"හැමදේම අවුල් කළේ ඔයාලා.මගෙ ජීවිතේ වටිනම දේ මට නැති කළේ ඔයාලා.මං නාස්ති උනොත් ඒකට හේතුවත් ඔයාලම තමා"

තිහස් කියද්දි වසන්තට දැනුනේ පසුතැවීමක්.මෙච්චර වෙලා කේන්තියෙන් උන්නු තිහස්ගේ හඬ බිඳිලා යද්දී වසන්තට දැනුනේ කියාගන්න බැරි තරමේ වේදනාවක්.ඒත් ඒ අතීතය වෙනස් කරන්න දැන් බෑ.

"කෙල්ලෙක් නිසා බූරුවෙක් වගේ හැසිරෙන්න එපා මිනිහෝ"

එහෙම කියලා වසන්ත තිහස්ට රවාගෙන කාමරේට යද්දි තිහස් කේන්තිය දරාගන්න බැරිම තැන මේසේ උඩ තිබ්බ වතුර වීදුරුවක් පොළවේ ගැහුවේ වීදුරු කෑලි හැමතැනම විසිරෙද්දී.කලබල වෙච්ච බණ්ඩා දුවගෙන ආවේ තිහස් කකුලවත් කපාගනීවී කියලා බයට.

"අනේ තිහස් පුතේ..බලාගෙන කැපෙයි"

බණ්ඩා අඩිය ඉක්මන් කරලා එද්දී තිහස් ඔහු දිහා බැලුවේ හිස් බැල්මකින්.මේ ගෙදර ඔහු ගැන දුක් උනා නම් ඒ බණ්ඩා විතරයි.වෙනදා නම් බණ්ඩාට බනින්න පුලුවන් උපරිම විදියට බැනලයි තිහස් නතර වෙන්නේ.ඒත් හිත බිදිච්ච වේදනාවටම තිහස් කළේ අසල තිබ්බ පඩියකින් වාඩි වෙලා අත් දෙකම ඔලුවේ ගහගත්ත එක.තිහස් ඒ ඉන්න විදිය බණ්ඩාට ගෙනාවේ දුකක්.හැමදාම සැහැල්ලුවෙන් ඉන්න ඔහු ආයෙත් පුරුදු වේදනාවෙන් හෙම්බත් වෙයි කියලා බණ්ඩාට බයක් දැනුනා.

"පුතේ..."

වීදුරු ඇහිදින එක පැත්තකින් තියලා බණ්ඩා තිහස්ට කතා කළේ ඔහුගේ උරහිසට අතක් තියලා.

"අම්මලා තාත්තලා දෙයක් කරනව නම් කරන්නේ ළමයි වෙනුවෙන්.ඒ ආදරේ වැඩිකමටම සමහර වෙලාවට දෙමාපියොත් ආත්මාර්ථකාමී වෙනවා...ඒත්...තිහස් පුතා මෙහෙම නාස්ති වෙන්න එපා.පුතා ආදරේ කළේ අවංකවමනේ.ඒ ආදරේ පුතාට ආයේ ලැබෙයි.මට විශ්වාසයි"

කවදාවත් ඔහු සමඟ එවැනි දෙයක් ගැන කතා කරලා නැති බණ්ඩා ඒ වගේ දෙයක් කිව්වම තිහස්ට පුදුම හිතුනා.තිහස් මුකුත් කිව්වේ නෑ.බණ්ඩා එතන වීදුරු කටු අස් කරනකනුත් තිහස් ඒ විදියටම ඉඳගෙන උන්නේ බණ්ඩාගේ වචන ඇත්තක් වේවා කියලා පතන ගමන්.ඒත් හිතේ කොණක කියාගන්න බැරි තරහක් ඔහුගේ හිතේ ගොඩ නැඟුනේ ගිරිරාජ් එක්ක.වසන්ත ඔහු සමඟ හැමදේම කියලා කියන්න තිහස්ට විශ්වාසයි.ඒ හැමදේම අහලා තමන්ව හිර කරන්න ගිරිරාජුත් දායක උනා නේද කියලා මතක් වෙද්දි තිහස්ට හිතුනෙම පළිගන්න.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now