සන්තානේ - දෙහදක් 2
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
💜️53 කොටස💜️
"නැන්..දී..."
හවස සැලෝන් එකේ ඉඳලා ඇවිත් අහිංසා ගෙදරට අඩිය තියද්දිම ඇයට ඇහුනේ චූටි අකේන්ගේ කටහඬ.වෙනදා වැටි වැටි ඇවිදපු අකේන් හොඳට දුවගෙන එනවා දකිද්දි අහිංසා දෙනෙත් විසල් කරගෙන ඉස්සරහට නැමීගෙන ඔහුට අත දික්කලේ සතුටින් සිනාසෙන ගමන්.
"ආ..නේ...මගේ චූටි...බට්ටා ඇවිත්.."
අකේන් දුවගෙන ඇවිත් අහිංසාගේ කරේ එල්ලෙද්දි ඇය එහෙමම දණ ගහගත්තා.මාධව සහ විහාරා ගෙදර එනවා කීවාට ඇයට ඒ ගැන සිහියක් නොතිබ්බ තරම්.ඒත් ඊට වඩා ඇය පුදුම උනේ අකේන් හොඳට ඇවිදිනවා දකිද්දී.
"නැන්දී.."
"මගෙ සංකුට්ටා නැතිව පාලුවෙන් උන්නේ.."
අහිංසා අකේන්ව වඩාගෙන වටයක් දෙකක් කැරකුනේ ඔහුගේ සිනිඳු කම්මුල් තදින් සිපගනිමින්.ඒ එක්කමයි විහාරාත් චාන්‍යා එක්ක ගේ ඇතුලේ ඉඳන් ආවේ.අහිංසාට පසුපසින් ආව කේශව ව දැක්ක අකේන් මූණ හංඟගත්තේ ඔහු කවදත් කේශවට වැඩිය එකතු නැති නිසා.
"ආහ්..මේ ඉන්නේ පොඩි චෑම්ප්...චණ්ඩි කොල්ලා දැන් බෝල්ට් වගේ දුවන්නේ..කෝ එන්න..බාප්පි අතට"
කේශව අත දිග කරලා ළං වෙද්දී අකේන් අහිංසාගේ බෙල්ලේ එල්ලුනේ යුවතියන් තිදෙනාම සිනාසෙද්දී.
"තමුසෙට මේ කොල්ලත් කැමති නෑ පොඩි අයියේ..ඔහොම ගහගන්න වගේ කතා කරද්දී පොඩි උන් බය වෙනවනේ.."
"අනේ මේ..මට නළවන්න තේරෙන්නේ නෑ.කොල්ලා....චොකෝ දෙන්නම්...එනවද?"
අකේන් ලැජ්ජාවෙන් උගුරෙන් අමුතු හඬක් නංවමින් කෙඳිරි ගාමින් ප්‍රකාෂ කලේ ඔහුගේ අකැමැත්තයි.
"මේක නම් බලන් ඉඳලා හරියන්නෙ නෑ නංගි..ඉක්මනට දරු සුරතල් බැලුවොත් නරකද?නැත්තම් මගෙ කොල්ලා බය වෙලාම ඉවරයක් නැති වෙයි"
විහාරා කියද්දි චාන්‍යා හිනා උනේ ලැජ්ජාවෙන්.දරුවෙක්ට දෙන්නාම ආසයි.ඒත් අවුරුද්දක් යනකන්වත් ටිකක් නිදහසේ ඉන්න ඕනේ කියලා බඳින්න කලින්ම කතා කරගත්ත නිසා චාන්‍යා ඒ ආසාව හිතේම තියන් උන්නා.
"අපි දෙන්නා ඒ ගේම් එකට යතා කාලේදි තතා අයුරින් එන්ට(ර්) වෙන්නම්...මේකට නංගියෙක් හරි මල්ලියෙක් හරි අරන් ආවා නම් හරිනේ අයියට කියලා"
කතාව විහාරා පැත්තටම හරවපු කේශව පොඩි එකාව බලෙන්ම ඉඹලා කාමරේට ගියේ විහාරා ඔහුට ඇද කරද්දි.චාන්‍යා නම් උන්නේ මූණ හංඟගෙන.අමුතු හැඟීමක්,බලාපොරොත්තුවක් හිතේ තෙරපෙන්න ගත්ත නිසාම ඇය උන්නේ ඒ ගැන හිත හිතමයි.තමන්ගේ කුසේ කේශවගේ ලේ කැටියක් පණ ගැහෙන හැටි ඇය හීන මවමින් ඉඳ්දී අහිංසාගේ හඬින් ඇය පියවි සිහියට ආවා.
"නැන්දි වොශ් දාන් එන්නම් හොඳේ..අද නිදාගන්නකන්ම සෙල්ලම් කරමු..කෝ..බහින්න"
පුංචි අකේන්ගෙ මුවින් අපැහැදිලි හුරතල් වදන් ගොන්නක් නික්මෙද්දී විහාරා ඔහුව වඩාගත්තා.ඊළඟ නිමේශයේ අහිංසා උඩු මහලට ගියේ සාරංගටත් ඇමතුමක් ගන්න ඕනෙ නිසා.
........💜️........ RITHU SAKURA .......💜️........
වෙනදට වඩා පිරිසකගෙන් පිරුණු කෑම මේසය දකිද්දි නම් කාටත් වඩා සතුටින් උන්නේ පුංචි අකේන්.ගිරිරාජ්ගේ ඔඩොක්කුවට වී ඔහු සමඟ නිහඬව ආහාර ගන්නා අකේන් දිහා මාධවයි විහාරායි බලන් උන්නේ පුදුමයෙන්.වෙනදට කවාගන්න විඳින වදෙන් දශමයක්වත් අද ඔවුන්ට නෑ.
"හැමදාම අප්පච්චිව ළඟ තියාගත්තා නම් හරි..බලන්නකෝ අද සද්ද බද්ද නැතිව කන ලස්සන..."
මාධව කියද්දි ගිරිරාජ්ගේ මුහුණේ ඇදුනේ සිහින් සිනාවක්.
"හැමදාම තියලා ගියත් කමක් නෑ.මම හදලා ගන්නම් ගාණට..."
ඔහු අකේන්ට කෑම පිඟාන තනියම හසුරුවන්න ඉඩ දෙමින් කියද්දී මාධවටත් හිතුනේම ටික කාලයක් බදුල්ලට වෙලා ඉන්න.
"මාලිලා හෙටම පේරාදෙණි යනවද?"
ඒ අතර ගිරිරාජ් ඇහුවේ ප්‍රීතිමාලිගෙන්.
"ඔව් අයියේ..සේන එන්න තව ටික දවසක් යාවි.එයා ආවම අයියලත් එක්ක ශීන් දුවගෙ ගෙදර යන්නයි ඉන්නේ..ලබන අවුරුද්දෙ දෙන්නව එකළාසයක් කරලා මායි සේනයි අම්මා ළඟට වෙලා ඉන්නයි කල්පනා කළේ.."
ඇය කියද්දී කාටත් වඩා බලාපොරොත්තු දැල්වුනේ චාන්‍යාගේ.සියලුම නෑදෑයන්ව නැවත මුණ ගැසෙන්න තියෙනවා නම් ඇයට ඊට වඩා දෙයක් නෑ.ඇගේ දෙනෙත් දිලිසෙන අයුරු ඇයට එහා පසින් සිටි කේශවත් දැක්කා.කාටවත් නොපෙනෙන්න ඇගේ අතක් මිරිකූ කේශව චාන්‍යාට රැව්වේ ඇය සිනහව වළක්වා ගද්දී.
"ඒක හොඳයි..තවත් කල් යවන්න එපා..මතීශට වයස තිබ්බට ගෑණු දරුවෙක්ගෙ හොඳම වයස පහු වෙන්න නරකයි.."
මෙතරම් දවස් අහිංසා ගැනම හිතේ වද දෙමින් තිබූ කාරණය ශීන් ගැන කියන විදියට ව්‍යංගයෙන් ඔහු කියද්දී අහිංසා හොරැහින් බැලුවේ ගිරිරාජ් දිහා.
"ඔව්..දුවත් පුතාගෙ වයසෙමයි.ඉතින්..ඒකමයි අපිත් හිතුවේ තවත් කල් නොඇර ඊළඟ අවුරුද්දෙ මුලම දෙන්නව බන්ඳන්න"
"හ්ම්ම්...ඕන උදව්වක් මං කරන්නම්.සේන ආවම මං ඒවා කතා කරගන්නම්..ඔයාලා නම් ඊට පස්සේ නිදහස්..දැන් මම විතරයි ඉතුරු..."
ගිරිරාජ් අහිංසා දිහා බලලා කියද්දි අහිංසාට එකපාරටම කැස්සක් ආවේ සියලු දෙනාම සිනහව හංඟගද්දී.
"මේකිව බන්ඳන්න වෙන්නේ ඉතින් ගහකට තමා.."
මාධව කිව්වේ අහිංසාගේ ඔලුවට පාරක් ගහලා.ඇය චාන්‍යා දිහා බලලා කෑම පිඟානට එබුනා.සාරංග ගැන නොදැන හැමෝම අහිංසාගේ කසාඳෙ ගැන කතා කරද්දි ඇය ඉන්නේ ගොඩක් අසරණව කියලා චාන්‍යාට තේරුනා.
"නෑ නෑ..ගස් නෙමේ හොඳ අත්තක් අල්ලන් ඉන්නේ කියලා නම් මට තේරිලා ඉවරයි..තමුසෙ බලනවකෝ අයියේ..මේකි දැනටම අපි ඔක්කොගෙම කනෙන් රිංඟලයි ඔය ඉන්නේ"
මාධව කිව්ව දේට කේශව ප්‍රතිපිළිතුරු බඳිද්දි ඇය ඔවුන් වෙත පා කළේ සීතල බැල්මක්.
"ආ..ඒක එහෙම නම් මස්සිනාව ඉක්මනට අඳුන්නලා දුන්නොත් නරකද?"
චාන්‍යා නම් උන්නේ ඒ කතාවට හිතෙන් හිනාවෙමින්.ඇත්තටම අහිංසා පෙමින් වෙලිලා ඉන්නේ සාරංග එක්ක කියලා දැනගත්ත දවසක සහෝදරයන් දෙදෙනාගේ මූණවල් වල ඇදෙන පුදුමය දකිනකන් චාන්‍යාට නම් ඉවසීමක් නෑ.ඒ ගැන හිතමින්ම හිතේ ඇඳි හිනාව නිකම්ම මුව අගටත් එද්දි එය දුටු අහිංසාටත් ලාවට හිනාවක් නැඟුනා.
"ආ..අන්න...අන්න...දැක්කද?දාපු හිනාවෙන්ම තේරෙනවා මොකක් හරි හොරයක් තියෙනවා කියලා..ඔහොම යමුකෝ නංගී..මේ අයියලා දෙන්නට ඒකව අහු වෙන දවසක් ඒවිනේ.."
කේශව තව තවත් අහිංසාව අපහසුතාවයට ලක් කරද්දී අහිංසා කේශවගේ කකුලකට පාරක් ගැහුවේ දෑසින් සිය පියාව ඉඟි කරමින්.නමුත් සැවොම ඉදිරියේ ඇයව අසරණ කොට කේශව ලැබුවේ පුරුදු තෘප්තියමයි.
"බෝයි කෙනෙක් හිටියත් මොකද නේද දුව??දැන් මේ කෙල්ලගෙ වයසත් හරිනේ...ආයේ ඉතින් අයියලගෙන් අහ අහ ඉන්න ඕනයෑ...එහෙම ඉතින් අයියලට කිය කියම යාලුවෙන්න ගියා නම් ඔයාගේ මේ පොඩි අයියත් තාම තනිකඩයා තමා"
ප්‍රීතිමාලි සුහද සිනාවකින් කිව්වේ අහිංසාට සහය වෙමින්.මතීශගෙයි කේශවගෙයි පරණ කෝන්තර මතක් කරමින් ප්‍රීතිමාලි කියද්දි අහිංසා කේශවට දිව දික් කර ඇද කළේ චාන්‍යාට හයියෙන් හිනාවක් නැඟෙද්දී.
"මුලින්ම අයියගෙන් ඉල්ලුවා නේන්නම්..අම්මට මේ දූ පොඩ්ඩ ඒක කිව්වෙ නැද්ද?"
කේශවත් ඇහුවේ විහිලුවෙන්.
"මං අවසර නුදුන්නා නම් උඹට හුළං තමා මස්සිනේ"
මතීශ කියූවට කට කොණකින් හිනාවක් නැඟූ කේශවට සිහි උනේ මතීශ මුලින්ම ඔහුගේ හිතේ තිබූ දේ දැනගත්ත දවස.එදවස ඔහු සිටියේ මතීශ සමඟ පරණ කේන්තියෙන්මයි.ඒත් කාලයත් එක්ක ඒ හැම බැඳීමක්ම සුන්දර විදියට වෙනස් වෙලා.අලුත් වෙලා.
"ඒ මොනා උනත් කමක් නෑ..ඔන්න අප්පච්චි..මං හැමෝම ඉන්න තැනමයි මේ කියන්නේ..මෙයා හොර කිකිළි වගේ උන්නට කාවහරි සෙට් කරගෙනයි ඉන්නේ..මට හූනා කිව්වා වගේ කිව්වෑකි...බලමුකෝ..මං සාරංගයටත් කියලා තියෙන්නේ මෙයා ගැන ඇහැ ගහන් ඉන්න කියලා.."
අහිංසාගේ මුවින් නැවතත් කැස්සක් පැන්නේ කේශව ඒ කිව්ව දේට.හිනාවෙන්නද අඬන්නද කියලා නොතේරෙද්දි ඇය කැස්ස වාවගත්තේ ඇහෙන් කඳුලුත් පනිද්දි.විහාරා නැඟිට ඇගේ පිට අතගෑවත් එය නම් අහිංසාට සහනයක් උනේ නෑ.ඇය කේශවව දවා අලු කරවන බැල්මක් හෙලද්දී ඔහු කවට සිනාවක් පා කළේ හරියට ලොකු දෙයක් කළා වගේ ජයග්‍රාහී හැඟීමෙන්.ගිරිරාජ්ගේ අවධානය අහිංසා මතම තියෙද්දී අහිංසා නම් හැමෝගෙන්ම දෙනෙත් සඟවගෙන කෑම පිඟානටම දෙනෙත් යොමාගෙන උන්නේ බොහොම අපහසුවෙන්.
........💜️........ RITHU SAKURA .......💜️........
පසුදා උදෑසනම අහිංසා උන්නේ තුශාරි එක්ක එකතු වෙලා පේරාදෙණි යන්න ලෑස්ති වෙන චාන්‍යාලගේ අතේ යවන්න ඇය ඇගේ අතින්ම සාදා සකස් කළ සිංහල අච්චාරු බෝතලයකුයි අඹ මාලුවකුයි බාජනයකට දාන ගමන්.එහෙ යන්න ඇයටත් ආසාවක් ආවත් ඊටත් වඩා ඇය සාරංග එක්ක නිදහසේ කාලය ගෙවන්න ප්‍රිය කළා.කේශවත් ඔවුන් සමඟ යන නිසා අහිංසා නම් උන්නේ ගොඩක් සතුටින්.චාන්‍යාව සොයා ගිය අහිංසා ඇය සැකසූ ආහාර මල්ල ඇය අතට දුන්නේ ධීරවංශගේ දියණියන්වද ආදරයෙන් මතක් කරන ගමන්.ඔවුන්ගෙන් සමුගෙන පියල් සමඟ පිටත් වූ අහිංසා සැලෝන් එකට ගියේ සාරංගට කෙටි පණිවිඩයක් යවන ගමන්.පියල් ඉන්න නිසා ඇයට නිදහසේ කතා කරන්න බැරි උනත් බලාපොරොත්තු රහිත උනු විදියට සාරංගගෙන් ඇමතුමක් ආවා.
"හෙලෝ..."
"ඔයා එන ගමන්ද?"
"ඔව් අයියේ..තව විනාඩි දහයෙන් පහෙන් සැලෝන් එකේ..පියල් එක්ක එන්නේ..අද අයියලා චානුලගේ අම්මලා එක්ක පේරාදෙණි යනවා.."
ඇය ඇහුව දේටත් වඩා පිළිතුරක් සැපයූයේ පියල් ඉන්න නිසාමයි.ඒත් ඔහු ඒ ඇමතුමට සවන් දෙන බවක් පෙනුනේ නෑ.
"ඔහොම්මම මෙහෙට එනවද?"
"මේ දැන්??ඇයි මේ වෙලාවේ?"
සාරංගගේ හඬේ වෙනසක් ඇයට දැනුනේ ඒ වෙලාවෙයි.අනික උදෙන්ම සැලෝන් එකටත් නොයා ඔහුගේ නිවසටම අඬගහන්න තරම් හේතුව ඇයට වැටහුනේ නෑ.
"තව ටිකකින් අරයා එනවලු මෙහෙ ශූට් එක ගැන කතා කරගන්න.මාත් එක්ක සැලෝන් එකට එන්නම්ලු.මට බෑ ඔය එක එකාව එක්කන් එන්න.ආවොත් දවසම ඉන්න බලයි.තමුසෙ මෙහෙ උන්නොත් කතා කරගන්න ඕන දේවල් ඉවර කරගෙන තමුසෙත් එක්කම නිදහසේ ආවෑකි.."
සාරංග ඒක කියපු ස්වරූපෙට ඇයට ඇත්තටම ඔහු ගැන දැනුනේ අනුකම්පාවක්.
"එතකොට මුතූ?"
"එයාට මැසේජ් එකක් මං දැම්මා.මෙහෙන් එනකොට එයාට මඟට ඇවිල්ලා ඉන්න කියමු"
ඔහු සියලුම දේ සැලසුම් කරන් උන්නු නිසා අහිංසා ඊට විරුද්ධව මුකුත් කියන්න ගියෙ නෑ.පියල්ට කෙටියෙන් විස්තරය පැවසූ අහිංසා සාරංගගේ නිවස දෙසට ධාවනය වෙන රිය තුළට වී සිටියේ ලොකු කල්පනාවක.ශාදි ආවම ඇය සාරංග වටේම දැවටි දැවටි ඉන්න බව නම් ඇයට විශ්වාසයි.ඒ දේවල් ඉවසගෙන බලන් ඉන්න විදියක් ඇයට තේරුනේ නෑ.ඊරිසියාවෙන් පිපිරෙන්න වෙයි කියලමයි අහිංසාට හිතුනේ.
........💜️........ RITHU SAKURA .......💜️........
වාහනෙන් බැස පියල්ව පිටත් කළ අහිංසා ගේට්ටුව විවර කරගෙන සාරංගගේ නිවස දෙසට පියමං කළේ දැනටම ඉස්තෝප්පුවට වී ඉන්නා මිහිරානි සහ මාලක වෙතට සිනහවක් පාමින්.ඇගේ අනපේක්ශිත පැමිණීම හමුවේ මිහිරානි සිටියේ පුදුමයෙන්.
"ආනේ..මේ අහිංසා දුවනේ..මේ වෙලාවේ මෙහෙ?"
ඇය කිව්වේ අත රැඳි බෙහෙත් පොට්ටනිය පසෙකට කරමින්.
"ආ..හරි වැඩක්නේ..සාරංග අයියට විතරද පුලුවන් ඕන වෙලාවක අපේ ගෙදර එන්න???මටත් පුලුවන් මෙහෙ ඕනම වෙලාවක ඇවිත් යන්න..හ්ම්ම්ම්..."
බොරු නෝක්කාඩුවක් පාමින් ඇය හුරතලේට කතා කරන දිහා මාලක බලන් උන්නේ සෙනෙහසකින්.ශාදි තරමටම නැතත් අහිංසා තුළින් මැවුනේ හරිම චාම් ලස්සනක්.කුසුම්ගේ පෙනුම මෙන්ම ස්වභාවික පියකරු බවක් ඇගෙන් දිස් උනේ ශාදිට වඩා වෙනස්ම ලස්සනක් මවමින්.ශාදි ගැන පැහැදීමක් නැති නිසාමදෝ මාලකට අහිංසාව දැනුනේ ඇගේම කෙනෙක් විදියට.
"අනේ මං ඉතින් එහෙම දෙයක් කියන්න හැදුව නෙමේ..වෙනට ඉතින් දූ මෙහෙ තනියම එන්නෙම නැති තරම්නේ.."
"ඔයාලගෙ පුත්‍ර රත්නය තමා සැලෝන් නොයා කෙළින්ම මෙහෙ එන්න කිව්වේ..ශාදිගෙ ශූට් එක ගැන කතා කරගන්න"
එහෙම කියද්දි නම් මිහිරානිගෙ මූණ එළිය වැටුනෙත් මාලකගෙ මූණ අඳුරු උනෙත් බලන් ඉන්නැද්දී.
"ආනේ..එහෙමද?ශාදි දුව කිව්වා මෙහෙ එනවා කියලා..මං හිතුවෙ දෙන්නම සැලෝන් එකට යාවි කියලා"
ඊට පිළිතුරක් දෙන්න බැරිව අහිංසා හිනාවක් පාද්දි නිහඬබව බින්ඳේ මාලකයි.
"කොහෙ ඕවා කතා කළත් මොකද?වැදගත් දෙයක් නෙමේනෙ කොහොමත්.අපරාදේ මේ දරුවගෙ කාලය..තාමත් එළියට වෙලා ඉන්නෙ නැතිව යමු දුව ඇතුළට..අයියා නම් කාමරේ ඇත්තේ..එයා එනකන් තේ එකක් බොමු"
මාලක වහෙන් ඔරෝ කියන්න තියෙන ඔක්කොම ටික කියද්දි අහිංසාට එය තේරුනත් කිසිවක් අඟවන්නෙ නැතිව උන්නේ මිහිරානි එයින් අපහසුතාවයට පත් වෙච්ච නිසා.
"අහ්..ඇතුළට යමු අහිංසා දුව..මං ඉක්මනට ඇඟපත ටිකක් හෝදන් එන්නම්.බේත් ගඳත් ඇති මං ගාව.."
මිහිරානි ඉක්මනින් බේත් පොට්ටනිය රැගෙන නිවස තුළට යද්දි අහිංසා බැලුවේ මාලක දිහා.ඔහු උන්නේ අත් වාරුව ඔහු දෙසට ගන්න ගමන්.සැළකිය යුතු මට්ටමක ගුණයක් තිබුණු නිසා ඔහු දැන් රෝද පුටුව අයින් කළත් කිහිලිකරුවෙන් තනියම යන්නෙත් ගොඩක් ප්‍රවේසමෙන්.
"පරිස්සමින් අන්කල්"
"එපා දුව..ඔයාගේ ඇඳුමත් බේත් ගඳ ගහයි.."
"අනේ ඕක මොකක්ද අන්කල්?එහෙම බේත් ගඳක් එන්නෙ නෑ මට නම්.මේ පඩිය දෙක නඟින්න විතරක් හෙල්ප් එකක් දෙන්නම්කෝ...ඊට පස්සෙ අන්කල් තනියම යන්න"
ඇයට සිනාසුනු මාලක ඇගේ උදව්වෙන් ආලින්දයට පිවිස හෙමින් හෙමින් කිහිලිකරුව හසුරුවමින් කාමරයට යද්දි ඇය එදෙස බලාගෙන සිටියේ ඔහු වැටේවි යැයි බියෙන් වගේ.සාරංගගේ කාමරයට යාම නුසුදුසු නිසාම ඇය ඔහුට ඇමතුමක් ගත්තත් ඔහු එයට පිළිතුරු දුන්නෙ නෑ.කොයි මොහොතක හෝ ඔහු පහළට ඒවි යැයි සිතුනු අහිංසා මිහිරානිට වද දෙන්න බැරි නිසාම මුළුතැන්ගෙට ඇදුනේ හැමෝටම තේ හදනවා කියලා හිතන්.විදුලි කේතලයට වතුර රත් වෙන්න තබා අහිංසා කෝප්පයකට ඉඟුරු හා තේ කොළ දමා සීනි බෝතලයද ළං කර ගත්තේ හෙමින් ගීතයක්ද මුමුණමින්.ඉන්නේ කොහෙද කියන එකත් ඇයට මොහොතකින් අමතක උනේ ඇගේ තාලයක් නැති ගායනය තරමක් උස් හඬින් පිට වෙද්දී.ඒ අතරේ ඇය කෝප්ප හතරක් අරගන්න අනිත් පැත්ත හැරෙද්දීම තිගැස්සුනේ දෑත් බැඳන් පැන්ට්‍රියට හේත්තු වී සිටින රුව දැකලා.නොදැනීම ඇගේ අතක් පපුවට ගියේ තාමත් ඒ ගැස්ම හිතේ තියෙද්දී.
"අම්මෝ..මං බ...අහ්..."
නෑ.ඇයට එය කියලා ඉවර කරන්න උනේ නෑ.ඇය දෙසට අමුතුවට බලන් උන්නු සාරංග ඇයව තමන් ළඟට ඇදලා අරගෙන ඇයව තම ගතටම තද කරගත්තේ ඇගේ මුලු මුහුණුම රතු වෙද්දී.
"සාරංග..අයි..යේ..."
"මේ ගෙදර උඩ පැන පැන නැටුවත් කමක් නෑ මැණික...බල්ටි ගැහුවත් කමක් නෑ..හැබැයි සිංදු නම් කියන්න එපා...ඒවා අහන් ඉන්න අමාරුයි"
සිනහවක් සමඟින් සිහින් කෙඳිරියක් පරිද්දෙන් සාරංග කිව්වේ ඔහුගේ දෙතොල් ඇගේ සවනතක් මතින් එහාට මෙහාට ගෙනයමින්.රැවුල් ගස් සමඟින් සවනට දැනෙන කිතියට ඇකිලුනු අහිංසා තම දෑස් අද්දරම පේන ඔහුගේ දෙනෙත් දිහා බැලුවේ උණුසුම් හැඟීම් යටපත් කරගනිමින්.ඒ දෙතොලේ තියෙන්නේ සරදම් සිනහවක්.
"මං තරහයි"
එවර නම් සාරංගට හයියෙන් හිනා ගියේ අහිංසා ඔහුව තල්ලු කර මූණ අකුලුවා ගද්දි.
"ඉතින් ඇත්තනේ බං කිව්වේ??කේශවයගෙ නංගි කියලා කියන්නවත් බෑ ඒ අල්ලපු තාලේ හැටියට...මොකක්ද ඒ??අමුතුම රාගයක්ද?"
ඔහුගේ කවටකම් වල නම් ඉවරයක් නෑ.අහිංසා දෑත් බැදගෙන ඔහු හිනාවෙන දිහා බලන් උන්නේ හොඳටම රවමින්.තමාගේම ආදරවන්තයා ඒ වගේ දේකට හිනාවෙන අයුරු අහිංසා බලන් උන්නේ නොපහන් සිතින්.
"හිනාවෙන හැටි විතරක්...කිව්වත් වගේ අමුතුම රාගයක් තමා ඒක..ඒකේ නම තමා සාරංග..ඒකයි එච්චර කැතට කියවුනේ.."
අහිංසා ඔහුට ගස්සගෙන තේ කෝප්ප ටික ගන්න යද්දි සාරංග පපුවට අත තියාගත්තේ ඒ වචන වලට හිත රිදුනා වගේ පෙන්නන ගමන්.
"අහ්..ඒකට නම් හිත රිදුනා මැණික..ඒත් හැබැයි..."
සාරංග අහිංසාගේ මැණික් කටුවෙන් අල්ලගෙන ඇයව මුහුණ අසලටම ළං කරගත්තේ දඟකාර හිනාවක් මුව මත රඳවගෙන.
"මේ රාගේ තරම දැනගත්ත දවසක ඔය නෝනා හාමුට තමා ඉතින් ගොඩක්ම රිදෙන්නේ.."
ඔහුගේ වදන් හමුවේ දෙනෙත් විසල්ව බලන් උන්නු අහිංසාට ඊට දිය යුතු පිළිතුරක්වත් සිහියට ආවේ නෑ.අහිංසාගේ මුළු ගතම විළියෙන් රතු වෙද්දී මෙවැනි කවටකම් වලට ඇගේ ආධුනිකබව වගේම අහිංසකබව ඉදිරියේ ඇය ගැන සෙනෙහසක් දැනුනු නිසාම සාරංග ඇගේ නළලත මත සියුම් සිපුමක් තැබුවේ ඇයව තවත් අපහසුතාවයට පත් නොකර.
"මං කේශවයට කෝකටත් කෝල් එකක් දීලා එන්නම්.ඔයාව බලාගන්න ඩියුටිය පොර මටනේ භාර දුන්නේ"
ඇසක් ඉඟි මරමින් සාරංග මුලුතැන්ගෙයින් පිටත් වෙද්දී අහිංසා පැන්ට්‍රියට හේත්තු වී ලමැද මත අතක් තියාගත්තේ වේගයෙන් ගැහෙන හිත පාලනය කරගන්න වගේ.
- මතු සම්බන්ධයි-
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හමුවෙමු.
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕