නාලා ආව ගමන් උඹ යුනිෆෝම් එක අදින්න අතට ගන්නවා.. මං ඒ වෙනකොට මැදල තියල තියෙන නිසා උඹට තියෙන්නෙ අදින්න ගන්න විතරයි.. උඹේ කළු පාට පෝලෝ ෂර්ට් එකයි හමගිය ඩෙනිමයි.. උඹේ යුනිෆෝම් එක.. උඹට කොහොමත් මට වගේ ෂර්ට් දහයක් දොලහක් නෑ.. උඹට තිබුනෙ ෂර්ට් හතරයි.. ඩෙනිං දෙකයි.. උඹ ආසම පාට ලා නිල් උනාට ඇන්දෙම කළු පාට.. කළු පාට උඹේ ලකී කලර් එකලු.. වෙන්නත් ඇති සමහරවිට..නැත්තං දුඹුරු පාටට හුරු උනත් කළු ගැහුණු උඹට කිරි පාටට ඉන්න මං පිස්සු වැටුණේ කොහොමද.. මං බෝඩිමට ආව දවසෙ ඉදල හෝදලා මැදල දුන්නට.. උඹ කලින් එක දවසක්වත් රෙදි හෝදල මැදල ඇන්දෙ නෑ කියල නිලමෙයා මට කිව්වා.. උඹ මහ අපිළිවෙල මිනිහෙක්.. උඹ පිළිවෙළකට කලේ එක වැඩයි..
ඒ තේ හදන එක..
යුනිෆෝම් එක ඇදගෙන උඹ බැම්මෙන් වාඩි වෙලා පාං තුංකාල හොදි දීසියෙ ඔබාගන්නවා.. දීසියක් පිරෙන්න හොදි හැදුවට මං හැමදාම කෑවෙ නිකං පාං.. ඇයි ඉතිං උඹ අමුඩයක් ගහගෙනම හොදි එකේ බහිනවනෙ.. මං කෑවද කන්නෙ කොහොමද කියල උඹ අහන්නෙ බලන්නෙ නැති උනාට දඩිබිඩියෙ පාං කෑල්ල කාලා දීසියෙ පාං වාටි කෑල්ල උලල උලල කටේ ඔබං කහට ජොග්ගුවක් වක්කරනවා.. බෙලෙක් කෝප්පෙන් එකක් කහට වක්කරං මගෙ මග් එක පුරවනවා.. මට පාං පොගවන් කන්න..
උඹ අදටත් දන්නෙ නෑ මට පාං කහට එකේ පොගවං කන එක පෙන්නන්න බෑ වමනෙට එනවා කියල.. උඹ දෙන නිසා අහක දාන්න බැරි හින්දා කිරිමැටි වගේ ගිල්ලා කියල.. ඉතුරු කහට ටික බෙලෙක් කෝප්පෙම තියං උඹ බැම්මෙන් වාඩි වෙන්නෙ කලබලෙන් නැගිටින කොළඹ දිහා බලන ගමන්.. සීනි බින්දක් අල්ලට අරං උඹ අහසයි පොලවයි වෙන්වෙන්නෙ හා වෙන්නෙ නැති කෙලවර දිහ බලං ඉන්නව.. තේ කහට පාට ඇස් දෙක කොළඹ කාක්කො හංසයො කරන සෙල්ලම දිහා උපේක්ෂාවෙන් බලං ඉන්නවා.. ඔව්.. උදේ වගේ තද තේ මණ්ඩි පාටක් දැං ඒ ඇස් වල නෑ.. දැන් තියෙන්නෙ මහන්සි පාට ගනං නොගන්න පාට තේ කහට පාට ඇස් දෙකක්..
හැබැයි තාමත් උඹ ලග කිරිකෝපි සුවදයි.. බැම්මෙන් වාඩි උනාම දුවල ගිහින් පස්සෙන් බදාගෙන ඉඹින්න හිතෙන තරං කිරිකෝපි සුවදයි..