ඉතින් තරඟෙ පටන් ගත්තා. ඉඳිකට්ට අළු ඇස් අල්ලගෙන ඉඳිද්දි මට තිබුනෙ ඒකට නූල දාන්න. හැබැයි එයා ඉඳිකට්ට අල්ලගෙන ඉන්න ඕනෙ තනි අතින් වගේම මං නූල දාන්න ඕනෙත් තනි අතින්. අනික් අත අපිට පාවිච්චියට ගන්නම බෑ.
මට නම් ඔය තරඟ මහ ලොකු දේවල් නෙමෙයි. දින්නත් පැරදුනත් ඒකෙන් මහ ලොකු සතුටක්වත් දුකක්වත් දැනෙන්නෙ නෑ මට. ඒත් අළු ඇස් නම් කිව්වෙ,
"Let's win this!" කියලා.හැබැයි එහෙම කිව්ව එකාම තමයි අපිට විනේ කෙටුවෙ. එයාගෙ අතේ තියෙන ඉඳිකට්ටට මං නූල දාද්දි මගේ අත එයාගෙ ඇඟිලිවල ගෑවෙන එක නවත්තන්න බෑ. මං සම්පූර්ණයෙන්ම concentrate කරන්න ඕනෙ චූටි සිදුරක් ගැන නිසා අත් කොහේ ගෑවෙයිද නැද්ද කියන එක ගැන හිතන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒත් නූල ඉඳිකට්ට ලඟටම අරන් ඇවිත් දාන්න ඔන්න මෙන්න තියෙද්දි කරන්ට් වැදිලා වගේ එයා ගැස්සෙනවා මට හොඳටම දැනුනා. එතකොටයි මට දැනුනෙ අපේ අත් ස්පර්ශ වෙනවා නේද කියන එක. ඒක ටිකක් අමාරු හැඟීමක්. මොකද්දෝ හේතුවකට මගේ කන් දෙකේ ඉඳන් රත් වෙනවා දැනෙද්දි, මගේ තෝන් ලණුව මංම තද කරගත්තෙ මේ ඕවා හිතන්න වෙලාවක් නෙමෙයි නිසා.
දැන් දැන් මටත් ඕනෙ දිනන්න.කොහොම හරි ඒ ගැස්සිච්ච පාරට නූල ගියේ පිට. මං ආයෙත් නූල ලඟට ගෙනාවා. එයා ආයෙත් ගැස්සුනා. ආයෙත් ආයෙත් තුන් හතර පාරක් එකම රවුම යද්දි ඇස් උස්සලා මං එයා දිහා බැලුවෙ මේක ඇත්තටම අපි කරනවද, නැත්තම් අද දවසම ගැස්සි ගැස්සි ඉන්නවද අහන්න. ඒත් ඉතින් හිතින් හිතුවට කටින් ඕක අහන්න බෑ මට. එයාගෙ ගැස්සුනේ ඇඟිලි ටික වෙද්දි මගේ ගැස්සෙන්නෙ මොකද්ද කියලා මං ඇත්තටම දන්නෙ නෑ.
හැබැයි මං බලනවත් එක්කම අළු ඇස් හිනා වුනා. ඒ එයා මා එක්ක හිනා වුන පලවෙනිම වතාව. එයාට නලදත් තිබුනෙ නෑ. ඒත් රදනක දත් දෙක ඇවිත් තිබුනෙ ටිකක් උඩට වෙන්න වගේ. ඒ නිසා ඒ හිනාවෙ තිබුනෙ අමුතුම සිරියාවක්. එයා ඇත්තටම මහ පුදුම මනුස්සයෙක්. නිකං සාමාන්‍ය විදියට ඉද්දි හරිම dominant and smart ගතියක් පේන්න තිබුන එයාම, මෙහෙම හිනා වෙද්දි ගොඩාක් cute and friendly විදියට පෙනුනා.
"Shall we..?"
දෙයියනේ! මං මේ මිනිහා දිහා බලාගෙන භාවනා කරලද මෙච්චර වෙලා. එයා හිනා වීගෙනම ඇස් වලින් ඉදිකට්ට පෙන්නද්දි මට අර harry potterට වගේ invisibility cloak එකක්වත් තිබුනා නම් කියලා හිතුනා. මේ මිනිහා ඉන්න තැනක හිටියොත් නම් විනාසයක්!