සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.1K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

11

1K 79 0
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️11 කොටස💜️

සාරංග,අහිංසා මෙන්ම ඇගේ මිතුරියක් ආවේ නුවර පිහිටි සැලෝන් වලට අවශ්‍ය දේවල් ගන්න තියෙන ශොපින් මෝල් එකකට.එහි එක තට්ටුවකින් බාගයක්ම ඉඩ වෙන් කර තිබුණේ ඒ භාණ්ඩ මිලදී ගන්නමයි.නානාප්‍රකාර දේවල් දැක්ක වෙලේ ඉඳන් අහිංසා උන්නේ කරකවලා අතඇරලා වගේ.මොකක් තෝරගන්නද කියලා අහිංසාට නම් හිතාගන්න බෑ.

"අහිංසා.අර ශොප් එකේ බඩු කොලිටි.අපේ අක්කා ගත්තේ එතනින්.යමු"

අහිංසා යාළුවව එක්කන් ආවේත් ඇයට මේ ගැන අත්දැකීම් තියෙන නිසා.අඩු නැතිව අවශ්‍ය හැමදේම ඇය තේරුවේ අහිංසා බලන් ඉද්දී.

"සාරංග අයියේ.බර ගාණක් යයි වගේ.මට නිකන් පිස්සු වගේ.අයියා බනීවිද?"

අහිංසා කිව්වේ සාරංග දිහාට නැමිලා.සාරංගට හිතුනා අහිංසා ඇස් ගෙඩි ලොකු කරන් උන්නු විදියට එහෙම අහයි කියලා.

"අයියා ඒක නොදැන නෙමේනෙ කාඩ් එක දුන්නේ.ඌ හොඳටම දන්නවා මේවගේ වියදම්.යන වියදම් කවර් කරගන්න තමා අන්ඳන උන්ගෙන් අය කරන්නේ.තේරෙන්නෙ නැද්ද?"

"ඒ උනාට මට හරියට කරගන්න බැරි උනොත්?පාඩු වෙයි කියලා බයයි සාරංග අයියේ"

"එහෙම තමා යකෝ වැඩකට අත ගහද්දි.මමත් මුලින් පටන් ගන්නකොට අතින් පාඩු පිට කළේ.ඒත් අපි ගාවට එන අයගෙ විශ්වාසෙ හැදෙන විදියෙ කොලිටියට වැඩ කළාම තව කස්ටමර්ස්ලා නිකන්ම එනවා.ඒකට ඉවසීම තියෙන්න ඕනේ.දැන් වැඩේට අත ගහලා ඉවරයි.ඒ නිසා කන් කෙඳිරි ගාන්න හදන්න එපා හොඳද?අනික පාඩු උනත් තමුසෙගෙ පවුලෙ අය පාරට වැටෙනවයෑ.විශ්වාසෙන් ඉන්නවා"

සාරංග අහිංසාගෙ හිත හැදුවේ එහෙමයි.අහිංසාත් ඒ වචන අහන් උන්නේ නිහඬව.කිව්වත් වගේ දෙයක් පටන් ගත්ත ගමන්ම ලාභ ලබන්න බෑ.ඒත් අහිංසාගෙ හීනේ ලාභ ලබන එක නෙමේ.තව කෙනෙක්ව හැඩ කරලා සතුටක් ලබන එක.තව පැය කීපයක් ගත කරලා අවශ්‍ය කරන හැමදේම අඩුවක් නැතිව ගත්තට පස්සේ අහිංසා තේරුම් ගත්තා නැවත හැරීමක් නෑ කියලා.

"යමු.තව සතියක් ඇතුළත ඔක්කොම ඩිලිවර් කරලා දෙන්නම් කිව්වා.එතකොට ෆුල් පේමන්ට් එක කලෑකි"

සාරංග කිව්වේ ඔහු අත රැඳි කාඩ් එක සමඟ බිල්පත නැවත අහිංසා අතට දීලා.බිලේ තිබ්බ ගාණ දැක්කම අහිංසාට හීල්ලුනා.සල්ලි වලින් කවදාවත් අඩුවක් වෙලා නොතිබුණාට මෙච්චර වියදමක් ඇය දැරුවේ පළවෙනි වතාවට.පනාව කතුරෙ ඉඳන් අවශ්‍ය ක්‍රීම් අනම් මනම් ඔක්කොම ගත්තට පස්සෙ තමා තුන්දෙනාම ශොපින් මෝල් එකෙන් එළියට ආවේ.

"අහිංසා.එහෙනම් වැඩේ හරිනෙ නේද?අද මං බෝයිට කිව්වා නුවරට එන්න කියලා.අපි දෙන්නා එහෙනම් පොඩ්ඩක් ඇවිදලා එන්නම්"

අහිංසාගෙ යාලුවා කිව්වේ ගත්ත අනිත් බඩු ඩිකියට දාන්න අහිංසාට උදව් වෙන ගමන්.

"අපිත් එක්ක කාලා යන්න ඉමුකෝ"

"අනේ කමක් නෑ සුදෝ.අරයා එක්කම කෑවෑකිනේ.සැලෝන් එකේ වැඩ පටන් ගත්තම කියන්නකෝ.වෙන උදව්වක් ඕන උනොත් මැසේජ් එකක් දාන්න.අනිවාර්‍යෙන් එන්නම්"

"අනේ තෑන්ක්ස් කෙල්ලේ.අනිවාර්‍යෙන් ඔයාට කියනවා.නොකියා කොහොමද?පරිස්සමින් යන්න.අයියව මතක් කළා කියන්න"

"හරි.එහෙනම් යන්නම්.සාරංග අයියේ ගිහින් එන්නම්.අනේ..අර චූටි පැටික්කිටත් කියන්න ගියා කියලා.බායි"

ඇය අත වනාගෙනම ගියේ සාරංගත් ඇය සමඟ සුහදව හිනා වෙද්දී.

"මරු එකීට චූටි පැටික්කී කිව්වේ"

සාරංග හිනා වෙවී කිව්වේ මෙච්චර වෙලා කාර් එකට වෙලා උන්න ඇයව මතක් වෙලා.

"පව් සාරංග අයියේ.නින්ද ගිහින්ද කොහෙද.ඇතුළට එන්නත් බෑ කිව්වනේ"

අහිංසා කියද්දී සාරංග ගිහින් ඇරියේ ඉස්සරහ දොර.ආසනේත් ඇල කරගෙන ඇය නිදන් ඉන්නේ වාහනේ පිටින් හොරු ගෙනිච්චත් නොදන්න ගාණට.

"මේ..මුතුවෝ..නැඟිටපන් බං"

සාරංග හයියෙන් කිව්වේ ඇගේ කකුලට තට්ටුවක් දාලා.ගැස්සිලා වගේ ඇහැරුනු මුතූ ඇස් දෙක පිහදාලා බැලුවේ ඉන්නෙ කොහෙද කියලා මතකෙට නොආව නිසා.

"මළා වගේ නිදි මේකි.ගෙදර ඇඳ නෙමේ මෝඩියේ"

සාරංග ආයේ කෑ ගහද්දි තමා මුතූට ඉන්නෙ කොහෙද කියලා මතක් උනේ.ඇස් දෙකත් පොඩි කරගෙන ඇය ආසනේ කෙළින් කරලා අත් ඔරලෝසුව බැලුවේ වෙලාව කීයද බලන්න.

"එකත් පහු වෙලා.ඔයාලා බඩු ගත්තද?"

"ගත්තා.ගත්තා.දැන් තමා අරන් ඉවර උනේ"

සාරංග දොර වහලා ආවේ රියදුරු ආසනේට.අහිංසාත් පිටුපස ආසනේට ආවේ බඩගින්න තදටම දැනෙද්දි.

"දැන් නම් බඩගිනියි ගමකට.කාලා ඉමුකෝ"

සාරංගත් උන්නේ බඩගින්නේ.ඒ නිසාම ඔහු වාහනය ධාවනය කළේ නුවරට ආවම වෙනදා ඔහු ආහාර ගන්න නවතින කෑම කඩේකට.

"නංගි යං"

සාරංග කිව්වේ කාර් එකෙන් බැහැලා මුතූ ඉන්න පැත්තට නැමෙන ගමන්.ඒත් මුතූ නම් උන්නේ එළියට එන්න අකැමැත්තෙන්.

"අනේ බඩගිනි නෑ වගේ නිකී අයියේ.ඔයාලා කාලා එන්නකෝ"

"ඇයි උඹ හුළං බලෙන්ද ජීවත් වෙන්නේ?ආවේ නම් උඩ පැනගෙන.දැන් නිකන් ඉන්නේ මිනිහා මැරිච්ච ගෑණි වගේ හේබාගෙන.මෙන්න මෙහෙ එනවා.පුංචා දැනගත්තොත් මටයි බනින්නෙ"

සාරංගගේ කට අවුස්සගන්න බැරි නිසාම මුතූ කාර් එකෙන් බැස්සා.සාරංග පෙරමුණ ගද්දි අහිංසායි මුතූයි ඔහු පසුපසින් ඇදුනා.කන්න කැමති දේවල් අහගෙන ඕඩර් කරලා තුන් දෙනා බලන් උන්නේ කෑම එනකන්.එතනින් කතා කළේ අහිංසායි සාරංගයි විතරයි.මුතූ උන්නේ වෙනම කල්පනා ලෝකෙක.කෑම ගෙනාවට පස්සේ උනත් මුතූ කෑම ගත්තේ නිහඬව.

අහිංසා බලන් උන්නේ තමන්ගේ ඉස්සරහට වෙලා නිහඬව කෑම ගන්න මුතූ දිහා.සාරංග කන ගාවට වෙලා මොනා කිව්වත් මුතූ කරන්නේ ඔලුව වනන එක විතරයි.ඇය නම් පෙනුමෙන් ඇත්තටම අහිංසකයි.පොඩි එකෙක් වගේ.වයසින් අහිංසාට වඩා අවුරුද්දයි බාල.ඒත් එහෙම වයසක්වත් ඇගෙන් පේන්නෙ නෑ.උරපතු වලට ටිකක් උඩින් තිබ්බ කෙටි කොණ්ඩය නිසා ඇගේ පෙනුම තවත් ලාබාල පාටයි.ඒත් නොතේරෙන මොකක්දෝ දුකක් ඇගේ ඇස් වල තිබුනා කියලා අහිංසාට හිතුනා.

"කාපන්කෝ බං අත ගගා ඉන්නේ"

"මට ඇති නිකී අයියේ"

ඇය හිමින් කියද්දි තමා අහිංසාට මතක් උනේ මුතූ හැම වෙලාවෙම ඔහුට කතා කළේ නිකී කියන නමින් කියලා.

"මං අහන්නමයි උන්නේ.ඇයි ඔයා මෙයාට නිකී කියන්නේ?"

අහිංසා ඇහුවේ මුතූගෙන්.ඒක ඇහුනු සාරංග ඔහුගේ නිදහස් අත දාගත්තේ මුතූගෙ කරවටා.

"මොකද මගෙ නම ඒක නිසා.මෙයා විතරයි මට ඒ නම කියන්නේ"

"ඈ...ඔයාගෙ නමේ එහෙම කෑල්ලක් තියෙනවද?"

අහිංසා ඇහුවේ පුදුමෙන්.අහිංසා දැනන් උන්නේ සාරංගගේ නම සාරංග තෙන්නකෝන් කියන්න විතරයි.නිකී වගේ නමක් සාරංගට ඇති කියලා අහිංසාට නිකමටවත් හිතුනේ නෑ.

"මගෙ සම්පූර්ණ නමවත් තමුසෙ තාම දන්නෙ නෑනේ නේද?නිකේත් සාරංග තෙන්නකෝන්.අදවත් දැනගන්නවා"

සාරංග කියද්දි අහිංසාට පුදුම හිතුනා.එහෙම නමක් අහිංසා ඇහුවාමයි.

"අපොයි දෙයියනේ.නිකේත් වගේ ලස්සන නමකුත් තියෙනවද ඔයාට?ඒ දවස් වලම කිව්වා නම් මං ඔයාට කතා කරන්නේ නිකේත් අයියා කියලානේ.අපරාදේ"

"වැඩක් නෑ අක්කී.මෙයා ඒ නම පරිස්සම් කරන් ඉන්නේ කවදාහරි කෙල්ලට කියලා කියවගන්නලු.සාරංග කියන නම හැමෝම කියන නිසා එපා වෙලාලු ඉන්නෙ"

මෙච්චර වෙලා නිහඬව උන්නු මුතූ කිව්වේ සාරංගව උරපත්තෙන් තල්ලු කරලා.අහිංසා සාරංග දිහා බැලුවේ ඒ කිව්ව කතාවට.නොදැනීම අහිංසාගෙ මූණෙ හිනාව නැතිඋනා.

"සාරංග කියනවා නම් කමක් නෑ.ගොඩක් අය මගෙ නම කෙලි නමක් කරලා.සාරා කියලමයි කියන්නේ.එතකොට මේ බඩ්ඩ.. අච්චර ලස්සන නම නිකී කියලා හැරෙව්වා"

සාරංග කියන්නේ මූණ දෙක කරන්.අහිංසා හිනා උනේ සාරංගගේ කතාව ඇත්ත නේද කියලා හිතලා.කෑම කාලා ඉවර වෙලා තුන්දෙනා කතා උනේ යන්න කළින් මාළිඟාවට ගිහින් එන්න.අහිංසාට හිතුනා භාරයක් වෙන්න.සැලෝන් එක මනාලියක් අන්ඳන්න පුලුවන් වෙන තරමේ දියුණු තත්වෙට ආවම ඒකෙන් හම්බෙන ආදායමින් කිරි ආහාර පූජාවක් දෙනවා කියලායි අහිංසාගෙ හිතේ තිබ්බේ.මොකද මනාලියක් වෙන්න කැමති කෙනෙක් හොයන්නේ සැලෝන් අතරින් හොඳම සැලෝන් එක.ඉතින් ඒ තත්වෙට එනකන් මිනිස්සුන්ගේ විශ්වාසේ දිනාගන්න ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්.

වැඩ සිටින මාලිඟාවට ඇතුලු වන තැනින් මල් මිලදී ගත් තිදෙනාම ඇතුළට ගියේ නිශ්ශබ්දවමයි.එතරම් සෙනඟ නොවූ වෙලාවක් බැවින් වෙනදාට වඩා නිස්කලංක ගතියක් පැතිරී තිබුනා.මල් පූජා කර අවසානයේ තිදෙනාම වාඩි වූයේ එකම තැනක.සාරංග එරමිණියා ගොතාගෙන වාඩි වෙලා බලන් උන්නේ ඉදිරියෙන් තිබුනු මල් ආසනය දිහා.ඒ මල් එක්ක ප්‍රාර්ථනා කීයක් නම් පූජා වෙලා ඇද්ද?

"සැලෝන් එකේ වැඩේ මට හොඳට සාර්තකව කරගන්න පුලුවන් වෙන්න.එහෙම නොවුනොත් ලොකු අයියා කෙසේ වෙතත් පොඩි අයියා මාව ගෙදරින් එළවයි.අනේ එහෙම නම් වෙන්න දෙන්න එපා"

අහිංසා මිමිණුවේ ගාථා කියලා අවසානයේ.එහා පැත්තෙන් වාඩි වෙලා උන්නු සාරංගට ඒ මුමුණපු දේ හොඳට ඇහුනා.පනින්නට ගිය හිනාව සාරංග නවත්‍ත ගත්තේ පුදුම අමාරුවෙන්.ඊළඟට සාරංගගේ දෙනෙතට යොමු උනේ ඇස්පිය නොහෙලා ඉදිරිය බලන් ඉන්න මුතූ දිහාට.ඇගේ ඇස් කොහේදෝ අන්තෙක නතර වෙලා.

"අපි දෙන්නා මේ නුවර කී පාරක් නම් මුණ ගැහිලා ඇද්ද අයියේ?මගේ ජීවිතේ ලස්සනම දවස් ටික ගෙවුනේ ඔයා එක්ක.කොච්චර නම් හීන මැව්වද ඔයාගෙ අතේ එල්ලිලා මේ හැමතැනකම ඇවිදින්න.ඒත් ඔයත් එක්කම ඒ හීනත් යන්න ගිහින්.මගෙ හිත බිඳලා කෑලි වලට කඩලා ඔයාට සතුටින් ඉන්න පුලුවන් උනාද?ඒ මොනවා උනත් මං ප්‍රාර්තනා කරන්නේ ඔයාට දුක් විඳින්න වෙන්න එපා කියලා.ඔයාට දුක් විඳින්න තියෙනව නම් ඒ දුකත් එක්ක මං විඳින්නම්"

මුතූ හිතුවේ ඇගේ මුලු හදවතින්මයි.ආදරේ අකුරු හතර උගන්නපු ඔහු ඇගේ ජීවිතෙන් ගියේ මීට අවුරුදු දෙකකට කළින්.ජීවිතේ විඳින්න පටන් ගත්තා විතරයි.ඇයට සිද්ද උනේ ආදරයක් නිසා දුක් විඳින්න.ඇයට පණ වගේ ආදරේ පෙන්නලා ඔහු මුතූව එපා කිව්වේ දහසක් හේතු පෙන්නලා.එදා ඉඳන් හදවතේ ඇති වූ පලුද්ද අදටත් එහෙමමයි.ඒ නිසාමයි මහනුවරට ආව වෙලාවෙ ඉඳන් ඇගේ හිත මෙච්චර රිදෙන්නේ.ගෙදරින් ඇවිත් මඟක් දුර යනකන්වත් ඇය දැනන් උන්නේ නෑ සාරංග යන්නේ මහනුවරට කියලා.හිතේ ආසාවෙන් ආව ගමන ගැන කලකිරීමක් ඇයට දැනුනේ යන්නේ නුවරට කියලා දැනගත්ත වෙලාවෙමයි.ඇයට ආදරේ කියලා දුන්නු,ආදරේ හම්බවුනු නුවරදිම තමා ඇය ආදරේ නිසා හඬා වැටුනේ.ඉතින් නුවරට ආව වෙලාවෙ ඉඳන් ඇය උන්නේ ඒ අතීතයේ අතරමං වෙලා.

"අනේ මන්දා මේ කෙල්ලන්ට ප්‍රාර්ථනා කරන්න මෙච්චර දේවල් හිත් වල තියෙනවද කියලා"

සාරංග හිතුවේ සෑහෙන වෙලාවක ඉඳන් තරගෙට වගේ බුදුන් වඳින කෙල්ලො දෙන්නා දිහා බලලා.සෑහෙන වෙලාවකට පස්සේ බුදුන් වැඳලා ඉවර වෙලා කට්ටියම අඩිය ඉක්මන් කරලා ගියේ ගෙදර යන්න හිතුවට වඩා පරක්කු වෙච්ච නිසා.වැව රවුම පහු වෙද්දිම මුතූ ඇස්පිය නොහෙලා බලන් උන්නේ ඒ දිහා.ඒ හැමතැනකම ඇයට මැවිලා පෙනුනේ ඔහුව.

"තිහස්..."

ඇගේ මුවින් මිමිණුනු නම කාර් එකේ උන්නු කිසිවෙකුගේ සවනත නොවැකීම වා තලයට මුසු උනා.

.....💜️ ....... R I T H U S A K U R A .......💜️.....

ගෙදරට ආව වෙලාවෙ ඉඳන් තිහස් උන්නෙ පුදුම ඔලුව කැක්කුමකින්.පළවෙනි දවසෙම ඔලුව වෙහෙසලා වැඩ කරන්න උනා විතරක් නෙමේ තනිවම ඒවා කරගන්න සිද්ද වෙච්ච නිසා තිහස්ගෙ හිතට පීඩනේ වැඩියි.මෙච්චර දවසක් විනෝදයෙන් කල් මැරුවා මිසක් ඔලුව වෙහෙසලා වැඩක් කරලා පුරුද්දක් ඔහුට තිබ්බෙ නෑ.ඒ නිසාමයි ඔහුගෙ හිස රිදුම් දෙන්න ගත්තේ.ඒ අස්සෙන් වෙනදටත් වඩා ඔහුට මතක් වෙන්න ගත්තේ ඇයව.ඒ ගොඩක්ම ඇගේ හඬ සාරංගගේ ස්ටූඩියෝ එක ලඟදි ඇහුනු නිසා.ඇඳෙන් වාඩි වෙලා තම ජංගම දුරකථනය අතට ගත්ත තිහස් මුරපදයක් දාලා සුරක්ශිතව තියන් ඉන්න ෆෝල්ඩර් එකක් ඕපන් කළේ හදවත වේගයෙන් ගැහෙද්දි.

"මුතූ..."

තිහස් බලන් උන්නේ ඔහුට තුරුළු වෙලා ඉන්න මුතූගෙ ඡායාරූපය දිහා.අවුරුදු දෙකකට පෙර ඉඳන් ඇයත් එක්ක ආදරෙන් ගත කෙරුව හැම සුන්දර මොහොතක්ම ඔහු ළඟ තාමත් තියෙනවා.කොච්චර හිතින් මකලා දාන්න හැදුවත් ඇයව මතක් නොවුනු දවසක් ඔහුට නෑ.මධුවිතෙන් තියා වෙන කෙල්ලෙක් ලං කර ගත්තාමවත් ඔහුගේ මතකෙන් ඇයව ගිලිහුනේ නෑ.ඒ හැමදේම ඔහු කළේ ඇයව ඔහුගෙන් ඈත් කළ අයට රිද්දන්න විතරයි.

"මට සමාවෙන්න පණ...ඔයාට රිද්දලා ඔයාව ඈත් කරන්න උනාට.ඔයාගෙ තිහස් තාමත් විඳවනවා"

තිහස් හිතින් හඬා වැටුනේ ඇස් වලට කඳුලු එන එක ඔහුගේ පිරිමි හදවත වලක්වපු නිසා.අඬනවා නම් අඬන්න ඕන තරම් කඳුලු ඔහුට තියෙනවා.අවංකව ආදරය කෙරුව කෙල්ලව එහෙම අතරමඟ දාලා යන්න සිද්ද උනු එකට ඔහුට දැනෙන්නේ කියාගන්න බැරි වේදනාවක්.ඒත් ඒ වේදනාව අහන්න ඔහු ළඟ කවුරුත් නෑ.සිය ගණනක් වූ ඇගේ පින්තූර මකා දමන්න ඔහුට හිත දුන්නෙම නැති නිසා තාමත් ඒවා ඔහු ගාව සුරැකිව තියෙනවා.තමන්ටම අවනත නොවන ඇඟිලි තුඩු එහා මෙහා කරමින් ඔහු ඒ ඡායාරූප අතරේ අතරමං වුනේ හිත උමතුව ගියා වගේ දැනෙද්දී.ඒත් එක පින්තූරයක් ලඟ ඔහු නතර උනා.දෙදෙනාම මුල්ම වතාවට දළඳා මාළිඟාවට ගිය මොහොතක නෙලුම් මල් වට්ටියක් අරගෙන ඉන්න ඇගේ ඡායාරූපයක් ඔහු ගත්තේ මාළිඟාව ඈතින් පෙනෙන විදියට.දිගැති කෙස් කළඹ තනි කරලකට ගොතාගෙන උරහිසින් ඉදිරියට දාගෙන ඇය නෙලුම් මල් වට්ටිය දෙස හිස නැඹුරු කරගෙන උන්නේ ප්‍රසන්න හිනාවකින්.ඒ ඡායාරූපය ඇයට ඕන විදියට ගන්න කාපු කාට්ට මතක් වෙලා තිහස්ට පොඩි හිනාවක් නැඟුනා.

"මගෙ සුරංගනාවී"

හිමීට මිමිණූ තිහස් බරැති සුසුමක් හෙලා පිට කළා.ඒ එක්කමයි ඔහුගේ දුරකථනයට අක්කා යැයි සටහන් කර තිබූ අංකයකින් ඇමතුමක් ආවේ.දුරකථනය ඔහේ නාද වන්නට තබාගෙන තිහස් තිරය දිහා බලන් උන්නේ හිස් බැල්මකින්.බැරිම තැන ඔහු ඇමතුමට සම්බන්ධ උනේ කොයි වෙලාවක හරි මේ ඇමතුම ගන්න වෙනවමයි කියලා දන්න නිසා.

"හෙලෝ..."

"හෙලෝ..පොඩී...මොකද කරන්නේ දරුවෝ?"

ඒ කතා කළේ ඔහුගේ මව මේඛලා.

"දැන් ටිකකට කළින් ගෙදර ආවේ අම්මේ.කොහොමද ඔයාලට?කෝ තාත්තා?"

"අපි නම් හොඳින්.තාත්තා පොඩි එකා එක්ක ඇවිද ඇවිද ඉන්නවා.ඔහෙ වැඩ හොඳද?"

"කියන්න තරම් අවුලක් නෑ අම්මේ.කේශව අයියයි මාධව අයියයි ෆුල් සපෝට් එක දෙනවා"

තිහස් කිව්වේ පය රැඳි සපත්තු දෙක ගලවන ගමන්.

"හ්ම්ම්..එහෙනම් කමක් නෑ.ඒත් මම පොඩ්ඩක්වත් කැමති නෑ ඔයා පිට ගෙදරක ඉන්නවට.කන්නවත් හරියට හම්බෙනවා නේද පුතේ?"

මේඛලා එහෙම අහන්නේ ගිරිරාජ් එක්ක තියෙන තරහට නෙමේ.තිහස්ට බඩගින්නක් ආවොත් ඒක දරාගෙන ඉඳලා පුරුදු නැති නිසා.ගෙදර ඉද්දි බණ්ඩාට කියලා හිතුනු හිතුනු වෙලාවට කෑමක් හද්දවාගත්තෑකි.ඒත් පිට තැනකදි තිහස්ට එහෙම කාටවත් අණ දෙන්න විදියක් නෑ.

"කෑමෙන් බීමෙන් අවුලක් නෑ අම්මේ"

"හ්ම්ම්ම්..මාස දෙකක් වගේ ඉවසන් ඉන්නකෝ.පොඩ්ඩට මාස තුන පැන්න ගමන් ලංකාවට එන්නයි ඉන්නේ.මෙහෙ ක්ලයිමේට් එක මට දැන් අමාරුයි"

මේඛලා කතා කරන්නේ තිහස්ව හුරතල් කරන හඬකින්.තිහස්ට හිතුනා ඇය නැති වෙලාවේ කෙරුව ජඩ වැඩ ටික වසන්ත ඇගේ කනේ තියලා නෑ කියලා.එහෙම උනා නම් ඇය බනින්න දෙපාරක් හිතන්නෙ නෑ.

"මස්සිනාකාරයා කැමතිද අක්කා බබා එක්ක ලංකාවට එනවට?"

තිහස් එහෙම ඇහුවේ ඔහුගෙ අක්කාගේ සැමියා අමුතු විදියේ මිනිහෙක් කියලා දන්න නිසා.

"එහෙම අවුලක් නෑ පුතේ.ඉඳලා හිටලා බලලා යන්න එන්නම් කිව්වේ.අනික හැමදාටම ලංකාවේ ඉන්නෙ නෑනේ.කොල්ලට අවුරුද්දක් දෙකක් විතර උනාම අක්කා ආයේ යයි"

මේඛලා ඇගේ බෑණා ගැන වැඩි යමක් කිව්වේ නෑ.ඒ ඇය ඇගේ දියණියට හොයා දුන්නු මනමාලයා.කවදාවත් දැකලා නැති කොල්ලෙක්ව මාස හයක් වගේ කෙටි කාලයක් විතරක් ආශ්‍රය කරලා කසාඳ බඳින්න තිහස්ගේ අක්කා තමාලිට සිද්ද උනේ ගොඩක්ම මේඛලාගේ බලපෑම මත.ඔහුගෙන් කිසිම අඩුවක් තමාලිට සිද්ද නොවූවත් සැළකිය යුතු ආදරයක්ද ලැබුනේ නෑ.ඒ මොනා උනත් තමන් හොයලා දුන්නු මනමාලයා නිසා මේඛලා කැමති නෑ ඔහුගේ ඇද කවුරුත් දකිනවට.

"හ්ම්ම්ම්...අනේ මන්දා ඉතින්"

තිහස් කිව්වේ මේඛලාට දෙයක් පැහැදිලි කරලා දෙන එක අමාරු වැඩක් කියලා දන්න නිසා.

"සූරිය අන්කල්ට කියලා ඉඳලා හිටලා එළියට ගිහින් එන්න.ඔහොම හිර වෙලා ඉන්න බෑනේ.හැබැයි ඔය එක එක කෙල්ලො එක්ක පැටලෙන්න යන්නෙ එහෙම නෑ.ඔයාගේ තාත්තා ඉවසීමේ සීමාවේ ඉන්නේ"

මේඛලා නොදන්නවා උනාට තිහස් දන්නවා වසන්ත ඉන්නේ සීමාවේ නෙමේ සීමාව ඉක්මවලා කියලා.මේඛලා වෙනදට තිහස්ව සුද්ද කරලා බේරගත්තට වසන්තත් එක්ක දැන් ඒක කරන්න වෙන්නෙ නෑ කියලාත් ඔහු දන්නවා.ඒ එකක්වත් මේඛලාට පැහැදිලි කරලා දෙන්නවත් තිහස්ට උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් ඒ අස්සෙන් මේඛලා කිව්ව දේකට තිහස්ගේ හිත නොරිස්සුමෙන් පිරුනා.

"ඔහොම ජොබ් එක කරන් ඉන්නකෝ.රස්සාවත් හරි ගිය එකේ අපි පරස්තාවක් ගැන ඉක්මනටම හිතමු"

- මතු සම්බන්ධයි -

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

22.5K 1K 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
30.1K 656 23
Ela Drizelle is madly in love with her boyfriend Glen Mittle, but they are suddenly torn apart by the annual event known as The Hunger Games. It is E...
4.2K 602 18
නිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්...
353K 5.9K 45
I never thought to write a book about my favorite show I hope u enjoy ✨KEEP THIS BOOK IN YOUR LIBRARY IF YOU WANT TO BE UPDATED💖