10. පුනරුත්පත්තිය නවවන කොටස

Bắt đầu từ đầu
                                    

එක් අතක් කලිසම් සාක්කුවේ රුවාගෙන, අලස ලෙස පියමනින ඔහු වෙතින් දිස්වූයේ තරමක නොසැලකිලිමත් හා අපිළිවෙළ බවක් වුවද, ඒ ගමන ඔහුට ගෙන දුන්නේ චිත්තාකර්ෂණීය පෙනුමකි. ඔහු, ශෝභන පිල් කළඹ විහිදා,  සරාගී චලනයන්ගෙන් යුක්තව රතී රංගනයේ යෙදෙනා මොණරෙකු වැනිය.

තරුණයා ඈතට ඇවිද ගියවිට මඳක් සන්සුන් වූ ශෙන් වෙයි, චාඕ යුන්ලාන් දෙස ගැඹුරු, නමුත් විවෘත බැල්මකින් බලාසිටින්නට විය. අවසන් වතාවටත් එදෙස බැලූ ඔහු ආපසු හැරුණේය. නමුත්, අඩි කිහිපයකට පසු නැවතත් එදෙස බැලූ ශෙන් වෙයිගේ නෙත ගැටුණේ, අනෙකාගේ පිටවීමෙන් හිස්වූ කොරොඩෝව පමණි.

ඔහුගේ දුරකථන නාමාවලියේ නව අංකයක් දිදුලන්නට විය: ආදරණීය ආමන්ත්‍රණයක් 'ආ ලාන්'. එම නාමය මිමිණූ ඔහුට දැනුණේ, සිය හදවතේ මෘදුම ස්ථානය පසාරු කළ කිණිස්සක්, එය සෙමෙන් තුවාල කරනවා වැනි වේදනාවකි.

සිය ඇඟිලි ඉහළට එසවූ ශෙන් වෙයි, ඒවායෙහි තවමත් තැවරී තිබූ විලවුන් සුවඳ ආඝ්‍රාණය කළේය. දෑස් වසාගත් ඔහු ගැඹුරු හුස්මක් ගෙන සිය හදවතේ ගැස්ම පාලනය කිරීමට උත්සාහ දැරුවේය.

චාඕ යුන්ලාන් භාවිතා කළේ කුමන වර්ගයේ විලවුන් දැයි ඔහු දැන නොසිටියද, එහි සුවඳ ඔහුගේ මනසේ තැන්පත් විය. ඔහු වසර ගණනාවක් ඒ පිළිබඳව සිහින දුටුවාක් මෙන් ඔහුට එය ඉතාමත් හුරුපුරුදුය. ඒ අවටින් නැඟුණු එකම ශබ්දය වූයේ වියලුණු කොළ කිහිපයක් බිම පතිත වීමෙන් නැඟුණු සර සර නාදය පමණි. නිහඬව සිටගත් ශෙන් වෙයි, පසුගිය දිනවල සිදුවූ සිදුවීම් පිළිබඳව සිතා බලන්නට විය. දිගු වේලාවකට පසු, ඔහු තමා වෙතටම උපහාසාත්මක සිනහවක් පා, ඉක්මන් ගමනින් පිටවී ගියේය.

පොළොව දෙසට යොමු කළ ඔහුගේ නෙත්වල වූ කනස්සල්ල කෙමෙන් පහව ගොස්, ඒ වෙනුවට දුෂ්ඨ බවක සේයාවක් මතුවිය. ඔහුගේ මුහුණේ වූයේද කිසිදු දයාවකින් තොර බැල්මකි.

******

ගුවෝ චංචෙංග්ට තරුණියගේ පසුබිම පිළිබඳව විමර්ෂණය කිරීමේ කාර්යය පැවරුණු පසු, ඔහු තමා විමර්ෂණය කළ යුත්තේ කුමන ආකාරයේ පසුබිමක්දැයි සොයාගැනීමට වෙහෙසුණේය. ඔහුට හැකිවූයේ මිනිසුන් කිහිප දෙනෙකු සමඟ ගොත ගසමින් කතා කිරීමට පමණි.

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ