යෙහෙනි ඇගේ බිරිඳ වූ අමාරා සමගින් නැවත ලංකාවට පැමිණෙනවා යැයි කියූවාට එදින රාත්‍රියේ නිවසට ඇතුළු වූයේ යෙහෙනි පමණකි. ඇය ලංකාවට පැමිණි වගක්වත් අප නොදැන සිටි අතර වර්ෂාව මධ්‍යයේ ඇය අන්ධකාරයේම නිවසට පිය නැගුවාය.
'යෙහෙනි?' මම පුදුමයෙන් විමසද්දී ඇය මට හෙළුවේ වෙහෙසට පත් බැල්මකි.
'මුකුත් අහන්න එපා.' ඇය පිළිතුරු වශයෙන් කියා සිටියාද නැති නම් අණ කළාද යන්නවත් මට වටහා ගන්නට ඉඩක් නොතිබිණි.
අසල තිබූ පුටුවකින් හිඳගත් ඇය ඇගේ බෑගයෙන් කුඩා මළු කිහිපයක් ගෙන මගේ අතකින් තැබුවාය. 'ළමයි දෙන්නට. මම යනවා නිදාගන්න. මට මහන්සියි.'
නිවසට පැමිණියද ඇය මගේ මුහුණ දෙස හෝ බලන්නට වද නොවී ඉහළ මාලයේ තිබූ ඇගේ කාමරයට අතුරුදහන් වූවාය. ඇගේ බිරිඳ අමාරාට වූයේ කුමක්දැයි විමසන්නට හෝ මට අවකාශයක් ලබා නොදුන් අතර මම සිටියේ සැබැවින්ම වික්ෂිප්තවය. ස්නානය කරමින් සිටි ශනල්ක ඉන් මොහොතකට පසුව මා අසලට පැමිණ මගේ අතේ තිබූ මළු කිහිපය දෙසට බැල්මක් හෙළුවේය.
'මේ මොනවද?' ඔහු විමසද්දී මම මළු දෙස බැලුවෙමි.
'යෙහෙනි ආවා.' මම කෙටි පිළිතුරකින් සංග්‍රහ කරද්දී ශනල්ක මා දෙසට හෙළුවේ පුදුමයට පත් බැල්මකි.
'කෝ දැන්?'
'මහන්සියි කියලා නිදාගන්න ගියා.'
'කෝ අමාරා?' ඔහු විමසද්දී මම නොදන්නා බව හැඟවීමට හිස දෙපසට වැනුවෙමි.
එදින රාත්‍රියේ ආහාර ගැනීම සඳහාවත් යෙහෙනි පහළ මාලයට පැමිණියේ නැත. නමුත් ඇය මධ්‍යම රාත්‍රියේ මුළුතැන්ගෙයින් යම් යම් දෑ රැගෙන ගොස් තිබූ බවක් මට පසුදා පෙනුණු අතර මම ඊටත් කිසිවක් නොකියා ඇය නැවතත් පහළ මාලයට එනතෙක් ඉවසා සිටියෙමි.
ඇය නිවසට පැමිණ දින දෙකක් ගත වුවද ඇය අප සිටිනා විටකදී පහළ මාලයට පැමිණියේ නැත. විහන්‍යා සහ මිරේෂ් දෙදෙනාම ඔවුන්ගේ යෙහෙනි 'නැන්දා' දැකීමට ආශාවෙන් සිටි යෙහෙනි ඊටද ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. දින දෙකක් පුරාවට ඇය කාමරයට වී කුමක් කළාද යන්න ශනල්කවත් මමවත් දැන සිටියේ නැත. තෙවන දිනයේ උදෑසන ඇය පැමිණෙන තෙක් බලා සිටියද ඇය නොපැමිණි නිසාවෙන් ළමුන් දෙදෙනා පාසලට රැගෙන ගිය ශනල්ක ඉන්පසුව නැවතත් නිවසට පැමිණියේය.

YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...