"ආයෙ ඒ වගේ මෝඩ වැඩක් කලොත් අනිවාර්යෙන් උඹට මම කියන්නම්." තේමිය ඇඬුම්බර ස්වරයකින් එයාගේ යාලුවට කිව්වා.

රිස්වාන් එකපාරම තේමියව අතහැරියොත් නැහැ.

යාලුවො දෙන්නට එහෙම ටික වෙලාවක් ඉන්නදීලා නාරද හෙමින්සැරේ රිස්වාන්ගේ කාර්එකේ එකෙ පිටිපස්සෙ ආසනේට ගොඩ උනා.

තේමියගේ අම්මයි තාත්තයි හොඳටම බයවෙලා. නාරදට තිලක් මහත්මයාගේ නාලිකා නෝනගෙයි බයවීම තේරුම්ගන්න පුළුවන්. ඉන්න එකම දරුවා... කොහෙද කියලවත් නොදන්නකොට දෙමවුපියන්ගේ හිතට දැනෙන හැඟීම අනෙක් හැම කාරණාවක්ම යටපත්කරලා දාන්නඇති කියලා නාරදට හිතුනා.

"ඉතිං තේමිය ඇයි අපිට බොරු කිව්වේ?" අන්තිමේදී තිලක් මහත්මයා ඇහුවේ එයාගේ පුතා බොරුවක් කිවුවා කියලා විශ්වාස කරන්නත් බැරි හඬකින්.

නාරද ටිකක් කේන්තිත් ගියා.

ඇත්තටම තිලක් මහත්මයාට හිතාගන්න බැරිද තේමිය ඇත්ත හංගලා බොරුවක් කරන්න නාරදට බලකරේ ඇයි කියලා?

අනෙක් අතට තේමිය එයාලගේ ජීවිතෙන් ඈතටයන්න තීරණය කරන්න හේතුව, දෙමව්පියන්ගේ ආදරය... ආරක්ෂාව... අවශ්‍යම මොහොතකදී ඒ රැකවරණය නැතිවීම කියලා නාලිකා නෝනටයි තිලක් මහත්මයාටයි හිතෙන්න ඇති. දෙන්නම උගත් මනුස්සයෝ... තමන්ගේ අතින් වැරැද්දක් සිද්ධ වෙනකොට... වැරැද්ද වැරැද්දක් හැටියට පිළිගන්න තරම් නිහතමානීකමක් තේමියගේ අම්මගෙයි තාත්තගෙයි ලග තිබීම ගැන නාරද සතුටුවුණා.

තේමිය තමන් ඉන්නතැන දන්වලා මැසේජ් එකක් එව්වට පස්සේ එයාගේ හිතේ එතෙක් වේලාවක් තිබුණු බය යන්තම් අඩුවෙලා යනවා නාරදට දැනුනා.

සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියේ තේමිය ඇස් දෙකෙන්ම දැක්කට පස්සේයි. එච්චර ටික කාලයකදී තේමියට කොච්චර ප්‍රමාණයක් කිට්ටු වෙලාද... ලංවෙලාද... කියලා නාරද තේරුම් ගත්තේ අන්න ඒ මොහොතේදීයි.

නාරදගේ අම්මයි තාත්තයි එතෙක් වෙලාවක් එයාගෙන් වැඩිදුර ප්‍රශ්න අහන්නගියේ නැහැ. ඒ දෙන්නත් තේමියගේ අම්මයි තාත්තයි ගානටම තේමියගැන වදවෙවී හිටියේ. නමුත් නාරද දන්නවා ගෙදර ගියාට පස්සෙ ප්‍රශ්න කෝටියක් ඒ දෙන්නගෙන් තමන්ට ලැබෙන විත්තිය.

පෙම්බර වැද්දාWhere stories live. Discover now