'යශෝධිකා... මෙතන මගේ යකා අවුස්සගන්නේ නැතුව යමු වාහනේට!' යෙහෙනිගේ පියා එතැනට පැමිණි කාන්තාවට නැවත වතාවක් තදින් පවසා සිටියේ ශනල්ක දිගු සුසුමක් සමගින් මගේ අත තදින් මිරිකනා අතරේය.
යෙහෙනිගේ මව අලුතින් පැමිණි කාන්තාව දෙස බලා සිටියේ තරමක කෝපය මුසු දෑසිනි. මට තේරුම් ගත නොහැකි පවුල් අවුලක් මෙතන ඇති බව මට තේරුණද මම කිසිවක් නොකියා එතැනට වී සිටගෙන සිටියෙමි.
'මට එයාව බලන්න දෙන්න. අඩුම තරමේ දැනට විතරක්වත්.' කාන්තාව නැවත වරක් අයැද සිටියාය.
යෙහෙනිගේ මව කාන්තාවගේ උරහිසින් ඇද ඇයව පසෙකට තල්ලු කළාය. 'තමුන් දැනට කළ දේවල් ඇති කියලා හිතෙන්නේ නැද්ද යශෝධිකා. ඒ ළමයට ඉන්න දීලා ඔයා යන්න.'
ශනල්ක දත් මිටි කමින් මගේ අත තවත් තදින් මිරිකුවේය. 'අනේ මගේ කට ඉතින්...' ඔහු හුස්ම යටින් මැතිරුවේ මට පමණක් ඇසෙන ලෙසයි.
'මොකද මෙතන වෙන්නේ?' මම ඔහුගෙන් විමසුවෙමි.
ශනල්ක කිසිවක් නොකියා නැවතත් සුසුමක් හෙළුවේය.
වැඩිහිටියන් තිදෙනාගේ වාදය තව දුරටත් ඉදිරියට ඇදී යද්දි ශනල්ක අඩියක් ඉදිරියට තැබුවේය. 'අපි දෙන්නා ගෙදරට යන්නම්... මිනිරුගේ ඇඟ පුරාම ලේ. ඒ ටික හෝදලා නංගිට ඇඳුම් අරගෙන අපි එන්නම් ආයෙත්.'
යෙහෙනිගේ පියා නොසැළකිල්ලෙන් ඔළුව වැනූ විට ශනල්ක මගේ අතත් අල්ලා ගෙන වාහනය නවතා තිබූ තැන කරා ගියේ ඇවිදීම හා දිවීම අතර වේගයකින් යුතුවයි. ඔහු රියදුරු අසුනේ හිඳගත් පසුව මම අනෙක් අසුනින් හිඳ ගත්තෙමි. ශනල්ක ඔහුගේ හිස සුක්කානම මතින් තැබුවේ වාහනයේ නළාව නාද වීමට සලස්වමිනි. මම ඔහුගේ හිස ඇද ඔහුව පසුපසට කළේ මිනිසුන් අප දෙස බලාවි යන බිය ඇති වූ නිසායි. ශනල්ක මා දෙස බැලුවේ මුලා වූ දෑසින් යුතුවය.
'අවුරුදු හයක් ගිහිල්ලා එයා දැන් තමයි ආවේ.' ඔහු මට කීවේ මම එය තේරුම් නොගන්නා බව පිළිබඳ සිහියට නොනගාගෙන විය යුතුය.
මම ඔහු දෙස බලා සිටියෙමි.
'ඒ ආවේ යෙහෙනිගේ ඇත්තම අම්මා. යශෝධිකා පුංචි...' ඔහු සුසුමක් හෙළා හිස ආසනයට හේත්තු කර ගත්තේය.
මම වදනක් හෝ පිට නොකර ඔහු දෙස බලා සිටියෙමි.
'ආහ්... මිරූ... මට පිස්සු වගේ.' ශනල්ක මිටි කර ගත් අතින් ඔහුගේම කලවයට පහර කිහිපයක් එල්ල කර ගත්තේ දෑස් තද කොට පියාගන්නා අතරේය.
මම ඔහුගේ අතක් අල්ලා ගෙන මගේ කලවය මතින් තබා ගත්තෙමි. එය මොහොතකට මට සහේෂ්ව මතක් කළද දැන් සහේෂ් පිළිබඳ සිතීමෙන් පළක් නොවන බව මම දැන සිටියෙමි.
'එයා ඔයාගෙත් අම්මද?' මම අවසානයේ විමසා සිටියෙමි.
ශනල්ක හිස දෙපසට වැනුවේය. 'මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා. ඇක්සිඩන්ට් එකකින්. යෙහෙනිගේ අම්මා කියන්නේ මගේ අම්මගේ හදාගත්තු නංගි. මම විතරක් වාහනේ ඉතුරු වුණහම යශෝධිකා පුංචි මාව හදාගන්න ගත්තා. මට අවුරුදු දෙකයි එතකොට. ඊට පස්සේ... පුංචි වැඩ කරන තැනදි... එයාව දූෂණය වෙලා තමයි යෙහෙනි හම්බුණේ. උසාවි නියෝගයකින් යෙහෙනිව යෙහෙනිව යෙහෙනිගේ තාත්තට දුන්නා. ඒ මනුස්සයා කැමති වෙලා මාවත් බාරගන්න. ඉතින්... එහෙම තමයි යෙහෙනියි මායි අයියයි නංගියි වුණේ.'
එම පවුල් අවුල මගේ පවුල් අවුල තරම් සංකීර්ණ නොවුණද එය වටහා ගැනීමට මට තප්පර කිහිපයක් ගත විය.
'ඔහ්...' මගේ තොල් අතරින් පිටවුණේ කීමට කිසිවක් නැති නිසාවෙනි.
ශනල්ක මගේ කලවය මත ඇඟිලි තුඩු වලින් රටා අඳින්නට විය. 'දැන් යෙහෙනිගේ අම්මා ඇවිත්... අවුරුදු හයකට පස්සේ. යෙහෙනිට වැරදිලා හරි සිහිය ආවොතින්... එයාට පිස්සු හැදෙයි මිනිරු.'
මට කීමට කිසිවක් නොමැති විය. මෙහන්සාව සිහියට නැගීමද මට වළක්වා ගත නොහැකි විය. යෙහෙනි හා මෙහන්සා දෙදෙනාම එක සමාන කාල අතරින් ගමන් කරමින් සිටින බවට මට දැකිය හැකි විය. මගේ උගුර සිරවෙන ආකාරය මට දැනෙන්නේ නැවත වතාවක් මගේ ඇස් අගට කඳුළු බිඳු එක් කරන්නට තනමිනි.
'අපි ගෙදර යමුද? ඇඳුම ඇඟට ඇලෙද්දි මට අමාරුයි.' මම අවසානයේ පවසා සිටියෙමි. ශනල්ක සුසුමක් හෙළා අත මගේ කකුල මතින් ගෙන වාහනය පණ ගැන්වීය.
නිවසට යන කාලය පුරාවටම අපි දෙදෙනා නිහඬව සිටියෙමු.
ශනල්කගේ සිනහව යටින් සැඟවුණු කතාව දැන ගැනීම පිළිබඳ මට එක් කළේ හිසට බර ගතියකි.
අපි දෙදෙනා නිවසට ළඟා වූ විට අපිට දැකිය හැකි වූයේ නිවස වටා තිබූ පොලිස් වාහනයි.
ශනල්ක බරැති සුසුමක් හෙළුවේය. 'මදැයි ඉතින්. මේ සැරේ නම් ඉවරයක් කරන්න හම්බෙන එකක් නෑ මේක.'
මෙහන්සාගේ සිද්ධිය මුදල් වලින් යට ගැසූ ආකාරය කීමට මට උවමනා වුවත් එය මෙතනට අදාළ නොවේ යැයි සිතුණු නිසා මම මුව වසාගෙන සිටියෙමි. ශනල්ක මට වාහනයේ සිටින ලෙස සන් කර පොලිස් වාහනයක් අසලට ගොස් විනාඩි පහක් පමණ එතන ගත කළේය. ඔහු දුරකථන ඇමතුමක් ගන්නා ආකාරයද මම දුටුවෙමි.
ශනල්ක නැවතත් වාහනය පැමිණ දොර වසා දැමුවේය.
'අම්මලා එනකන් අපිට ඇතුළට යන්න දෙන එකක් නෑ. සාක්ෂි හොයන්න ඇවිත් තියෙන්නේ. දැනටමත් සිද්ධිය පත්තර වලට ගිහින් වගේ.'
ශනල්කගේ දෙමාපියන් සමාජ සේවකයින් විය. ඔවුන් රටේ නම් දැරූවන් වූ හෙයින් යෙහෙනිගේ අනතුර පියඹා යෑම පිළිබඳ මට පුදුමයක් ඇති නොවිණි. අපි දෙදෙනා තවත් විනාඩි විස්සක් වාහනය තුළ ගත කළේ යෙහෙනිගේ දෙමාපියන් පැමිණෙන තුරුයි.
අවසානයේ ඔවුන් පැමිණ සියල්ල අවසාන වන විට තවත් පැය කිහිපයක් ගත විණි. මා හැඳ සිටි යෙහෙනිගේ රුධිරය සහිත කමිසය පවා ඔවුන් රැගෙන ගියේ සාක්ෂි ලෙස එය අවැසි බව කියමිනි. කට උත්තර දීමේදි මම ශනල්ක හා මම දෙදෙනා ඇඳේ සාමාන්‍ය ලෙස වැතිර සිටි බව කියන්නට උපරිම උත්සාහයක් දුන්නේ අපි දෙදෙනා සැබැවින්ම සිපගත් බව නොකියා සිටින්නට උත්සාහා කරනා අතරේය. ශනල්ක නිහඬ වී සිටියේය. ඔහුද මට වඩා යමක් නොකී බව මට පැහැදිළි වූයේ පොලිසිය නැවත වතාවක් කිසිවක් නොවිමසූ බැවිනි.
හවස පහට අවසාන වද්දී මමත් ශනල්කත් යෙහෙනිට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් කිහිපයක් ගෙන නැවතත් රෝහල කරා ගියෙමු. ඒ වන විටත් ඇයව පරීක්ෂණයකට ගෙන ඇති බව අපට දැන ගන්නට ලැබුණේ එතැන යෙහෙනි සමගින් රැඳී සිටියේ යෙහෙනිගේ සැබෑ මවගෙනි. ඇය ශනල්කව බදාගෙන හඬන්නට වූ අතර මම පසෙකට වී බඩු මලුද ඔසවාගෙන ඔහේ බලා සිටියේ කොන් වූ හැඟීමකින් යුතුවයි.
'මේ ඉන්නේ මගේ හොඳම යාළුවා.' ශනල්ක අවසානයේ මාව හඳුන්වා දුන් විට මම සිනාසුණෙමි.
හොඳම යාළුවා හා පෙම්වතා අතර සැබෑ වෙනසක් තිබුණද මෙය එයට අවස්ථාව නොවීය.
අපි තිදෙනා පුටුවල හිඳගෙන යෙහෙනිව නැවතත් ගෙන එන තෙක් බලා සිටියෙමු. ඇයට තවමත් සිහිය පැමිණ නැති බව හෙදියක් කී හෙයින් ශනල්ක සැනසීමට පත් බැල්මකින් මා දෙස බැලුවේ යෙහෙනිගේ සැබෑ මවව ඇසකින් ඉඟි කරමිනි.
පැය එකහමාරක් පමණ ගත වූයේ ශනල්ක හා යෙහෙනිගේ සැබෑ මව කතා කරමින් සිටියදී හා මම ශනල්කගේ දුරකථනයෙන් පුවත්පත්වල යෙහෙනිගේ අනතුර පිළිබඳ ලියැවී ඇති වාර්තා කියවමින් සිටිනා අතරේය.
මෙහන්සා මිය ගිය දා සිට වසා දමා තිබූ මගේ දුරකථනය දැන් මාස හතහමාරක් පමණ ගත වූවද තවමත් පණ ගන්වා නොතිබිණි.
මට එය පණ ගැන්වීමට තිබුණේ සැබෑ බියකි. එහි ඉදිරි රූපයේ ඇත්තේ මෙහන්සා මුහුද අසබඩදී දත් විදහා සිනා වී සිටියදී ගත් පින්තූරයක් හෙයින් මට එය නැවත දැකීමට උවමනා නොවීය.
පැය එකහමාර පසු වී හවස හතයි හතළිහට පමණ ආසන්න වූ විට හෙදියක් අප කරා පැමිණියේ වෛද්‍යවරයාට අප දැකීමට අවැසි බව කියමිනි.
යෙහෙනිගේ ඇඳුම් සහිත බෑගය පසෙකින් තැබූ අපි තිදෙනාම වෛද්‍යවරයා සිටි තැනට ගියෙමු. මෙවර සිටියේ වෙනත් වෛද්‍යවරයෙකි.
'යෙහෙනි?' ඔහු විමසා සිටියේය.
ශනල්ක හිස වැනුවේය.
වෛද්‍යවරයා උපැස් යුවළ ගලවා සාක්කුවකට දමා ගත්‌තේ බරපතළ මුහුණකින් යුතුව වාර්තාවෙන් දෑස් ඉවතට ගනිමිනි.
'අපිට එයාගේ ලෙෆ්ට් බ්‍රෙස්ට් එක අයින් කරන්න වෙනවා.'
මොහොතකට සියල්ල නිහඬව පැවතිණි.
'අපිට එයාගේ වම් පියවුර අයින් කරන්න වෙනවා.' වෛද්‍යවරයා නැවත වතාවක් කියා සිටියේ අප තිදෙනාගෙන් කිසිවෙකුත් ප්‍රතිචාරයක් නොදැක්වූ බැවිණි.
එක් වරම එය සිදු විය.
යෙහෙනිගේ සැබෑ මව විලාපයක් සමගින් බිමට ඇද වැටුණේ ශනල්කගේ දෑසින් කඳුළු කඩා වැටෙන්නට වූ විටයි.
මම වෛද්‍යවරයා දෙස බලා සිටියෙමි.
මගේ පපුව ඇදුම් කන්නට විය.
මට හිස් බවක් දැනිණි.
මගේ සවන් හිස් බවකින් පිරී ගියේ යෙහෙනිගේ සිනහව මගේ හිසේ ඇඳී යද්දීය.
මටත් නොදැනී කඳුළැලි මගේ කොපුල් හරහාද රූරා යන්නට විය.
_____________
_කඳුළැලි_
2022 - 04 - 30
___________
කඳුළැලි නේද?
හදපු අය කවුද කියලා හරියටම දන්නේ නෑ. ඒත් ඔය තමයි එක, දෙක, තුන ස්ථාන තුන...
අනික් කවර ටික අනික් චැප්ටර් එකත් එක්ක පබ්ලිෂ් කරන්නම්.
තව කවර එවනවා නම් ඒවත් බාර ගන්නවා ඉතින්.
ආදරෙයි හැමෝටම මේ කතාවේ තියෙන දුක්ගිනි ගොඩ තරම්...
_සස්_