නමුත් වෛද්‍යවරයා ආග්නට දෑසින් සන් කර පැවසූයේ සන්සුන් වන ලෙසටය.

"මෙයා? ඇයි ඉන්නේ?"

විණාරා විමසන්නේ නොසැලකිලිමත් බැල්මක් ආග්න වෙතට හෙළමින්.  ආග්නනම් උන්නේ වෙනත් ග්‍රහලෝකයකට පැමිණි අයෙකු මෙන්.

"විණාරාට මතක නැද්ද මෙයා ඔයාගෙ කවුද කියලා? පොඩ්ඩක්වත්?"

වෛද්‍යවරයා විමසද්දී ආග්න ඈ දෙස බලාන උන්නේ දෑස් දල්වාන. නමුදු ඇය කළේ හිස දෙපසට සෙලවීම.

"මට කියන්න පුළුවන්ද විණාරාට මෙයා ගැන මතකයේ තියෙන්නෙ මොනවගේ සිද්ධියක්ද කියලා?"

වෛද්‍යවරයා නැවත විමසද්දී විණාරාගේ දෑස් තිගැස්සෙන අයුරු ආග්නගේ නෙතට හසුවූයේ සියුම්ව. ඇය තප්පර කිහිපයක් පමා වී වදන් අමුණන්නට ගත්තේ කල්පනා කර. ඈ හැසිරීම් ඉදිරියේ ආග්නට දැනුණේ කුහුලක්.

"ම්..නිකන් මෙයා.. මෙයා මාත් එක්ක කතාකර කර ඉන්නවා මතකයි..."

විණාරා පවසද්දී වෛද්‍යවරයාගේ දෙබැම මදක් රැළිවූයේ ඉබේම.

"කතාකර කර ඉන්නවා? ආ යූ ශුවර්?"

වෛද්‍යවරයා පවසද්දී විණාරාගේ නෙතට හසුවූයේ ආග්නගේ තියුණු බැල්ම. නමුදු වෙනදා මෙන් ඈ ඒ බැල්ම ඉදිරියේ බිය වූයේ හෝ සැළුනේ නැති අතර නැවතත් නෙතු යොමුවේ වෛද්‍යවරයා දෙසට.

"ඔ.ඔව්..."

වෛද්‍යවරයාගේ නෙතු මගහරිමින් ඇය පැවසූයේ මුසාවක් බව ආග්නට 90%ක්ම විශ්වාස වූවා.

"ම්ම්...පුදුමයි... සාමාන්‍යයෙන් මෙමරි ලොස් වෙන පේෂන්ට්ලට මතක තියෙනේ හිතට ගැඹුරින්ම කා වැදුණු සිද්ධි...

කතාකර කර ඉන්න සිද්ධියක් මතක තිබුණු එකම පේෂන්ට් විණාරාද කොහෙද. හහා..සමහරවිට ඒක හිතට ගැඹුරින් වැදුන කතාබහක් වෙන්නත් පුළුවන්..."

මද සිනහවකින් යුතුව වෛද්‍යවරයා පවසන්නට වූයේ සැහැල්ලු හඬකින්.

"මං හිතන්නේ දැන් විණාරා රෙස්ට් කරන්න ඕනේ...

තනියම ඉන්න බයවුණ එක කලින් ප්‍රශ්නයක් වුණාට දැන් මිස්ටර් ආග්න ඉන්න නිසා ඔයාට පුළුවන් රෙස්ට් කරන්න..."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now