සිව්වන කොටස

156 22 12
                                    

මහා වැස්සට පසුදින මුළු ගම්මානයෙහිම එකම කාලගෝට්ටියක් විය. සියල්ලෝම අතුරුදහන් වූ අරලිය ඉස්කෝලේ මහත්තයාව සොයමින් ගම පුරා සැරිසැරූහ.. මීට පෙර කවරදාකවත් නැති ලෙසින් රත්වැවට ඇද හැලුණු මහා වැස්ස පිළිබඳව ද ගැමියන් අතරේ විවිධාකාරයේ කටකතා පැතිරෙමින් තිබුණි. ඒත් සමඟම අරලියගේ අතුරුදහන් වීමද ගම්මුන්ට තවත් පුවත් සෑදීමට තෝතැන්නක්ම විය. නගරයට ගොසින් වරුවෙන් එන බව පැවසූ අරලිය රෑ මැදියම වෙනතුරුත් නොපැමිණි හෙයින් වෙද ගෙදර උදවිය මහ රෑම කලබල වීමට පටන් ගත් හ. නමුත් ඉස්කෝලේ මහත්තයා වැස්සට හසුවී නිවස බලා ඒමට නොහැකිව කොහේ හෝ තැනක නතර වී සිටිතැයි සිතා වෙද ගෙදර සාමාජිකයෝ අරලියව ඒ මහ රෑ සෙවීමට එතරම් උනන්දු නොවූහ. නමුත් උදෑසන වන විටත් අරලියගේ පැමිණීමක් සිදු නොවීම ඔවුන්ව නැවතත් භීතියට පත් කරන්නක් විය.. ඔහුගේ ඇඳුම් පැළදුම් පොත් පත් ආදිය එහෙම් පිටින්ම කාමරය තුල තබා තිබියදි අරලිය නිවස බලා ගිය බවක්ද සිතිය නොහැකි හෙයි වෙද ඇත්තෝ ගැමියන් කිහිප දෙනෙකුද සමඟින් අරලියව සෙවීමට පටන් ගත්තේය..

ගැමියන්ට අරලියව සෙවීමේ කර්තව්‍ය භාර කර වෙද ඇත්තෝ විහාරස්ථානය වෙත ඉක්මන් ගමනින් පියමනින්නට වූයේ මේ හද කම්පා කරවන පණිවිඩය වහාම සුජාත හාමුදුරුවන්ට දැනුම් දිය යුතුවූ හෙයිනි.

"අපේ හාමුදුරුවනේ ඉස්කෝලේ මහත්තයා ඊයේ ඉඳන් ආගි අතක් නෑ නෙව.."

වෙද ඇත්තෝ පණිවිඩය රැගෙන පැමිණීමටත් පෙර මේ පිළිබඳව වඩාත් හොඳින් සුජාත හිමියෝ දැන උන් හ. එබැවින් එම පුවත ඇසූ එහිමියෝ මද සිනහවක් පා වෙද ඇත්තන්ට අසුන් ගැනීමට ආරාධනාවක් කළහ.

"ඉස්කෝලේ අයියණ්ඩිව හොයලා කාරි නෑ වෙද ඇත්තෝ.."

"අර මොකද අපේ හාමුදුරුවනේ.."

එම ප්‍රශ්නයටද සුජාත හිමියෝ මද හිනාවකින්ම පමණක් පිළිතුරු දුන් හ. මේ වෙද්දි අරලිය සිටින්නේ කොහේද ඔහු කරන්නේ මොනවාද යන වග සුජාත හිමියන් තරම් හොඳින් දන්නා අයෙකු මේ විශ්වයේම නොවීය. අඩුම අරලියට පවා ඒ පිළිබඳ අවබෝධයක් නොවීය..

"අවසරයි අපේ හාමුදුරුවනේ මොකුත් පිළියමක් කළොත් නරකද.."

"අපිට පිළියම් කොරලා විසඳන්ට පුළුවන් දේවල් මේ ලෝකෙ බෝමයක් නෑ වෙද ඇත්තො. අපි මේ දන්න ශාස්ත්‍ර තියෙන්නේ මේ ස්වභාවධර්මයේ න්‍යායන්ට පිටින් ගොහුන් එව්වා කඩා බිදලා දාලා අනුන්ට වින කරන එවුන්ට දඬුවම් දෙන්න වගේම ඒ වෙනස් කරපුවා නැවත හරිගස්සන්න මිසක් මේ ලෝක ධර්මතාවලට අනුව සිද්ධ වෙන දේවල් වෙනස් කොරන්න නෙමෙයි.. මේකෙදි අපිට කොරන්ට පුළුවන් දෙයක් නැතුවා.. කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් ඉස්කෝලේ අයියණ්ඩිටම විතරයි.."

සොහොන් ඉද්ද | 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now