මං පට ගාලා බිම බලාගෙන නූල දාන්න try කලා. මේ පාර නම් පුදුමෙකට වගේ එයා ගැස්සුනේ නෑ. අපේ අත් හරිම මෘදු විදියට එකට ගෑවුනා. කන් දෙකේ ඉඳන් රත් වේගෙන දුම් දාගෙන එද්දිත් මං තොල හපාගෙනම කොහොම හරි නූල දාගත්තා. අලු ඇස් කෑගැහුවෙ රටක් රාජ්ජයක් දින්නා වගේ. අමාරුවෙන් වුනත් ඇස් උස්සලා මං එයා දිහා බැලුවා. ඒ ඇස් දිලිසෙන්නෙ තරු කැට වගේ.
මේ වගේ මෝඩ පහේ සෙල්ලමක් එච්චර කෑගන්න සතුටු වෙන්න දෙයක්ද? මට මේ මනුස්සයව නම් හිතා ගන්න බෑ.

හැබැයි අපිට ලැබුනෙ පලවෙනි තැන නෙමෙයි. දෙවනි තැන. අර මිනිහගෙ ගැස්සිල්ල නොවෙන්න අපිට එක වෙන්න තිබුනා ලේසියෙන්ම. කොහෙද ඉතින්. එක එක කෝලම් එක එක මිනිස්සුන්ගෙ.

ඊට පස්සෙ තරඟ නම් මං ශේප් එකේ මගෑරලා නිකං හිටියා. මගේ වාසනාවෙ හැටියට මොකා එක්ක සෙට් වෙයිද දන්නෑ ඊලඟ ඒවා. අයින් වෙලා පයින් යන එක මගේ ඇඟට, හිතට සේරෝන්ටම හොඳයි.

ඉතින් එදා රෑ කට්ටිය සිංදු කියලා හීනියට වගේ drinks ගන්නත් set වුනා. buffet එකක් විදියට කඩේකින් කෑමත් order කරලා තිබුන නිසා, ඇත්තටම හරි සැහැල්ලුවෙන් දවස ගෙවුනා. ළමයි ටික එකට සෙට් වෙලා party hall එකේ film එකක් බලද්දි ඒකෙම කොනක ලොකු මිනිස්සු ටික කයිය ගගහා බොන්න ගත්තා. මං ආලෝක් හිටිය table එකේමයි හිටියෙ. කොහොමත් මං කාත් එක්කවත් වැඩිය කතාවට යන්නෑනෙ. බියර් එකක් හෙමීට බොන ගමන් අනිත් මිස්සුන්ගෙ කතා අහගෙන ඉන්න එක, අනිත් අය කරන දේවල් බලාගෙන ඉන්න එක තමයි මං වැඩිපුරම කලේ. ආලෝක්ට නම් එයා වගේම business ideas තියෙන අය set වෙලා. කොහොමත් එයා මට ලොකු අවදානයක් දෙන්නෙ නෑනෙ කවදාවත්.

මට මතක් වුනේ අපි මුලින්ම මුණ ගැහුන හැටි. ලංකාවෙ ලස්සනම කැම්පස් එක කිව්වොත් බොරු නෙමෙයි මට හිතෙන්නෙ ඒක. රොබරෝසියා මල් පිපිලා, බිම වැතිරිලා, හුලඟ එක්ක හුරතල් වෙවී දඟ කරපු කාලයක් ඒක. මාසෙකට සැරයක් අම්මලා එවන සල්ලි ටික ගන්න මොකද්දෝ හේතුවකට බැංකුවට ඇවිත් තිබුනෙ අපි දෙන්නම එකට. එදා කතා කරලා ඇති කරගත්‍ත යාළුකම අපි දෙන්නම හිතුවට වඩා දුර දිග ගියා.

මගේ වෙනස ගැන හිත යටින් දුක් වෙවී මොකද්දෝ මන්දා හීන මානෙකින් හිටපු මට ආලෝක්ගෙ යාළුකම මහමෙරක් වගේ වුනා. අනික් යාළුවො ලඟදි නොදැනුනු සමීපකමක් මට එයා ලඟදි දැනුනා. ඒ නිසා මං එයා එක්ක කාලෙ ගෙවන්න, කතා කරන්න ඇබ්බැහි වුනා කිව්වොත් හරි. හැබැයි දැන් හිතලා බලද්දි එයාට නම් එහෙම විශේෂ වුවමනාවක් තිබුනෙ නෑ කියලා මට තේරෙනවා.

උල්කා (Completed)Where stories live. Discover now