"Are you ok darling?
ඉන්නකො මේ මිනිහව ගහලා පන්නන්න කියමු සිකියුරිටිට කතා කරලා.
කුඩුකාරයෙක්ද කොහෙදෝ.
බලන්නකො මූණෙ හැටි."
ඒ කෙල්ලො ටික මොන මොනවදෝ කියවනවා. ඒත් මට ඒවා වැඩක් නෑ. මගෙ පපුව පැලෙන්න වගේ.
ඇයි මං මේ තරම් මෝඩ වුනේ?
තනූශන් කවුද, මං කවුද?
එයා හැමදාමත් සිංහලයොන්ට වෛර කරනවා. මං හොස්පිට්ල් එකේ වැඩ කරන නිසා, දැන් මාව ටිකක් පුරුදු නිසා තරහක් නොපෙන්නා ඉන්නවා ඇති. මං ඒක වැරදියට තේරුම් ගත්තා.
"මේ අංකල්,
මෙන්න මේ මිනිහා හිතාමතාම ඇවිත් අපේ යාළුවගෙ ඇඟේ වැදිලා ඇඟ උඩට පෙරලුනා. ඒ ළමයගෙ ඇඳුමත් ඉරලා. කකුලත් මොකද්ද වෙලා.
කුඩු කාරයෙක්ද කොහෙද අංකල්.
එලියට ඇදලා දානවද?"
"ඔව් අංකල්,
මේ වගේ මිනිස්සු ඔයාලගෙ කම්පැනි එකේ නමටත් හොඳ නෑ.
පොලීසියට කෝල් කරන්න තියෙන්නෙ."
හැමතැනින්ම ඇහෙන්නෙ මහා කන්දොස්කිරියාවක් විතරයි. අනේ ඕනෙ එකක්. ඇත්තටම කවුරුහරි ඇවිත් මෙතනින් මාව උස්සගෙන ගිහින් එලියට විසි කරලා දානවා නම් මං කැමතියි. මට දැන් කිසිම දෙයක් ඕනෙ නෑ.
ඇයි මං මේ තරම්ම මෝඩ වුනේ?
තනූශන් හිතනවා ඇති මං මහ අසහනකාරයෙක් කියලා. ඒකගෙ තියෙන හිත හොඳකමට මගේ හිත රිද්දන්න අකමැති නිසා ඇඳ උඩින් තියන කෑම එකත් අරගෙන එන්නැති. එහෙම අරන් ඇවිත් ඒක වීසි නොකර වෙන මනුස්සයෙකුට කන්න දීපු එකත් ලොකු දෙයක් එකාතකට.
ඒ වුනාට මට හිනා වෙන්නත් ඇති කට්ටිය එකතු වෙලා. ඇත්තටම බැලුවොත් මං හැසිරුනේ අසහනෙන් වගේ තමයි. තනූශන් කවදාවත් කෑම ඕනෙ කිව්වෙත් නෑ. ඒ ගැන කිසිම දෙයක් කතා කලෙත් නෑ. මාත් එක්ක අපේ ගෙදර ගිය දවස් දෙකේ ඇරෙන්න මහ ලොකු යාළුමිත්‍රකමක් පෙන්නුවෙත් නෑ. මං තමයි මොකාද වගේ පිස්සුවෙන් උගේ පස්සෙ ගියේ.
ඉතින් මට අසහනේ තමයි!
"පුතා, පුතා නැගිටින්න.
මොකද්ද වුනේ?"
සිකියුරිටි අන්කල්ගෙ කටහඬ ඇහෙද්දි මං මේ ලෝකෙට ආවෙ. අන්කල් මාව දන්නවනෙ. අන්කලුත් දන්නවා ඇති මගේ මෝඩ වැඩ ගැන. විලි ලැජ්ජාවක් නැතුව තනූශන්ට වදයක් වෙවී පස්සෙ එන එකෙක් කියලා හිතනවද දන්නෑ.
මං අන්කල්ට මොකුත්ම නොකියා අමාරුවෙන් හිටගත්තා.
අර කෙල්ලගෙ විතරක් නෙමෙයි, මගෙත් කකුල මොකද්ද වෙලා.
"සොරි අන්කල්.
මං හිතලා කරපු දෙයක් නෙමෙයි. වෙන කල්පනාවක ඇවිදගෙන ආවෙ...."
ඒත් මට කතා කරන්න හම්බුනේ නෑ.
"ලැජ්ජ නැතුව තව බොරුත් කියන්න එන්න එපා මිනිහො.
අපි දැක්කා මූ මේ අස්සකට වෙලා සෑහෙන වෙලා හොරෙන් බලාගෙනත් හිටියා.
මේ ළමයගෙ ඇඟ උඩට හිතලමයි මේකා පැන්නෙ අන්කල්. කොටිම්ම සායත් ඉරලා. අපි කට්ටියක් හිටපු නිසා යන්තම් බේරුනා. නැත්තම් මොනවා කරයිද දන්නෑ. හිතද්දිත් බයයි.
අනික දැන් මේ ළමයා පාරෙ බැහැලාවත් යන්නෙ කොහොමද? වෙලාවට අපි කා එකේ ආපු නිසා හොඳයි.
මුං වගේ එවුන්ව උල තියන්න වටින්නෙ තියෙන අසහනේට."
අර කෙල්ලො රොත්ත කච කච ගගා කෑගහන්න ගත්තෙ සුපර් මාකට් එකම දෙදරුම් කන තරම් සද්දෙට. හැමෝම බලනවා මේ පැත්ත.
හෙට මාව පත්තරේ මුල් පිටුවෙ දාලා තිබුනත් පුදුම වෙන්න ඕනෙ නෑ. ඒ තරම් ප්‍රසිද්දියක් ලැබෙනවා මෙතන ඉඳලා.
මං හෙමින් හෙමින් නොන්ඩි ගහ ගහම එලියට යන්න ගත්තෙ කාගෙවත් දිහා නොබලා. ඔය මොකෙක්ගෙන්වත් මට ඇති වැඩක් නෑ.
ගෙදර ගිහින් අසමෝදගම් බෝතලක්ම බීලා නිදාගන්නවා. දෙමළ කෑම කාලා යකා ගහලා හැදුන පිස්සුව ඒකෙන් නිට්ටාවටම හොඳවෙලා යන්නැතෑ.
"මේ මිස් පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවද?
ඒ මනුස්සයාටත් තුවාල වෙලා කියලා පේන්නැද්ද? මනුස්සයෙකුට අත්වැරදීමක් වුනාම ඔහොම කෑගහන එක බොහොම කැතයි මිස්!"
එක පාරටම මං ගැස්සිලා හැරුනෙ තනූශන්ගෙ සද්දෙට. අනේ දෙයියනේ ඒකා කොහෙදෝ ඉඳන් කෑගහගෙනම මගේ පැත්තට දුවගෙන එනවා.
හැබැයි ඒකා දෙමලෙන් දොඩවද්දි, කෙල්ලො ටික සිංහලෙන් ලතෝනි දෙනවා. එකෙකුටවත් අනිත් එකා කියන එක තේරෙනවාවත්ද මං දන්නෑ.
"පෑසර! පෑසර!
මොකද වුනේ? ඇවිදින්න පුළුවන්ද?
කකුල පෙරලිලාද?"
තනූශ්, මගේ තනූශ්!
එහෙම අහගෙන මහා පර්වතයක් වගේ ඇවිත් මගේ ඉස්සරහින් හිටගනිද්දි මෙච්චර වෙලා දත කාගෙන ඉවසගෙන හිටපු වේදනාව ඔක්කොම දෝරෙ ගලාගෙන ඇවිත් ඇස් දෙක දිගේ පල්ලම් බහින්න ගත්තා. පුංචි කාලෙ ඉස්කෝලෙදි යාළුවො තරහා වුනාම ඒ වෙලාවෙ ඉවසගෙන ඉඳලා දවල්ට අම්මා එක්කගෙන යන්න ආවම ඔක්කෝම දුක කිය කියා ඇඬුවා වගේ අද තනූශන්ව දැක්කම මට තවත් දරාගෙන ඉන්න බැරි වුනා.
ඇස් වලින් කඳුළු බේරෙද්දි මට ඉකි ගැහුනා.
ඔයා කොහොමද දැනගත්තෙ තනූශ්?
සිකියුරිටි අන්කල් පණිවිඩයක් එව්වද?
නැත්තම් සද්දෙ මොකද්ද කියලා බලන්න ආවද?
ඉතින් මං වෙනුවෙන් කකා හිටපු කෑම එකත් දාලා ආවද තනූශ්?
මං ගැන අනුකම්පා හිතුනද?
අනේ ඔයා මං ලඟ ඉන්නවද?
ඒත් තනූශ්, ඔයා මගේ නෙමෙයි.
මට ලං වෙන්න එපා.
මොකද එතකොට මට ඔයාට යන්න දෙන්න ලෝබ හිතෙනවා.
ඒ නිසා යන්න.
ගිහින් කාව්‍යා එක්ක කෑම කාලා වැඩ ටික ඉවර කරගන්න.
මං ආවෙ ඔයාව බලලා යන්නනෙ. ඉතින් දැන් හරි. ඔයාව දැක්කා. හිතත් හැදුනා.
මං තනූශන්ගෙන් ඇස් අහකට අරන් ආයෙම හෙමීට එලියට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
"මේ බලන්නකො මේ?
මේකාත් මේ ඇඟිලි දික් කර කර අපිට නේද දෙමළෙන් බනින්නෙ ඇස් දෙකත් රතු කරගෙන.
ස්ටාෆ් එකේ එකෙක් ඒ මදිවට.
මාර වැඩක්නෙ මේක.
කෝ මේකෙ මැනේජර්?
කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න බෑනෙ දැන් මේ විදියට.
එහෙන් අසහනකාරයො.
මෙහෙන් කතා කරන්න නොදන්න රස්තියාදුකාරයො."
ඒ කෙල්ලො රොත්ත ආයෙම කෑගහද්දි මං එලියට යන එක නතර කලා. තනූශන් ඒ එක්කම ඇවිත් මගේ අතින් අල්ලගත්තත් මං ඒ අත ගසලා දැම්මෙ ඒකා පුදුම වෙලා මගේ දිහා බලාගෙන ඉද්දි.
"මිස් මට සමාවෙන්න.
ඇත්තටම හිතලා නෙමෙයි ඇඟේ හැපුනෙ. ඒත් මිස්ලට හිතෙනවා නම් මං වැරැද්දක් කලා කියලා පොලීසියට යන්න වුනත් මං එන්නම්.
අරයා ඒ කෑගැහුවෙ මිස්ලට නෙමෙයි. ඒක වැරදියට මිස්ලා තේරුම් අරන් තියෙන්නෙ. ඒ නිසා මේක ඇතුලෙ මේ ගැන කතා නොකර අපි එලියෙදි විසඳගමුද?
මං ඕනෙම දඬුවමක් බාරගන්න ලෑස්තියි."
මං ඒ ගෑණු ටික ලඟ පලවෙනිම පාරට සමාව ඉල්ලලා බැගෑපත් වුනා.
ඒත් ඒ එක්කම තනූශන් ඇවිත් මගේ එහා පැත්තෙන් හිටගත්තෙ ඒ කෙල්ලො ටිකට අසූහාරදාහට රවන ගමන්.
පලයංකො මිනිහො තොගෙ ගෑණි ලඟට මං මේ ප්‍රශ්නෙ විසඳනකල්!
මං වැලමිටෙන් ඇන ඇන ඌව එහාට කරන්න හැදුවත් ඒ යෝධයා ගල්ද කොහෙද තුන් වේලට ගිලින්නෙ. මගේ කෑම හරියන්නෙ නැති එක අහන්නත් දෙයක් නෙමෙයි ඉතින් එහෙම බැලුවම.
"තමුසෙ වගේ අසහනකාරයො කියන ඒවා අපි මොකටද අහන්නෙ.
මේ මූගේ මූණෙ හැටි මැරෙයෙක් වගේ ඔරවගෙන.
නිකන් අපිට ගහන්න වගේ ඉන්නෙ අතත් මිට මොලවගෙන.
එන්න තාරා අපි මේක මැනේජර්ට කියන්නම ඕනෙ. කස්ටමර් කෙනෙකුට හරියට සලකන්න දන්නෙ නැති එවුන්."
වට්ටි අම්මලා ටික වගේ කෙල්ලො ටික කෑගහගෙන යද්දි මාත් ඒ අමාරුවෙන් අමාරුවෙන් ඒ පස්සෙන් දිව්වා. දෙයියනේ මුන් මේ කරන දේවල් නිසා අර කොල්ලාගෙ රස්සාව ගහලා ගියොත්?
හිතක් පපුවක් නැද්ද මන්දා!
ඒත් ඉතින් උන් ටික සේරම පට්ටම සල්ලිකාර පාටයි. මෙහේ නම් නෙමෙයි කොළඹින්වත් එන්නැත්තෙ ට්‍රිප් එකක් වගේ යන්න බලාගෙන. එතකොට දුප්පත් මිනිස්සු ජීවත් වෙන කට්ට ගැන ලොකු තේරුමක් නෑනෙ.
ඒත් ඒවා මේවා කොහොම වුනත් මගෙ අසරණයට මොකුත් වෙන්න දෙන්න බෑ.
මාත් අරුන් ටික පස්සෙන්ම මැනේජර්ගෙ ඔෆිස් එකට රිංගද්දි උන් ටික ඉස්ග්‍රීසියෙන් දමාගෙන කොටනවා. මැනේජරුත් ඉතින් ඔළුව වනනවා වයින් කරපු බෝනික්කෙක් වගේ. කෙල්ලො රොත්තක් ඇවිත් වට කරගත්තම මිනිහටත් පට්ට ආතල් එකක් ගිහින් මට පේන්නෙ.
කොහොමත් ඕකා දැන් මං ඇත්ත කිව්වොත් පිලිගන්නෙ නෑ. ඒ නිසා වැරැද්ද පිලිඅරන් දඬුවමක් දෙන්න කිව්වම හරි.
"මට සමාවෙන්න සර්,
මගෙ අතින් වරදක් වුනේ.
ඒකට ගැලපෙන ඕනම දඬුවමක් මං බාරගන්නම්."
නොදන්න ඉංග්‍රීසි බල්ලට දාලා මං දන්න දෙමළෙන් කතා කලා.
"නෑ සර්,
මෙයා වරදක් කලේ නෑ. වැරදීමකින් ඇඟේ වැදුනා කියලා මිනිස්සුන්ට අපහාස කරන එක වැරදියිනෙ සර්"
මං මේ තරම් ප්‍රශ්නෙ විසඳන්න හදද්දි මේ මෝඩයා ආයෙම ඔක්කොම විනාස කලා. ඇඟිල්ලත් උරුක් කරගෙන අර ගෑණු ටිකටම කෑගැහුවා. මැනේජර්කාරයා ඉස්සරහම.
ඇත්තටම මූට සාමාන්‍ය දැනීම නැද්ද දෙයියනේ!
දැක්ක ගමන් පේනවා මැනේජරයා කෙල්ලො රොත්තට වහ වැටිලා කියාලා. උන් කොටට හිරට ඇඳලා, කොණ්ඩෙ පාට කරලා, මූණට මේකප් දාලා එහෙම ඉද්දි ඇත්තටම ලස්සනයි. ඉතින් හරි වැරැද්ද කොහොම වුනත් අන්තිමේ මිනිස්සු ඒ පැත්‍තටම ඇදිලා යන එකත් පුදුමයක් නෙමෙයි.
කොහොම හරි ප්‍රශ්නෙ දුර දිග ඇදුනා. තනූශන්ට මැනේජරයා බැන්නා. මට උගේ හොම්බ තලන්න හිතුනත් තනූශන්ගෙ රස්සාව බේරගන්න එක වැදගත් නිසා මං ඉවසගෙන හිටියා. හැබැයි පොන්නකැ#යො, මගේ එකා හැමදාම මෙතන උඹට කඹුර කඹුර ඉන්නෙ නෑ. ඌ අනිවාර්යයෙන්ම උඹට වඩා අඩි ගානක් උඩට යනවා යනවාමයි. එදාට මං ආයෙම උඹව හම්බෙන්න එනවා. ඇවිත් උඹ අද ඒකට සලකපු විදිය මතක් කරලා මූණටම කෙල ගහලා යන්නෙ!
අන්තිමේ මාර දුතිකාවො ටික පහන් සිතින් යන්න ගියා. ඇයි උන්ට ඕනෙ කරපු හැටියටම හුරතල් කරන සෙවලයෙක් හම්බුනානෙ උන්ට. මැනේජරයගෙ දත් ටික ගිරිය මැද්දෙන් එල්ලි එල්ලි හිටින්න අත මිට මොලවලා පාරක් මට දෙන්න ඕනෙ කලත් මං ඉවසුවා. තව ටික කලක් රඟපන්කො!
කැ# බල්ලා තනූශන්ට කැත විදියට බැනලා බැනලා කාමරෙන් එලවලා දැම්මා.
ඌට රෑ අට වෙනකල්ම වැඩ කරන්න කිව්වා. අත් දෙක මිට මොලෝගෙන සේරම තරහා හිත ඇතුලෙම ගුලිකරගෙන මං ඒ හු#තට ඔලුව පාත් කලා.
"සර්, සේරම වැරදි වුනේ මගේ අතින්.
තනූශන්ට ඒ නිසා මේකෙන් ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙපා.
සර්ට එහෙම නොකලොත් මොනවා හරි බලපෑමක් වෙනවා නම් මං ලියලම වුනත් දෙන්නම් මගෙයි වැරැද්ද කියලා."
"මගේ රස්සාව කරන හැටි මට උගන්නන්න එන්න එපා කොල්ලො. උඹත් එක්ක මගේ කතාවක් නෑ. මීට පස්සෙ තැනකට ඇවිත් වැදගත් විදියට හැසිරෙන හැටි ඉගෙනගත්තා නම් හොඳයි.
අනික තනූශන් ගැන ගත්තොත්,
දෙමළ කොල්ලෙක්, සිංහල කෙල්ලො ටිකකට තර්ජනය කලා කිව්වම කවුද ආයි එහෙම එකෙක්ව වැඩට තියාගන්නෙ?
කලින් ltte කාරයෙක්!
ඒ සේරම මදිවට වගේ ඌ මානසික අසනීපකාරයෙකුත් වුනාම!
හහ්!
ඌමයි උගේ වල කපාගත්තෙ!!"
ඒ පොන්නයා හිනා වෙවී කියවද්දි මගේ ඔළුව ගිනිගත්තා.
මං ඒ මිනිහගෙ කකුල් දෙක ලඟ දනින් වැටුනා.
"අනේ සර්,
එහෙම කරන්න එපා.
තනූශන් නරක කෙනෙක් නෙමෙයි.
මං දන්න මේ ලෝකෙ ඉන්න හොඳම මනුස්සයෙක්.
මේ දවස් ටිකට සර්ටත් තේරෙන්න ඇතිනෙ. ඒකා වැඩ කරන්නෙ එකගෙ හදවතින්ම පුළුවන් උපරිමෙන්ම සර්. ඒ වගේ කෙනෙක් සර්ලගෙ කම්පැණි එකට අනිවාර්යයෙන්ම ලොකු හයියක් වෙනවා. අනික ඌ සමහරු වගේ අරක බෑ මේක බෑ කිය කියා අඬා වැටෙන එකෙකුත් නෙමෙයි.
ඕනම දේකට ඔට්ටු එකෙක්. යකෙක් වගේ වැඩ කරන කන්දක් වගේ හයිය එකෙක් සර්.
.
අනේ! ඒකා ජීවිතේ අලුතෙන් පටන්ගත්තා විතරයි.
ඒකගෙ කකුලෙන් අදින්න එපා සර්.
මං සර් කියන ඕනම දෙයක් කරන්නම්.
ඕන නම් අර මිස්ලා එක්ක පොලීසියට වුනත් යන්නම්.
ඒත් තනූශන්ගෙ රස්සාව නැති කරන්න එපා සර්.
මං වඳින්නම්......"
"පෑසර!!!!!!"
- - - - - - - - - - - - - - -- - - - - - - - - - - - - ----
කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤