විසි හත්වන පරිච්ඡේදය| ෂෙන් ච්‍යාඕගේ ඝාතනය කිරීමේ චේතනාව.

92 13 2
                                    


යින්ග් ප්‍රාන්තය තිබුණේ චන්'අන් සිට තරමක් දුරිනි. දුර ප්‍රමාණය බොහෝ දුරට උතුරු ෂෝ හරහා අඩක් ගමන් කිරීම හා සමාන විය. නමුත්, යැන් වුෂිගේ සැහැල්ලු පාද කුසලතාවය සමඟ, දින දෙකකින් එහි පැමිණීම කිසිසේත්ම අපහසු දෙයක් නොවී ය. එබැවින්,යැන් වුෂිගේ පැමිණීම පිළිබඳ ලිපිය ලැබුණු වහාම, යැන් වුෂිගේ වැඩිමහල් ගෝලයා වන බියන් යන්මෙයි, යැන් වුෂි පැමිණි විට නවාතැන් ගත හැකි වන පරිද්දෙන්, අගනුවර තිබූ තම ස්වාමියාගේ වාසස්ථානය බලා ගැනීමට වහාම මිනිසුන් පිටත් කොට යවා තිබුණි.

යැන් වුෂි හට ෂෝ අධිකරණයේ ක්‍රියාකාරී තනතුරක් තිබුණේ නැත. නමුත් ෂෝ අධිරාජ්‍යයාට ඔහු  කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසා ඔහුට ඔටුන්න හිමි කුමරුගේ කනිෂ්ඨ ආචාර්ය ලෙස පදවි නාමයක් හිමි විය. මෙම තනතුරෙහි රාජකාරිය 'ඔටුන්න හිමි කුමරුට සේවය කිරීම' යැයි කියනු ලැබුව ද, ඔටුන්න හිමි කුමරු වන යුවන් යුන්ට, නැගෙනහිර මාළිඟයේ ඔහුටම අනන්‍ය වූ නිලධාරීන්[1]  මෙන්ම ඔහුට ඉගැන්වීම සඳහා විශාරද මන්ත්‍රීවරුන් ද සිටි බැවින් යැන් වුෂිට ඒ සඳහා විශේෂයෙන් කරදර වීමට අවශ්‍ය නොවී ය.

තමන් විසින් යැන් වුෂිව කෙතරම් අගය කරනවාද යන්න පෙන්වීම සඳහා, ෂෝ අධිරාජ්‍යයා විසින් ඔහුට අගනුවර රැඳී සිටින කාලය තුළ ජීවත් වීම සඳහා ස්ථානයක් ලෙස වාසස්ථානයක් පවා තෑගි කිරීමට කටයුතු කොට තිබුණි.

පවිත්‍ර චන්ද්‍ර නිකාය සතුව ප්‍රමාණවත් තරම් මුදල් තිබූ අතර යැන් වුෂිට චන්'අන්වල ඔහුගේම මන්දිරයක් පවා තිබුණි. එහෙයින්, ඔහු කනිෂ්ඨ ආචාර්ය ලෙස හිමි වූ නිවසේ නැවතී සිටියේ කලාතුරකිනි. එහෙයින් අවශ්‍ය සියලුම සේවකයන් හා ගෘහභාණ්ඩවලින් සමන්විත වුවද, එය බොහෝ කලක් පුරා ස්වාමියා නොමැතිව තිබූ බැවින්, එම ස්ථානය මඳක් අවධානයෙන් තොර වූ බවකින් දිස් විය. බියන් යන්මෙයි විසින් එය පිරිසිදු කිරීමට යැවූ සේවකයන් හට යුහුසුළුව එය සකස් කරන ලෙස අණ ලබා දීමට එකම හේතුව වූයේ මෙවර යැන් වුෂි විසින් එවූ පණිවිඩයේ එහි රැඳී සිටින බව දන්වා එය පිරිසිදු කිරීමට විශේෂයෙන් උපදෙස් ලබා දී තිබූ බැවිනි.

සහසක් සරාසඳ ᵗʰᵒᵘˢᵃⁿᵈ ᵃᵘᵗᵘᵐⁿˢ ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿWhere stories live. Discover now