා....හරියට කුණාටුවක් එන්න ඇවිත් ඒක ආපහු ගියා වගේ.....එක්කො එයා හැගීම් පිට නොකර තද කරගත්තා....
එයාගෙ මූණ සන්සුන්....ඒත් එයාගෙ ඇස් ඇතුලෙ කුණාටුවක්......
ඒත් අයියා ඒ කුණාටුව දැක්කෙ නෑ....
"ඩැඩ්......ඔයාට පිළිගන්න අමාරු ඇති මම කෙල්ලෙක් වෙනුවට කොල්ලෙක්ව මගේ පාට්නර් කරගත්තු එක...මට තේරෙනවා....ඒත් ආයෙ හැරෙන්න බෑ....මම දන්නවා ඔයා අසනීපෙන් ඉදිද්දි මේ දේවල් කියන්න හොද නෑ කියලා...ඒත් යෙහාරගෙ පවුලෙ අය මේ දවස්වල ප්‍රශ්නෙක ඉන්නෙ...ඉතිං මං හිතුවට වඩා ඉක්මන් වෙන්න වුණා......."
"එතකොට මේ අනිත් ළමයා...ඒ ළමයා මොකටද...."
මම අයියට පේන්න ඔලුව වැනුවා...නෑ නෑ කියන්න එපා....මේ ඒකට වෙලාව නෙවෙයි.....
අය්යා හුස්මක් අරගෙන තාත්තට හිනාවුණා....
"ඒ මගේ නෑනා....එයාට අයියා එක්ක ඉන්න ඕනෙ වුණා....එයාලගෙ අම්මට පොඩි ප්‍රශ්නයක් මේ දවස් ටිකේ..."
තාත්තා ඊට වඩා ප්‍රශ්න ඇහුවෙ නෑ...අපි දෙන්නා දිහා අමුතුවට බලලා ඔලුව වැනුවා විතරයි...දේවාන්‍ය එයාව එක්ක යද්දි මම අයියා පස්සෙන් උඩට ගියා....නංගිත් මං පස්සෙන් ආවා...
අපි තුන්දෙනාම කාමරේ ඇද උඩ පෝලිමට ඉදගත්තා....මම .....අයියා...ඊට පස්සේ නංගි....
නංගි මං දිහා බලළා ඔලුව වැනුවා....මමත් ආපිට ඔලුව වැනුවා....
අපි දෙන්නම අයියා දිහා බැලුවත් අයියා ඔක්කොම ශේප් වගේ හිටියා...
ඒත් මට හොදක් දැනුනෙ නෑ....
තාත්තා මහ හයියෙන් කෑ ගැහුවා නං බැන්නා නං තර්ජනය කරානං මීට වඩා හොද වෙන්න තිබ්බා...මොකද එයා තරහා පිට කලා වෙනවා.....
ඒත් එයා එහෙම කලේ නෑ....ඔක්කොම හැගීම් ඉක්මනට හංගගත්තා විතරයි...
ඒක වඩා භයානකයි......
අයියා මිනිස්සු කියවන්න දන්නවා.....ඒත් ඒ එයාගෙ අය වුණාම එයා ටිකක් අන්ධයි....එයාගෙ තාත්තා නිසා එයා ලොකු සර්ව අවතක්සේරු කරනවදෝ කියලා මට හිතුණා...
"අවුලක් වෙන එකක් නෑ නංගි...ඔයා පරිස්සමෙන් ඉන්න...."
මම නංගිට එහෙම කීවත් මම සෝදිසියෙන් හිටියා....දවසක්...දෙකක් තුනක්...හතරක් ගත වෙනකම්ම ඒ සාමකාමී වාතාවරණය පැවතුණා...
අපි උදේට එකම කෑම මේසෙ කෑම කෑවා.....උදේ මම අම්මා බලන්න යන නිසයි......ගෙදර ඇවිත් බිස්නස් එකේ කෑම හදන ,පැකට් කරන වැඩ කරන නිසයි මට දවල් වරුව තාත්තව මුණ ගැහෙනවා අඩුයි....
එයා දේවාන්‍ය අයියා එක්ක මිදුලට යනවා...ආයෙ ඇතුලට එනවා මට පේනවා ජනේලෙන්....
රෑටත් අපි එක මේසෙ කෑම කනවා....මම උඩට යද්දි එයා බලන් ඉන්නවා...ඒත් මුකුත් කියන්නෙ නෑ...
හරියටම සතියකට විතර පස්සෙ..... දවල් වරුවක....මම සාලෙ ඉදගෙන ගණන් මිමි වගයක් හදනවා....අයියා ඔෆිස් ගිහින්....
එයා හිටියෙ කාමරේ , රෝද පුටුවක ඉන්න නිසා පල්ලෙහා තට්ටුවේ කාමරේකයි ඉන්නෙ.....
එයා රෝද පුටුවත් තනියම තල්ලු කරගෙන දොර ළගට ඇවිත් මට කතා කරා...
"ඔය ළමයට පුලුවන්ද මට තේ එකක් ගේන්න...."
දේවාන්‍ය පේන්නත් නෑ...මම හා කීවා...
මම කුස්සියට ගිහින් ලතා ආන්ටිටත් කියලා තාත්තා කැමති විදිහය කියලා කීව ඉගුරු දාපු තේ එකක් හැදුවා....
ඒක කුකීස් එක්ක ට්‍රේ එකක තියලා මම කාමරේට අරන් ආවා....
ඒ කාමරේ වැඩිය බඩු නෑ....ඇදක්...පොඩි මේසයක්...අල්මාරියක්...පුටුවක් එහෙම විතරයි....
එයා රෝද පුටුවෙ වාඩි වෙලා හිටියෙ..
"බොහොම ස්තූතියි ළමයා..."
මම ආපහු හැරිලා යන්නයි හැදුවෙ...ඒත් තේ කෝප්පෙ අතට අරන් උගූරක් බොන ගමන් එයා ආයෙත් මට කතා කරා...
"ඔය පුටුවක ඉදගන්න ළමයා...."
මම ඉදගත්තා....එයාගෙ මූණෙන් මට මුකුත් හොයන්න බෑ....අය්යා එයාගෙ තාත්තා වගේ කියන එක මට පලවෙනි වතාවට හිතුණා....
තවත් කෙනෙක්ව විනිවිද යවන විදිහෙ එකම බැල්ම.....සන්සුන් ඒත් හැගීම් නොපෙන්නන සීතල පෙනුම...
"ඔය ළමයා මෙහෙට ආවෙ දේපල බලාපොරොත්තුවෙන්ද....මම ඔය ළමයව අදුනගත්තා...."
එයා ඇහුවා.....මම බයවෙලා එයා දිහා බලන්න ආව හැගීම මැඩ පවත්වගත්තා....
"මාව අදුනගත්තා කීවෙ....."
මම දන්නෙ නෑ වගේ ඇහුවා...
"අවුරුද්දකට කිට්ටු කාලයක් මගේ හුරතලී වෙලා හිටිය ඒ කෙල්ලගෙ ඇස් මට අමතකයි කියලා හිතුවද ළමයෝ....හරිම අහිංසකයි....මුවෙක් වගේ ....මම කීව හැම වචනයක්ම විශ්වාස කලා....මම හිතුවා ගලවගන්නත් අමාරු වෙයි කියලා....ඒත් මට එයාගෙන් බාධාවක් වුණෙත් නෑ....ඒත් මම වැරදියි නේද?? එයා නිකං ඉදලා නෑ....
මධුමාලි එයාගෙ පුතාව එවලා....
එයාට බැරිවෙච්ච දේ පුතා ලවා කරවන්න......."
එයා ඒ විස පිරිච්ච වචන කතා කරේ කාලගුණේ ගැන කතා කරනවා තරං සන්සුන්ව....මගේ අත් මිට මෙලවුණා...
"නෑ මිස්ට ජයවීර....මගේ අම්මා ඒ ජාතියේ ගෑනියෙක් නෙවේ.....එයාට ඔයාට දෙයක් කියන්න තිබ්බනං එයාම ඇවිල්ලා ඒක කියයි....මට ශෙනාල් අයියව හම්බවුණේ සම්පූර්ණ අහම්බෙකින් ....අනික එයා දන්නවා මම කාගෙ කවුද කියන්න...."
මම අන්තිමට කියපු දේ එක්ක එයාගෙ ඇස් යාන්තමට ගැස්සුණා....එයා බලාපොරොත්තු වුණේ නෑ අයියා ඒක දන්නවයි කියලා..එයා එතකොට ඒ ගැන කියලා බ්ලැක්මේල් කරන්නවත් හිතන් හිටියද ???
"මේ ලෝකේ කිසි කෙනෙක් ප්‍රයෝජනයක් නැතුව ළං වෙන්නෙ නෑ ළමයා....."
"ඇයි ආදරේ ......මං අයියට ළංවුණේ එයාට ආදරේ හින්දා...."
මම එයාට කීවා....
"ආදරේ...වට් නොන්සන්ස්....ආදරේ කරලා කාටද හරිගියේ...ඔය ළමයා මම හිතුවට වඩා හරි මෝඩයිනෙ...."
"මම මෝඩ නෑ..."
මට කේන්තියි...එයා මාත් එක්ක වචන වලින් සෙල්ලං කරත් එකයි නැතත් එකයි , මට තරහයි...මට කට වහන් ඉන්න බැරිවුණා...
"හැගීම් ඔහොම පැහැදිලිව මූණෙන් පෙන්නන්න එපා ළමයා...ඔය ළමයා හරියට ඕන කෙනෙක්ට කියවන්න පුලුවන් පොතක් වගේ....දැන් ඔය ළමයගෙ ඇහිබැමි රැලිවෙලා...මූණ තරහෙන් පිරිලා...ඔය ළමයා ඉන්නෙ තරහින් මාත් එක්ක...."
එයා හිනාවෙවී කිව්වා....
"මම තරහෙන් තමයි....ඔයා...ඔයා මගෙයි අයියගෙයි සම්බන්ධෙ සැක කරනවා....ඔයා මගේ අම්මට අපහාස කරනවා....ඉතිං මට තරහා යනවා තමයි...."
සුමිත් ජයවීර තව තේ උගුරක් බීලා කෝප්පෙ පතුල දිහා බලලා තේ ඉවර වුණු කෝප්පෙ එහා පැත්තෙ තිබ්බ මේසෙ උඩ තිබ්බා...
"ඔය ළමයගෙ නංගි....මම දන්නවා එයා කාගෙ කවුද කියලා.....ඒ ළමයා ඉපදුණ දවසෙ ඉදලා මම දැනගෙන හිටියා....කාලෙන් කාලෙට මම විස්තර හෙව්වා.....ඔය ළමයගෙ අම්මා මෝඩයෙක් වගේ මට බාධාවක් වෙයිද බලන්න....ඒත් මම හිතුවට වඩා එයා බුද්ධිමත් වුණා.....එයා අර නෝන්ජල් මිනිහව ආයෙ බාරගෙන මාව අමතක කරා......ඔය ළමයටත් තිබ්බෙ අම්මා වගේ බුද්ධිමත් වෙන්න.... මං ඉස්සරහට නෑවිත් ඉන්න......මගේ දේපල වල අයිතිය කවදාවත් අවජාතක දරුවෙකුට උරුම වෙයි කියලා නිකමටවත් හිතන්න එපා...
ඒ වගේම මගේ පුතාගෙ අයිතිය හිරේ ගියපු මිනිහෙක්ගෙයි මැරෙන්න වැටිච්ච ගෑනියෙක්ගෙයි පුතෙක්ට දෙයි කියලත් හිතන්න එපා.....දන්නවද මම මේ හැමදේම වෙනුවෙන් කොච්චර ලොකු කැපකිරීමක් කරාද කියලා....ඒ කැපකිරීම මෙහෙම අපතේ යන්න දෙන්න බෑ...."
"මටවත් , නංගිටවත් තමුසෙගෙ සල්ලි එක රුපියලක්වත් එපා....ඒත් මම මගේ කොල්ලව අතාරියි කියලත් හිතන්න එපා....."
මම පුටුවෙනුත් නැගිටලා කෑ ගහලා කීවා....
එයා ආයෙත් සන්සුන්ව හිනාවුණා විතරයි....ඇයි මේ මිනිහගෙ කිසි ප්‍රතිචාරයක් නැත්තෙ...
"ඔය ළමයා හරි කලබලයි වගේ.....කලබල නොවී පරිස්සමෙන් ඉන්නකො...දැන් මේ කෝප්පෙ ගිහින් තියන්න. ."
මම කෝප්පෙ පොලවේ ගහන්න බැරි කමට ඒක අත් දෙකෙන්ම අල්ලලා අතට අරගෙන කාමරෙන් එලියට යන්න ගියා...
මම දොර ළගට යනකොටම දේවාන්‍ය ඇතුලට එනවා.....මම එයා දිහාවත් නොබලා කාමරෙන් එලියට ගියා...
ඒත් දොර ළග පොඩ්ඩක් නැවතුණ ටිකට මට ඇතුලෙ හිටිය දෙන්නගෙ කතාවල් ඇහුණා...
"වැඩේ හරිද...."
"ඔව් බොස්, මිනිහා ඉඩම විකුණන්න කැමති වෙයි....දරුවා ඉඩමට වඩා වටිනවා ඇතිනෙ.....මම එහෙනං කන්ට්‍රැක්ට් එක ලෑස්ති කරන්නද..."
"තෑන්ක්ස් දේවා....යූ ආර් ද බෙස්ට්...
මම හැමදාම කියනවනෙ...."
මගේ අතේ තිබ්බ කෝප්පෙ වෙව්ලුවා...
ඉඩමට වඩා දරුවගෙ ජීවිතේ වටිනවා ඇතිනෙ.....ඒ වචන මගේ හිත කලබල කෙරුවා...
මගේ නංගි.....අම්මා....මම එයාලව අනතුරේ දාලාද....ලොකු සර්...දේවාන්‍ය...එයාලා ඇත්තටම හානියක් නැති අයද...අයියා මේ දේවල් දන්නවද....මට එයාගෙ ආදරේ ගැන සැකයක් නෑ....ඒත් මේ හොර රහසෙන් කරනවා වගේ පෙනෙන බිස්නස්??
එයත් ඒවගෙ කොටස් කාරයෙක්ද....
මම රහස් හැංගිච්ච පවුලක ඇමකට අහුවෙචිච මාළුවෙක්ද....
මම ඉක්මනට කෝප්පෙ තියලා නංගිගෙ කාමරේට ගියා.....එයා පොතක් කියවනවා...
"ඇයි අයියෙ ....."
"නෑ මේ නිකං....මුකුත් නෑ....අපි හවසට අම්මා බලන්න යංද...."
"යමු යමූ....තව පැය දෙකකින් විතර යමු...සුදු අයියා තාම ආවෙ නැද්ද...."
"නෑනෙ....එයා ආවම එයා එක්ක යමු....."
නංගි ආයෙ පොත දිහා බලද්දි මම දොර දිහා බලන් ඉදියා....මට මහා අනාරක්ෂිත හැගීමක් දැනුනා....අයියා ඉක්මනට ගෙදර ආවොත් හොදයි...
මතුසම්බන්ධයි~